විශ්වාසභංගය පරාජය කරනවා | දිනමිණ

විශ්වාසභංගය පරාජය කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට රජය සුදානම් බවත් එම යෝජනාව කිසිඳු ගැටලුවකින් තොරව පරාජයට පත් කිරීමට රජයට හැකියාව තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයේ කිසිම ඇමැතිවරයකු විශ්වාසභංගයක් අවශ්‍ය බවට යෝජනාවක් කර නැතැයි පැවසු සේනාරත්න මහතා, ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටින කවුරු හෝ ඊට අත්සන් කළේ නම් එය සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි ද පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මහ බැංකු සිද්ධිය මුල් කර ගනිමින් අගමැතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර ඇතත් මහබැංකු සිද්ධියෙන් ආර්ථික අලාභයක් සිදු ව නැති බවත් මේ වන විට සිදු ව ඇති පාඩුව වෙනුවට රුපියල් බිලියන 12 ක් රඳවා තබා ගෙන තිබෙන බවත් කීවේය. එමෙන්ම, ප්‍රධාන වරදකරුවන් දෙදෙනකු හදුනා ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර තවත් වරදකරුවකුට රතු නිවේදන නිකුත් කර තිබෙන බව ද පැවසීය.

ඊට සම්බන්ධ යැයි සඳහන් වු ඇමැතිවරයකු ද ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රජය ගත හැකි උපරිම හා පැහැදිලි තීන්දු තීරණ ගෙන තිබෙන බවත් අවධාරණය කළේය. ඉතිහාසයේ මෙවන් ආකාරයට ක්‍රියාකර ඇත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා පමණක් බව පැවසු සේනාරත්න මහතා, ගිය පාලන සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමටවත් හැකියාව පැවැතියේ නැති බවත් කීවේය.

ස්ත්‍රී දුෂණය කර, තවත් අයටත් ඒ වරද කිරීමට අනුබල දෙමින් කටයුතු කළ එම සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට නොහැකි වු පිරිස් ගෙන එන විශ්වාසභංගය ඔවුන් මෙතෙක් ගෙන ආ අනෙකුත් විශ්වාසභංග මෙන්ම සේදී යනු ඇතැයි ද කීවේය. විශ්වාසභංගය විභාගයට ගන්නා දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇති බවත් ඉන් පසු පාර්ලිමේන්තුවේදී අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කිරීමට කටයුතු කරන බවත් පැවසීය. 

සිතාරා සේනානි, සමන්මලී ප්‍රියශාන්ති

නව අදහස දක්වන්න