ලේඛකයෙක් වුණු ගමන සුන්දර නෑ | දිනමිණ

ලේඛකයෙක් වුණු ගමන සුන්දර නෑ

මාක් පෙරිනි

වසර 10ක සිට පුරාවට ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කරන මාක් පෙරිනි, ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ සෙටෝන් හෝල් විශ්වවිද්‍යාල උපාධිධාරියෙකි. ‘HALFWAY PERFECT’ ඔහුගේ ප්‍රථම වැඩිහිටි නවකතාව ය. එසේ ම ඔහු විශේෂාංග රචකයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. සමාජ මාධ්‍ය තුළ ද බෙහෙවින් ප්‍රසිද්ධ රචකයෙකි. ඔහුගේ ප්‍රථම නවකතාව පිළිබඳ Writersdigest වෙබ් අඩවියේ පළවූ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

මේ පොත කුමන වර්ගයේ නවකතාවක්ද ?

තරුණ - වැඩිහිටි වර්ගයේ නවකතාවක්.

මේ නවකතාවේ අන්තර්ගතය පිළිබඳ කතා කළොත්?

කෙටියෙන් පැවසුවොත්මෙහි ඇතුළත් වෙන්නේ මෝස්තර හා නිරූපණ ක්ෂේත්‍රයේ යහපත් පැත්ත සහ අයහපත් පැත්ත පිළිබඳයි. නැත්නම් හොඳ පැතිකඩ සහ අඳුරු පැතිකඩයි.

ඔබ ලියන්නේ කොහේ ඉඳන්ද?

මේ දිනවල නම් මං මැන්හැටන්වල මගේ ඥාති නිවෙසක ඉඳන් තමා ලියන්නෙ. සාමාන්‍යයෙන් මං එක තැනක ඉඳන් ලියන්නේ නෑ. මං සංචාරයට කැමැති කෙනෙක්. මේ ඥාති නිවෙසට පැමිණීමත් එහි ප්‍රතිඵලයක්. මං එහෙම ලොව පුරා මගේ ඥාතීන්, හිත මිත්‍රාදීන් සිටින ස්ථාන කරා ගමන් කරනවා. ඒ ඒ ප්‍රදේශවලදී මට හොඳ අත්දැකීම් ලැබෙනවා. ඒවා මගේ ලේඛන කටයුතුවලට වගේම, මගේ නිරූපණ ක්ෂේත්‍රයටත් උදවු වෙනවා. එහෙම සංචාරය කරද්දී, මට බොහෝ කරුණු හිතට ගලාගෙන එනවා . ඒ, කරුණු මා ඒ වෙලේදීම සටහන් කර ගන්නවා. ඒ, මට ඒ මොහොතේ දැනෙන හැඟීම් සමඟයි.

ඔබගේ මේ පොත පිළිබඳ තව දුරටත් විස්තර කළොත්?

මේ කෘතිය ලිවීමේදී මට ජුලී ක්‍රොස් කියන මගේ මිත්‍රයා සහාය වුණා. මං අවුරුදු 10ක ඉඳන් කරන්නේ මෝස්තර නිරූපණ ශිල්පය. මට පොත් ලියලා පුරුද්දක් තිබුණේ නෑ. ඒත්, මට මේ නිරූපණ ක්ෂේත්‍රයේ අත්දැකීම්, දුක් ගැහැට ආදිය සියල්ල ඇතුළත් කරලා පොතක් ලියන්න අවශ්‍ය වුණා. මං මේ අදහස මගේ යහළුවෙක්ට කිව්වාම, ඔහු මට මේ ජුලී ක්‍රොස් කියන ප්‍රවීණ කතුවරයා මුණ ගැස්සුවා. මං ඔහුත් සමඟ මගේ අත්දැකීම්, අදහස් සියල්ල බෙදා ගත්තා. ඔහු, ඉතා කෙටි කලකින්ම මගේ ළඟම මිත්‍රයෙක් බවට පත් වුණා . මං ඔහුගෙන් ලිවීම ගැන උපදෙස් ගත්තා වගේම, පොත් බොහොමයක් කියෙව්වා. ලියන රටා අධ්‍යයනය කළා.

මේ ආකාරයට බොහෝ අධ්‍යයන කරලා තමා මං මගේ පොත ලියන්න ආරම්භ කළේ. ජුලී හැම වෙලේම මගේ පිටුපසින් ඉඳන් මා ධෛර්යවත් කළා. මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා මං ඒ වන විට තරමක තිගැස්මකින් හිටියේ.

කොහොම හරි ඔබ පොත ලිව්වා. අවසානයේ දී එහි සංස්කරණ කටයුතු කොපමණ කරන්න සිදුවුණාද?

මට එක කොටසක් ලියන්න සුමානයක් ගියා. මම රට රටවල සංචාරය කර ලබපු අත්දැකීම් හැම දේම ලිව්වා. මිලානෝ, මියාම්, නිව් ඔලියන්ස්, හොං කොං වැනි නගරවලදී මගේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ සිදු වූ වැඩිදියුණු වීම්, තරග ආදී සෑම සිදුවීමක්ම ලිව්වා. මගේ ගමන සුන්දර එකක් වුණේ නෑ . අනන්තවත් කැපිලි කෙටිලි, අපහාස මට වෙනත් රටවලදී ලැබුණා. එහි අඳුරු පැතිකඩ බොහොමයක් තියෙනවා. මං ඒ සියල්ල මගේ අත්දැකීම් මත ලිව්වා. මේ ආකාරයට පොත ලියන්න මාස 6කට අධික කාලයක් ගත වුණා.

අනතුරුව ජුලී එහි අඩුපාඩු නැවත හදලා සංස්කරණ කටයුතු සිදු කළා. ඊට පසුව අපි දෙදෙනා සංස්කරණ කටයුතු කිරීමට එය නැවතත් ප්‍රවීණ කතුවරයකුට දුන්නා .

ඔබලා නියෝජිතවරයකු සොයාගත්තේ කොහොමද ?

ඉහත කටයුතු සියල්ල කළාට පසුව ජුලී කිව්වා ‘දැන් අපි හොඳ නියෝජිතයකු සොයාගත යුතුයි’ කියලා. එයා කිව්වේ ඒ නියෝජිතයා හොඳ සාහිත්‍යමය දැනුමකින් යුතු නියෝජිතවරයෙක් විය යුතුයි කියලයි. ඒ අනුව මං හොඳ සාහිත්‍යමය නියෝජිතවරුන් සිටින වෙබ් අඩවියකින් නියෝජිත ලේඛනයක් අරගත්තා. මං ඔවුන් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා. ඒකට හේතු වුණේ, ජුලී කිව්වා මේ නිරූපණ ක්ෂේත්‍රයේ තිබෙන විවිධත්වය, විශාලත්වය අවබෝධ කරගත හැකි අයෙක් වීම මෙහිදී අනිවාර්යයි කියලා. නැතිනම් අපි ලිව්ව දෙයින් තේරුමක් නැති වෙනවා කියලත් කිව්වා.

ඉතාමත් ඉක්මනින්ම අපට නියෝජිතවරියක් මුණගැසුණා. ඇය , සේමර් ඒජන්සියේ ‘නිකෝල් රෙස්කිනිට්’. මගේ පොතේ තිබෙන අදහස් වගේම , මගේ හිතේ තිබෙන, මගේ ඔළුවේ තිබෙන අදහස් ඒ විදිහටම ඇය තේරුම් ගත්තා. එය මට විශාල සතුටක් වුණා. ඒ විතරක් නෙමෙයි, ඇය මගේ ‍පොතේ සෑම වචනයක් පාසාම ඇගේ ඇඟිලි තුඩු යැව්වේ සාහිත්‍යමය ඇසකින්.

ඔබට මේ පොත ලිවීමේ කාර්යයේදී ලැබුණු විශාලම ඉගෙනුම් අත්දැකීම මොකක්ද?

පළමු විශාලම අත්දැකීම තමා පොත ප්‍රකාශන ක්‍රියාවලියට කොපමණ කාලයක් ගත වෙනවාද කියන කාරණය. අපි පොත මාස 6කින් පමණ ලියලා ඉවර කළා. ඒත්, වසර දෙක හමාරක් ගතවුණා මෙහි ප්‍රකාශන කටයුතුවලට. මට දැනුණෙ ඒ කාලය කුඩා ළමයෙක් නත්තල පැමිණෙනකන් බලා සිටිනවා වගේ කියලයි. අවසානයේ පොත නිකුත්වුණ දවස උදා වුණා. මං ඕනවටත් වඩා එදා සතුටු වුණා . පොත් වෙළෙඳසල්වල එය ප්‍රදර්ශනය වෙනවා දැක්කහම, මට අදහා ගන්න බැරි වුණා. මං නගරයක් නගරයක් පාසා පොත් වෙළෙඳසල් අසලින් ගිහින්, ඒ සතුට වින්ඳා. මට මගේ ‘HALFWAY PERFECT’ ‍පොත, මගේ ජීවිතයට නිධානයක් වුණා.

ඔබ මේ කෘතිය හරහා පාඨකයන්ට ලබා දීමට උත්සාහ කළ පණිවිඩය මොකක්ද?

වර්තමානයේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ඉතා ඉහළ ඉල්ලුමක්, වටිනාකමක් තියෙනවා. මේ ක්ෂේත්‍රයට බොහෝ දෙනා යොමුවන ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒත්, බොහෝ අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනවා. මේ ක්ෂේත්‍රය හරහා තමන්ගේ නම ප්‍රසිද්ධ වෙනවා වගේම තමා මෙහි තිබෙන අඳුරු පැත්ත. ඒ ගැන බොහෝ අය කතා කරන්නෙ නෑ. දන්නෙත් නෑ. මං උත්සාහ කළේ මගේ අත්දැකීම්, සිදුවීම් අළලා ඒ සියල්ල ලෝකයාට ප්‍රකාශ කරන්නයි. මේ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයන්ට මේ කෘතිය බෙහෙවින් ම උදවු වේවි.

මට මං ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. මට පොතක් හරහා පාඨකයන්ට යමක් ලබා දෙන්න හැකිවේවි කියන විශ්වාසය තිබුණා. ඒකයි මං කොහොම හරි මගේ උත්සාහයෙන් හා ජුලී ක්‍රොස් ගේ සහයෙන් මේ කාර්යය හොඳින් ඉෂ්ට කළේ. අපි හොඳ දෙයක්, හොඳ හිතින් කළොත්, අනිවාර්යයෙන් ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකට, තමා පිළිබඳ විශ්වාසයත් අත්‍යවශ්‍යයි.

ජුලී ක්‍රොස් ගැන ඔබට ප්‍රකාශ කරන්න තියෙන්නෙ මොනවාද?

ජුලී ක්‍රොස් දක්ෂ කතුවරයෙක්. එවැනි කෙනෙක් සිටියේ නැතිනම්, මට මගේ පොත කවදාවත් ලියන්න බැරි වෙනවා . මා නිතරම ධෛර්වත් කළේ ඔහුයි.

ඔබගේ මී ළඟ කෘතිය මොකක් ද?

මම මීළඟට කුඩා දරුවකු සම්බන්ධ කතාවක් ඇතුළත් ‍කෘතියක් ලියන්න සූදානම් වෙනවා. එම කුඩා දරුවා ‘කෝල්’ ලෙසයි නම් කරන්නෙ. ඔහුට කෝමා තත්ත්වයක් වැළඳී තිබෙනවා . ඔහු ලෝක දෙකක ජීවත් වන්නෙක්. ඒ, සැබෑ ලොවේදි හා සිහින ලොවේදියි. මේ කතාව තමයි මං දැන් ලියමින් ඉන්නේ.

ය‍‍ශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න