සයිකලෙන් ඇවිත්...! | දිනමිණ

සයිකලෙන් ඇවිත්...!

 දේශපාලන නායකයන්ගේ කතා සුළු කොට බැහැර කළ නොහැකි ය. ඔවුන් සතු දැනුම, අත්දැකීම්, වගවීම් හා තවත් දේවල් දෙස බලන විට පෙනී යන්නේ මේ සෑම කතාවක් තුළ ම ගැඹුරු අර්ථයක් තිබිය හැකි බව ය. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් මෑත දවසක දී කියා සිටියේ මට දැන් වෙන දා මෙන් සෙල්ලම් කළ නොහැකි බව ය. එය විවිධාර්ථ සහිත කතාවකි. එක අතෙකින් ඔහුගේ වගවීම් අධික වී ඇත. තව අතෙකින් ඔහු පරිණත වී ඇති බවක් ද, වයස්ගත වී ඇති බවක් ද වටහාගෙන ඇත. තවත් අතෙකින් ඔහු අමෙරිකාවේ නායකයා ය. ලෝකයේ ද නායකයා ය. ඒ අනුව වගකීම් විරහිත ලෙස ක්‍රීඩා කිරීමේ හැකියාවක් ඔහුට නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ සභිකයන් අමතා අපූරු කතාවක් කියා තිබේ. එම කතාව නම්; දේශපාලකයා බයිසිකලයෙන් මහජන සේවයට පැමිණ නැවත බෙන්ස් කාරයෙන් ආපසු නොයා යුතු බව ය. මේ කතාවේ අර්ථය තව දුරටත් සරල කළහොත්; තමන් පොහොසත් වීම සඳහා දේශපාලනයට ඇතුළත් වීම නුසුදුසු ය. හොරකම් හා ජාවාරම් කිරීම සඳහා දේශපාලනයට ප්‍රවේශවීම ද වැරැදි ය. තමන් මහජන සේවකයකු යැයි කල්පනා කරන කිසිදු දේශපාලකයකු ස්වකීය උදර පෝෂණය සඳහා දේශපාලන බලය පාවිච්චි නොකරනු ඇත. ගැටලුව වී ඇත්තේ එබඳු අය සොයාගැනීම දුෂ්කර වීම ය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය වැනි රටවල් ගත් කල දේශපාලන ක්ෂේත්‍රය තරම් දූෂිත වෙනත් ක්ෂේත්‍ර නැත. අප්‍රිකානු රටවල් බොහොමයක තත්ත්වය ගත්ත ද ඊට වෙනස් තත්ත්වයක් දකින්නට නැත. ඉතියෝපියාවට ලැබුණු ලෝක නියං ආධාර පවා එහි නායකයන් විසින් ගසා කන ලද යුගයක් තිබිණි. අපේ රටේ මැතිවරණ කාලයට බලයේ සිටින අය මහජන සම්පත් කොල්ල කති. යුද සමයේ අවි -ආයුධ, අහස් යානා ගෙන්වීමේ දී පවා ගසා කා ඇති බව හෙළිදරව් වී තිබේ. ගම් මට්ටමේ දේශපාලකයා සුළු පරිමාණයේ කොන්ත්‍රාත්වලින් ගසා කන අතර රටේ ඉහළ නායකයන් ජාත්‍යන්තර මට්ටමෙන් ගසාකන බව මහජන මතය වී තිබේ. මෙය ‍ බොරුවක් ද නොවේ.

දේශපාලකයන් අයථා ලෙස මුදල් උපයන අතර ම බලය ද අයුතු ලෙස භාවිත කරන බව අපගේ අත්දැකීම ය. සමහර දේශපාලකයන්ගේ නිල පිස්තෝලය පාවිච්චි කරන්නේ මන්ත්‍රී බිරිඳ ය. ඇතැම් ඇමැතිලාගේ බිරියනට අමාත්‍යාංශයෙන් වාහන සපයා දිය යුතුය. වාහන හා රියැදුරන් පමණක් නොව; වාහනවලට අවශ්‍ය ඉන්ධන ද අමාත්‍යාංශය ලබා දිය යුතුය. මේවා මහජන මුදල් බව දේශපාලකයන් කිසි විටෙක කල්පනා කරන්නේ නැත. ගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වාහන පනස් ගණනක් අවභාවිත කොට තිබිණි. ඒවාට පසුව නඩු පැවරිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේ දී මතුකළ තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්; මන්ත්‍රීවරයා තමන්ගේ කොට්ඨාසයේ සෑම නිවසක් වෙත ම යමින් ජනතා ප්‍රශ්න හඳුනා‍ගත යුතු බව ය. ජනතාවගේ දහදිය සුවඳ දේශපාලකයාට දැනිය යුතු බව අගමැතිවරයා කියා සිටී. ඇතැම් මහජන නියෝජිතයන් තම ඡන්දදායකයන්ගේ නිවෙසකට යන්නේ ඡන්ද කාලයට පමණි. එසේ ගොස් බොරු කප්පරක් දෙසා බාන නියෝජිතයෝ පවා වැඩි ඡන්ද ලබා ගනිති. පක්ෂයේ උරුමයට අනුව මේ ජයග්‍රහණ ලැබෙන්නේ යැයි කියන්නට පුළුවන. දැන් පවතින කොට්ඨාස ක්‍රමයට අනුව මහජන නියෝජිතයාගේ වගවීම් වැඩි වී ඇත. ඒ අනුව මහජන සේවය මඟහැර සිටීම ද කළ නොහැක්කකි.

කෝච්චියෙන් පාර්ලිමේන්තුවට පැමිණ ආපසු කෝච්චියෙන් ම ගෙදර ගිය මන්ත්‍රීවරු අතීතයේ සිටියෝ ය. ඔවුන්ගේ කාලය - ධනය - ශ්‍රමය හා තවත් බොහෝ දේවල් කැප කර තිබුණේ මහජන සේවය සඳහා ය. මේ තැනැත්තන් දේශපාලනයෙන් හරිහම්බ කරගත් ධනයක් තිබුණේ නැත. ඔවුන් හම්බ කරගත් දෙයක් වූයේ නම්; ඒ මහජනයාගේ කැමැත්ත පමණි. එහෙත් පසුකලෙක මෙය වෙනස් විය. මනාප ඡන්ද ක්‍රමය නිසා එය හොඳට ම වෙනස් විය. අද මහජන නියෝජිතයා වෙනුවෙන් වියදම් කිරීමට මිනිස්සු ද සිටිති. එහෙත් වියදමට සැලැකීමට මන්ත්‍රීවරයාට සිදුවනු ඇත. මේ ක්‍රමය වෙනස් කිරීමට මන්ත්‍රීවරයා ද හරි තැනෙක සිටගත යුතු ය.

රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේ දී කොළඹ නගරය සංවර්ධනය කළ යුතු ආකාරය ගැන ද කරුණු දක්වා තිබේ. කොළඹ යනු රටේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. එය පවිත්‍ර ලෙස ද, විචිත්‍ර ලෙස ද, විධිමත් ලෙස ද පවත්වාගෙන යා යුතුය. ඇතැම් විදේශිකයන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලබන්නේ ද ‘කොළොම්බු’ යන නාමය පදනම් කරගෙන ය. කොළඹ ජනගහනය අධිකම ශ්‍රී ලංකාවේ නගරය වන අතර සෑම ජනවර්ගයක් ම එහි ජීවත් වෙති. බහුතරය දිළිඳු යැයි කියන්නට ද පුළුවන. කොළඹ වතු නිවාස පද්ධතිය ඊට නිදසුන් ය. තට්ටු නිවාසවල ජීවත්වන්නේ මධ්‍යම පාන්තිකයන් යැයි කිව හැකි ය. ඊට අමතර පිරිස සුපිරි ධනවත්තු වෙති. මේ අනුව කොළඹ සමාජ ක්‍රමය ඉතා සංකීර්ණ ය. මහ නගර සභාව එය වටහා ගත යුතු ය.

මේ දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බලපාන ප්‍රධාන ගැටලුව ලෙස සැලැකිය හැක්කේ කුණු - කසළ බැහැර කිරීම ය. දීර්ඝ කාලයක සිට ගැටලුව පවතින්නේ වුව ස්ථාවර හා සාර්ථක විසැඳුමක් තවම ලැබී නැත. මෙය කොළඹ ප්‍රථම නගරාධිපතිනිය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ලෙස ද හඳුන්වන්නට පුළුවන. එක අතෙකින් නාගරික වැසියන් තමන්ගේ යුතුකම් ඉටු කරන්නේ නැත. තව අතෙකින් ආයතන කරඅරින බවක් ද පෙනෙන්නට තිබේ. සාමූහික වගවීමක් ලෙස සලකා ගැටලුවට විසැඳුම් සෙවිය යුතුව තිබේ. මධ්‍යම රජයටද කොළඹ නගරයේ ගැටලුවලින් අත්මිදිය නොහැකි ය.

වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව කොළඹ නගරය දියුණු කිරීමේ දීර්ඝ සැලැසුම් මේ වනවිට සකස් වී ඇත. ඊට අදාළ දස අවුරුදු සැලැසුමක් තිබේ. නගර සභාවේ නියෝජිතයන් මේවා අධ්‍යයනය කරන අතර නාගරික වැසියන්ගේ සැබෑ ගැටලු හා අවංක හැඟීම් වටහාගත යුතුව තිබේ. අගමැතිවරයා ගෙන්-ගෙට යන්නැ’යි මන්ත්‍රීවරුනට යෝජනා කරන්නේ ඒ නිසා ය. කොයි හැටි වුව අගමැතිවරයාගේ උපදේශනය කොළඹ නගර සභාවට පමණක් නොව; අනෙකුත් නගර සභාවලට ද , ප්‍රාදේශීය සභාවලට ද අදාළ ය. බයිසිකලයෙන් පැමිණ බෙන්ස් රථයෙන් යෑමට කෙටි මාර්ග සෙවීම නතර කළ යුතු ය. 

නව අදහස දක්වන්න