ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳිය හැකියි | දිනමිණ

ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳිය හැකියි

විජයානි එදිරිසිංහ

මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු කඳු ගැසීමේ ක්‍රියාවලියට සම්පූර්ණ විසඳුමක් ලබාදෙමින් නව සංශෝධිත පනත් හරහා මේ වසරේ සිට ගොඩගැසී ඇති ලක්ෂ ගණනක නඩු සියල්ල විසඳා අවසන් කිරීමට රජය පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි.

අධිකරණ කටයුතු, අල්ලස් හා දූෂණ සහ රාජ්‍ය සේවකයන්ගේ කටයුතු සම්බන්ධව පනත් තුනක් සංශෝධනය කෙරේ. එහිදී යල්පැනගිය නීති වෙනුවට නව නීති එක්වෙයි. මෙම සංශෝධිත පනත්වලට අනුව මහේස්ත්‍රාත්, මහාධිකරණ සහ ඉන් ඉහළට ඇති සියලු අධිකරණවල මෙතෙක් නඩු විභාග කිරීමේදී අනුගමනය කරන ලද පැරණි නීති පනත්වල වෙනසක් සිදුකෙරේ.

විශේෂයෙන් අල්ලස් නඩු විභාගයේදී අල්ලස්, දූෂණ හා වත්කම් නඩු විභාගවීම කඩිනම් කිරීමට අල්ලස් කොමිසම මඟින් ඍජුවම මහාධිකරණය හමුවේ නඩු පැවරීම හා විභාග කිරීම මෙතෙක් කාලයක් දූෂණ නඩු විභාග වූයේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පමණි. එම නිසා නීතියේ පැවැති හිඩැසක් නිසා හෝ ඒවා විභාගවීමේදී සිදුවී ඇති යම් අක්‍රමිකතාවයක් නිසා හෝ පසුගිය වසර 23ක කාලයකටම දූෂණ නඩුවලට වැරදිකරුවන් වී වසර දහයක සිර දඬුවම් විඳීමට සිදුවී ඇත්තේ සිවුදෙනකු පමණි.

නව සංශෝධන පනතට අනුව කිසිදු නඩුවක් අවුරුදු ගණන් අධිකරණ තුළ විභාගවීම ප්‍රමාද වීමට ඉඩ නොලැබේ.

විශේෂයෙන් නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසම හෝ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග විය යුතු යැයි තීරණය කෙරෙන අල්ලස් හෝ අපරාධ හෝ වෙනත් නඩු කල් නොතබා එක දිගට තීන්දුව ලබාදෙන තෙක් විභාග කර අවසන් කිරීම මෙම සංශෝධිත පනත අනුව සිදු කළ යුතු වෙයි.

නඩු ප්‍රමාද වීමේ වාසිය තුළින් බොහෝවිට සාක්ෂි අකර්මන්‍ය වීම, සාක්ෂිකරුවන් මියයාම, අපරාධකරුවන් පලායාම, නිලධාරීන්ගේ වෙනස්වීම, පරීක්ෂණ වාර්තා අස්ථානගතවීම ඇතුළු බොහෝ දේ සිදුවෙයි. එම දුර්වලතාවය තුළින් බොහෝවිට දරුණු අපරාධකරුවන් පවා නිදහස්වීමත් වින්දිතයන්ට අසාධාරණයක් වැනි බොහෝ දේ සිදුවන බවද අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පෙන්වා දෙයි.

තවද දැනට ගොඩගැසී ඇති නඩු අතර අවුරුදු විස්සක පමණ කාලයක් විභාග වීම ප්‍රමාද වූ නඩු ද වෙයි.

මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පෙන්වා දී තිබේ.

යම් අපරාධ, අල්ලස් ‍හෝ වෙනත් නඩුවක පරීක්ෂණ අංශ කිහිපයක් ඉදිරියේ නැවත නැවත සාක්ෂිදීම අඩුකර එක් පරීක්ෂණ අංශයක් ඉදිරියේ දෙනු ලබන සාක්ෂි වලංගු සාක්ෂි ලෙස පිළිගැනීමද විශේෂයෙන් මහේස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ නඩුවල තීන්දුවලින් පසු ඉහළ උසාවියට කරනු ලබන අභියාචනා නඩුවලදී ද නැවත නැවත සාක්ෂි විමසීම මෙහිදී සීමා කෙරේ. සාක්ෂි විමසීමට ඉන් ගතවන කාලය අඩුවනු ඇත.

අල්ලස් කොමිසම මඟින් පවරන නඩුවල බොහෝ බරපතළ දූෂණ වංචාවලට අදාළ නඩු වසර ගණන් එකතැන පල්වෙමින් විභාගවීම සිදුවෙයි. කාලයත් සමඟ එම වංචාවන් ඔප්පු කිරීමට ඇති ප්‍රබල සාක්ෂි පවා අකර්මන්‍යවීම සිදුවෙයි.

එම නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මහාධිකරණය හමුවේ එම නඩු එක දිගට විභාග කර තීරණය දීම නව පනත යටතේ සිදු වෙයි. තවද කොමිෂන් සභා හමුවේ සිදු කෙරෙන පරීක්ෂණවලදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි ද අධිකරණ හමුවේ වලංගු සාක්ෂි ලෙස බාර ගැනීම නව පනතින් සිදුවෙයි. සාක්ෂි නැවත ලබා ගැනීම අත්‍යාවශ්‍ය නොවේ. මීට අමතරව අල්ලස් කොමිසමට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලඥනයන්ට සහ රාජ්‍ය නිලධාරින්, විනිසුරුවරුන් ඇතුළු සෑම කෙනකුටම අනිවාර්ය කෙරේ.

එම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පෝරම්වලින් නොව පරිගණක හරහා සිදු කෙරේ. සෑම පුද්ගලයකු වෙනුවෙන්ම ඔවුන්ගේ වත්කම් වෙනුවෙන් පරිගණක දත්ත පද්ධතියක් ආරම්භ කෙරේ. සෑම වසරකම වත්කම්වල සිදුවෙන වෙනස්කම් ඊට ඇතුළත් වෙයි. එනම් වසරින් වසර ඒවා යාවත්කාලීන කිරීම සිදුවෙයි. රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගොස් වසර දෙකක් යනතෙක්ම එම වත්කම් දත්ත පද්ධතිය යාවත්කාලීන විය යුතු බවට නව පනත යටතේ නීතිරීති පනවා තිබේ.

මැතිවරණවලට ඉදිරිපත් වන පුද්ගලයන් නාමයෝජනා බාරදී මාස තුනක් ඇතුළත එම වත්කම් ප්‍රකාශය ඊට ඇතුළත් කළ යුතු වෙයි.

1988 අල්ලස් පනත යටතේ පැවැති බොහෝ නීති මෙම නව පනත මඟින් සංශෝධනය කෙරේ. අධිකරණ පද්ධතිය තුළ බොහෝ කාලයක් තුළ සංශෝධනය නොවූ නීතිරීති බලතල රැසක් නව සංශෝධිත පනත් හරහා සංශෝධනය කිරීම තුළින් නීතියේ පැවැති හිඩැස් තුළින් වැරැදිවලින් බේරී පලා යන අපරාධ සහ වංචාකරුවන්ට නව සංශෝධිත පනත් නිසා කිසිසේත් පලා යාමට නොහැකි වන බවද ජනාධිපති නීතිඥ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පවසයි.

මෙම පනත් මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා ඇත. ඒවා ඉදිරි කටයුතු සම්බන්ධව නීති කෙටුම්පත් සම්පාදකවරිය විසින් කටයුතු කරගෙන යයි. 

නව අදහස දක්වන්න