රට කාසි ගෙනෙන හරිත වන අරණ | දිනමිණ

රට කාසි ගෙනෙන හරිත වන අරණ

ඒ සාමාන්‍ය පෙළට පාඩම්කරන සමයයි යෙහෙළිය නාලිකාගේ නිවෙස පිහිටියේ ගන්නෝරුව වෙල්යායට ආසන්නයේ ගන්නෝරුව රක්ෂිතයේ, කඳු පාමුල සොඳුරුතම ඉසවුවකය. අන් සෑම නිවෙසකට වඩා කවුරුත් එක්වන්නට වැඩි කැමැත්තක් දැක්වූයේ එහිය. ඒ නිවෙස පිහිටි වට පිටාව පාඩම් කිරීමට ඇති නිස්කලන්ක බව මූලිකම හේතුවයි.

ඇසල මාසයේ ගස් පිරී ඉතිරී යන පලතුරු එහි යාමේ ලැදියාව වැඩි කරන අනෙක් කරුණයි. ගෙවත්තේ ඇති ,අඹ , වරකා පැණි ගොරකා, ලාඋලු , කරවල කැබැල්ල, ජෑම් පේර, පේර, අලිගැටපේර පමණක් නොව අගෝස්තුවේ ඉදී වැටෙන දූරියන්, රඹුටන් ආදී පලතුරුවලින් ‍ගෙවත්ත පිරී ඉතිරෙයි. පලතුරු පමණක් නොව හාත්පස අඳුරින් අරක්ගෙන ඇත්තේ රූස්ස සාදික්කා ගස් දැවැන්තයන්ය. වන අරණක සිරි ඇති වටපිටාව මෙන්ම නිවෙස අසලින් සිරි සිරි හඬින් ගලායන කුඩා දිය දහර රමණියය. දිය පහර ගලා එන දෙපස පුවක් ගස් පෙළට සිටගෙන සිටී.

මේ සියල්ල අතරේ එහි යාමට වැදගත්ම කරුණ නාලිගේ අම්මායි. රසවත් කෑම බීම මෙන්ම තේ, ආදියෙන් සලකන ඇයට මොහොතක විවේකයක් නම් නැත. නිවෙසේ කටයුතුවලට අමතරව ඒ සොඳුරු ගෙවත්තේ ඇයට කිරීමට නියමිත වැඩ කන්දරාවකි. කඩා පොතු ඉවත් කළ සාදික්කා ඇට වේලීම, ගම්මිරිස් වේලීම, පුවක් ඇහිඳීම, කරාඹු ඇහිඳීම වැනි කටයුතුවල ඇය නිරතුරුව යෙදෙමින් සිටියාය. සාදික්කා, ගම්මිරිස්, තේ, කරාඹු, පුවක් ආදියෙන් පිරි මෙවන් නිවෙස්වල ගෘහණියට වැඩ අධික වුවද ඇයගේ ආර්ථිකය ශක්තිමත්ය. දිරියෙන් පිරුණු ඇයගේ මුහුණ සිහිවීම සංවේගයට හේතුවකි.

මසිත වසර 25කට එහා අතීතයට පිය මැන්නේ සුවිශේෂී හේතුවක් නිසාය. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ කාබනික ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳව විමසීමට මහනුවර ප්‍රදේශයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරතවීමට ලද අවස්ථාව නිසාය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍ව මහනුවර ප්‍රදේශයේ ස්ථාපිතවීමට බලපා ඇති මූලිකම කාරණය වන්නේ අපනයන කෘෂි කර්මාන්තයට අයත් වගාවන් බොහොමයක් එම ප්‍රදේශයේ ඇති සුවිශේෂී දේශගුණික තත්ත්වයන් යටතේ ව්‍යාප්තවී ඇති නිසාය.

මේ පිළිබඳව විමසීමට අපි මුලින්ම හමුවූයේ අපනයන කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ‍.පී හීන්කෙන්ද මහතායි“අප ආයතනයේ දැක්ම වන්නේ වැඩි විදේශ විනිමයක් රටට උපයාදීමත් අපනයන කෘෂි ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශ්වකරුවන්ගේ තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති කිරීම” සඳහා කටයුතු කිරීමයි.

කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, එනසාල් ආදී කුළුබඩු වගාවන් අනාදිමත් කාලයක සිට අපේ රටේ සිදුකළ වගාවන්. එකල සේදමාවත දිගේ යුරෝපය තෙක්, අපේ රටින් ගෙනගියේ මේ කුළුබඩු කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා මේ සෑම බෝගයකම රසයේ ඇති ඉස්තරම් බව මේ දිගු ඉතිහාසය තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ලෙසින් ගොඩනැගී තිබෙනවා. එවන් සුවිශේෂී රසයකට උරුමකම් කීමට හේතුවී ඇත්තේ මේවා වගාකෙරෙන පරිසරයේ පවතින සුවිශේෂී බවයි. මහනුවර හා මධ්‍යම කඳුකර කේන්ද්‍රකොට කෙරෙන මේ වගාවන් සඳහා ලැබෙන සීතල, පින්න, වැස්ස, හිරුඑළිය, මේ සියල්ල සුවිශේෂී පාරිසරික තත්ත්වයන්, ඒ නිසා නිෂ්පාදනයේ රසය ඊටම විශේෂ අන්දමින් සැකසෙනවා. මේ හේතුව නිසා ගෝලීය වශයෙන් මෙරට නිෂ්පාදන සඳහා ඉහළ මිලක් නියම වෙනවා. මේ තත්ත්වය වඩාත් තීව්‍ර කිරීම සඳහා අපි අපනයන කෘෂිකර්මාන්තය සඳහා කාබනික වගා ක්‍රමය හඳුන්වා දුන්නේය.

වසර සියගණන් පුරා උඩරට ගෙවත්ත තුළ වගා කෙරෙන මෙම භෝගයන් සඳහා රසායනික පොහොර හා කෘමිනාශක ආදිය යෙදීම් සිදුවී තිබුණේ ඉතාම අවම වශයෙන්. ඊට හේතුව මේ ගෙවතුවල කාබනික ‍පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ස්වභාවිකව සිදුවන සංසිද්ධියක්. ඒ බව මේ ගොවිතැන් සිදුකෙරෙන ගෙවත්තකට ගියවිට පැහැදිලියි. මේ නිසාම කාබනික ගොවිතැන ඇසුරින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඇති ඉහළ ඉල්ලුම සලකා, අපගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ ගොවීන්ගේ නිෂ්පාන කාබනික නිෂ්පාදන බවට ජාත්‍යන්තරව පිළිගන්න. තත්ත්ව සහතික ලබාදීම අප දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනවා. එසේ ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදන සඳහා ඉහළ ගුණාත්මක බවක් ඇති කිරීමයි. ගෝලීය වශයෙන් සිදුවෙන තරඟකාරීත්වය හමුවේ අපගේ නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකම් අත්කරදීමත් මෙමගින් අපේක්ෂා කරනවා.” අපනයන භෝග සඳහා කාබනික ගොවිතැනින් ඇති ගෝලීය වැදගත්කම පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන (2) එල් .එම්.එල්.කේ ලින්දර මහතා අදහස් දක්වා සිටියේ මෙසේයි” තිරසාර කාබනික ගොවිතැනේ අපේක්ෂිත කරුණු කීපයක් තිබෙනවා. පරිසර හිතකාමීත්වය, සංස්කෘතික සබැඳියාව, සමාජීය පිළිගැනීම, ආර්ථීක ස්ථාවර බව මෙහි ප්‍රතිඵල දීර්ඝ කාලීනයි.

රසායනික පොහොර ආනයනය සඳහා වසරකට කෝටි 400ක් පමණ රටක් වශයෙන් අපි වැය කරනවා. නමුත් කුළුබඩු නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතය සිදුවී තිබුණේ ඉතාමත් අවම මට්ටමින්. එසේ භාවිතා කළ අවම මට්ටමින්ද බැහැරවී කාබනික ගොවිතැනට ප්‍රවේශවීමෙන් දීර්ඝකාලීනව මේ ගොවිතැනින් අත්කරගතහැකි වාසි පිළිබඳව අපි ගොවියන්ව දැනුම්වත් කළා.

අපනයන කෘෂිකර්මාන්තය සඳහා භාවිතාවන ඉඩම් හා ආදායම පිළිබඳව සැලකිලිමත් වීමේදී පෙනී යන්නේ 2014 වසරේ වගාකර ඇති හෙක්ටයාර ප්‍රමාණය 109690ක්. ඉන් ලද ආදායම රුපියල් මිලියන 43223ක්. 2015 ආදායම රුපියල් මිලියන 60,000.

වර්තමානය වනවිට අපනයන භෝග වවා ඇති ඉඩම් වපසරිය හෙක්ටයාර 10,0000. මේ මඟින් ඍජුව හා වක්‍රව යැපෙන ගොවි පවුල් ප්‍රමාණය 1000,000. කෘෂිකර්ම අපනයනයේ 14% වන මෙම ආදායම දළ‍දේශීය නිෂ්පාදනයෙන් 0.5% ක් වෙනවා. මෙම තත්ත්වය ඉහළ දැමීමයි අ‍පගේ අරමුණ.”

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවීන් දැනුවත් කිරීම සඳහා මුද්‍රණය කර ඇති පොත්, පත්‍රිකා ආදී සන්නිවේදන උපාංග මෙන්ම එම ආයතනය මගින් මුද්‍රණය කරන සාරතී සඟරාවට දැනුම හා නිර්මාණශීලිත්වයෙන් වැඩි දායකත්වය ලබාදෙන පර්යේෂණ හා සංවර්ධන සහකාර රුවන් බස්නායක මහතා පාරිසරික හරිත ගම්මාන වැඩසටහන පිළිබඳව දැක්වුයේ මෙවන් අදහසක්.

“පාරිසරික හරිත ගම්මාන වැඩසටහන සඳහා මූලික සංකල්පය‍ කොටගෙන තිබෙන්නේ ‘Kandyan Forst Gardun’ නැමති සංකල්පයයි. 20 වන සියවසේ මුල්භාගයේ අපේ රටේ තිබූ ස්වභාවික වන ප්‍රවාහය 80%ක්. නමුත් සියවස අවසන් වනවිට එය 20% බවට පත්වී තිබෙනවා.

නමුත් මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල හා රත්නපුර ප්‍රදේශවල බොහොමයක් ගෙවතු ආශ්‍රිතව වගාකර ඇති කෘෂි ආර්ථික භෝගයන්ගෙන් සමන්විත ගෙවතු ස්වභාවික වනාන්තරවල ලක්ෂණ අත්පත්කරගෙන තිබීම හඳුනාගත හැකිය.

මේ ලෝක උරුම සොබා විමානය වාණිජ අරමුණු ඉටුකරන අතරම සොබාදහමට කරන සේවය ඉතා ඉහළයි. වේගයෙන්ම පරිසර දූෂණයට ලක්වෙන නගරය ලෙස හඳුනාගෙන තිබෙන මහනුවර නගරය වුවත් ඒ අවට, ජල මූලාශ්‍ර, වායුගෝලය මෙන්ම ජෛව පද්ධතිය තවමත් සුරැකීමට හේතුවී තිබෙන්නේ ඒ අවට ඉතිරිවී ඇති මේ කෘෂි ආර්ථික වන වැස්ම නිසායි.

‘පාරිසරික හරිත ගම්මාන’ වැඩසටහන දියත් කරමින් සුරැකීමට උත්සාහ ගන්නේ මෙම පරිසරයේ ඇති ස්වභාවික වටිනාකම හා ආර්ථික වටිනාකමයි. දැනට නිරාවරණයවී ඇති ඉඩම් මෙම තත්ත්වයට ඔසවා තැබීම මීළඟ ඉලක්කයයි.”

ක්ෂේත්‍රයේ ගොවීන් සම්බන්ධකරගෙන අපනයන හරිත ගම්මාන වැඩසටහන දියත් කරනුයේ යු.කේ කොඩිකාර මහතාය. ආයතනික සාකච්ඡා කුමන මට්ටමක පැවතියද සැබෑ යථාව හඳුනාගත හැක්කේ ක්ෂේත්‍රයේදීය. “පාරිසරික හරිත ගම්මාන” වෙත පිවිස ගොවීන් හමුවී සාකච්ඡා කිරීම මැනවැයි අප තීරණය කළේ ඒ නිසා යි. මහනුවර නගරය, මෙන්ම කටුගස්තොටද පසුකර අප ප්‍රවේශ වූයේ මැණික්හින්න ප්‍රදේශයටයි. එහි ‘හීපිටිය’ ගම්මානයටයි. හන්තාන කඳුවැටියට දකුණු දිගින් පිහිටි මෙම ප්‍රදේශය පසෙකින් දිස්වන්නේ නකල්ස් කඳු වැටියය. විසල් තුරුමුදුන් පිරි ඝන හරිත වර්ණ ගෙවතු පසුකර අපි ප්‍රවේශ වූයේ කේ. ආනන්ද කුමාරසිරි මහතාගේ නිවෙස වෙතයි.

අප එහි යනවිටත් කුමාරසිරි මහතා සිටියේ තවාන් ගම්මිරිස් දඬු තවාන් කරමිනි. සුහද සිනහවකින් අප පිළිගත් ආනන්ද මහතා පැවසුවේ ලැබෙන ආදායමට වඩා සතුටු වන්නේ ගස් කොලන් අතගෑමෙන් ලැබෙන සනීපයට බවයි. හීපිටිය පැරකුම් කාබනික ගොවි සමිතියේ සභාපති වන ඒ මහතා ගොවිතැන හා බැඳුන ඔවුන්ගේ ජීවිත පිළිබඳව පැවසුවේ මෙලෙසය.

පාරම්පරිකව අපේ ඉඩම්වල සාදික්කා, කෝපි, කරාබු, ගම්මිරිස්, කහ, ඉඟුරු, බුලත්, එනසාල් වගා කෙරෙනවා. මීට අමතරව දැව වටිනාකම නිසාත් ගේ දොර ප්‍රයෝජනයටත්, පොල්, කොස්, දෙල්, දූරියන් වගේ භෝගත් අතරට සිටුවා තිබෙනවා. මේ භෝග සැම එකිනෙකට සහයෝගයෙන් වගේ වැඩී වසර පුරා පලදරමින් සෙත සලසනවා.

අපි මේ කාබනික ගම්මාන වැඩසටහනට දායක වූයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමට අනුවයි. මුල්කාලයේ අපි ගම්මිරිස්, පුවක්, සාදික්කා පලදාව විකිණීමට නගරයට ගෙනියනවා. ගෙදරට එන වෙළෙන්ඳුන්ට වඩා කටුගස්තොට ටවුමට අරගෙන ගියහම වැඩිමිලක් ලැබෙනවා. පස්සේ කාලෙකදී ගෙදරට එන වෙළෙන්ඳන්ට විකුණන්න පටන් ගත්තා. ඊටත් පස්සේ අස්වැන්න මිලදී ගන්න සමාගම් පැමිණියා. අන්තර්ජාතිකව කටයුතු කරන මේ සමාගම් අපගේ කුළුබඩු කාබනික නිෂ්පාදන බවට තහවුරු කරන ප්‍රමිති සහතිකය ලබාගැනීමට අපිට සහාය වෙනවා. මේ අනුව අස්වැන්න නෙළීම, වේලීම ආදී කටයුතු පිරිසුදුව කළ යුතුයි. අනතුරුව වසර පුරා ඒ සමාගම වෙත අස්වැන්න අලෙවි කිරීමට ගිවිසුමක් ඇති කරගන්නවා. සමාගම විසල් ලබාදෙන කාබනික සහතිකය ලබාගැනීමට විශාල මිලක් වැයවන නිසා සමාගම සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නෑ. නමුත් දැන් කාබනික සහතිකය ලබාදීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අතර මැදියෙකු නොමැතිව අපත් අස්වැන්න දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් අපනයන වෙළෙඳ පොළ වෙත ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙන් අපගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගත හැකිවේ යැයි අපි අපේක්ෂා කරනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පාරිසරික ගම්මාන වැඩසටහන් මෙහෙයුම දියත්කරන නියමුවා වන යු.කේ කොඩිකාර මහතාට ගම්මු දක්වන අපමණ සෙනෙහස, හා බැතිය එහිදී මැනවින් දිස්වූයේ අතරමඟ හමුවන ගැමියන් ඔහු වෙත පෑ සුහද බව නිසාවෙනි.

මීළඟට අප පිවිසියේ එච්.ජී.අබේසිංහ මහතාගේ නිවෙස වෙතයි. කාබනික ගොවිතැනට අමතරව එහි තවත් අපූරු කර්තව්‍යයන් සිදුවෙමින් පැවතිණි. ඒ කාබනික ගොවි නිෂ්පාදන ඇසුරින් කෙරෙන නව නිෂ්පාදන ව්‍යාපෘතියකි. ‘මැද වත්ත’ නමින් සිදු කළ මෙම නිෂ්පාදනයන් වූයේ කිතුල් පැණි, කිතුල් හකුරු, කළු හා කොළ ගම්මිරිස් සෝස් මෙන්ම ඉවතලන සාදික්කා ලෙල්ල ඇසුරින් සකස් කරන චට්නිය. මෙම ප්‍රදේශයේ ප්‍රචලිතව කෙරෙන කාබනික ගොවිතැන ආශ්‍රිතව ලබාගන්නා අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන මෙම නිෂ්පාදන කාබනික නිෂ්පාදනයන්ය. මෙබඳු පහසුකම් අඩු ප්‍රදේශයක අරඹා ඇති මෙම ව්‍යාපාරය හේතුවෙන් ප්‍රදේශයේ කාන්තාවන් පස්දෙනෙකුට පමණ රැකියාවක් ලැබී තිබේ. වෙළෙඳපොළට අලුත් නිෂ්පාදනයක් වුවද මේ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවයි. ප්‍රසාදිනී අබේසිංහ මෙනෙවිය පවසන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති වැඩසටහනකට පසුවයි තාත්තා මෙම නිෂ්පාදන පිළිබඳව අත්හදා බැලුවේ. ඉන් අනතුරුව මෙය ව්‍යාපාරය ලෙස ගොඩනැඟීමට මමත් අම්මත් තාත්තට සහය වුණා. දැන් අපගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. නමුත් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ ගැටලුව වී තිබෙන්නේ.” අබේසිංහ පවුලේ සැම ‘මැදවත්ත’ නිෂ්පාදන රටම දන්නා නිෂ්පාදන බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා කැපවී සිටී. අපනයන භෝග වැවෙන ප්‍රදේශවල විශේෂත්වය වන්නේ නිතර ලැබෙන වර්ෂාපතනයයි. මේ හේතුව නිසා ඇතැම් කාලවල ඉහළ අස්වැන්නක් ලැබුණද ඒවා වේලාගැනීම මෙන්ම වෙළෙඳ පොළට යැවිය හැකි මට්ටමට කඩා සකස් කර ගැනීම ඇතැම් කාලවලදී මහත් දුෂ්කර කටයුත්තක් බවට පත්වෙයි. අක්කර කාලක, බාගයක මෙන් නොව අක්කර 10,15 වගාවන් ඇති අයට මෙය මහත්ම ගැටලුවක් බවට පත් වේ.

එවන් අත්දැකීමක් ඇති කෙනෙකි. ‘තුරු අඹේ මුදුන’ ප්‍රදේශයේ පදිංචි එන්.එස්. ප්‍රේමරත්න මහතා, තම ගම්මිරිස් අස්වැන්න වේලා ගැනීම සඳහා ඔහු විසින්ම සකස්කර ගන්නා ලද පෝරණයක මුල් කාලයේ අස්වැන්න වේලාගත් ප්‍රේමරත්න මහතාට පසු කාලයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර ලබාගෙන අස්වැන්න වියලන යන්ත්‍ර කීපයක්ම සකස්කරගෙන ඇත්තේ ප්‍රදේශයේ අයටද සේවාවන් සලසමිනි.

“පාරිසරික හරිත ගම්මාන වැඩසටහනට දායකවීම අපිට අලුත් අපේක්ෂාවක් ඇති කළ කටයුත්තක් වුණා. අපිට තියෙන්නේ රත්තරන් පොළවක්. ඒත් බැලුවොත් පෙනෙයි. ඒ තේ පාට කහ නෙමෙයි කළු කියලා, අවුරුද්ද පුරා කොළ වැටිල දිරලා, පොහොර වෙලා, හරිම සාරවත් වෙලා තියෙන්නේ, අපේ ඉඩම් ආනතියට පිහිටලා තිබුණත් පහළම තිබෙන පුංචි පැලෑටි වගේම මුල් පද්ධතිය නිසා සෝදා පාළුව අඩුයි. එහෙම තැන් වැටි දාලා කානු බැඳල, සකස්කර තිබෙන නිසා පස ආරක්ෂා වෙනවා. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලැබෙන අන්දමේ වැඩසටහන් සකස් කරන ලෙසයි. ඒ නිසායි අපි මේ කාබනික ගම්මාන වැඩසටහන සමඟ එකතු වුණේ”

“සම්පත් බණ්ඩාර” මහතා මෙම වැඩසටහන සඳහා එක් වූ තරුණ ගොවි මහතෙක් වගා කරන ඉඩම් ප්‍රමාණය තවදුරටත් වැඩිකරමින් ප්‍රතිලාභ වැඩිකර ගැනීමයි ඔහුගේ අභිප්‍රාය. ඒ සඳහාත් නව ව්‍යාපෘති හඳුන්වා දෙනවානම්, වැදගත් බවයි ඒ මහතාගේ අදහස.

අප තුරු අඹේ මුදුනින් විගස පැමිණීමට තීරණය කළේ එදින මහනුවර ප්‍රදේශයට ඇඳිරිනීතිය බව කොළඹින් ලැබුණ ඇමතුමක් හේතුවෙනි. මැණික්හින්න , දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාප්තවී ඇති සොඳුරුතම මහනුවර ගෙවත්ත පිළිබඳ තතු පැහැදිලි කළමුත් එදින එහි ඉස්මතු වී දෝරෙ ගැලූ නොමිනිස්කම් පිළිබඳ ලියන්නට මෙය අවස්ථාව නොවන බව ලියා තබමි.

 

 

 

 

 

 

නව අදහස දක්වන්න

Or log in with...