ප්‍රදේශ කිහිපයක කළහකාරී සිද්ධීන්ට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා | දිනමිණ

ප්‍රදේශ කිහිපයක කළහකාරී සිද්ධීන්ට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන සිදුවූ කළහකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙහිලා ගතයුතු සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇතැයි විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා, ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව ද මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද පෙන්වා දෙයි.

මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ගිල්මෝර් මහත්මිය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ඊයේ (21) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා මේ බව ප්‍රකාශ කළේ යැයි ජිනීවා හි නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.

2015 ඔක්තෝබර් 15 දිනැති අංක 30/1 දරන යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාව ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැතිවරයා පෙන්වා දී තිබෙන්නේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ දී එක්සත් ජාතීන්ගේ ආයතන සහ අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් මානව හිමිකම් ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම හා ඉහළට ඔසවා තැබීම, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම, සංහිඳියාව සහ තිරසාර සාමය ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන බවත්ය.

වධහිංසාවලට එරෙහි සම්මුතියේ වෛකල්පික මූලලේඛයට ශ්‍රී ලංකාව එක්වූ බව ද පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත 2018 මාර්තු 07 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත බව ද සඳහන්කර තිබෙන ඇමැතිවරයා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා වෙනම කාර්යාලයක් ස්ථාපිත කොට තිබෙන බව ද පෙන්වා දී තිබේ.

විශේෂ කාර්යය භාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහත්වරු ඇතුළුව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන අයතනවල නිලධාරීහු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක්‍රියාවලිය සහ යුද්ධයේ දී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව 30/1 යෝජනාව ලෙසින් හැඳින්වෙන අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව 34/1 ලෙසින් හැඳින්වේ.

ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ එම 34/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට පසුගිය වසරේ දී වසර දෙකක කාල දිගුවක් ද ලැබිණි. ජගත් මානව හිමිකම් කවුන්සලයේ 37 වැනි සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 දා ආරම්භ කෙරුණු අතර එය හෙට (23) අවසන් වීමට නියමිතයි.

නව අදහස දක්වන්න