මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී | දිනමිණ

මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් අත්වැරදීමක් සිදුවු බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මුල්වරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනයට එරෙහි චෝදනාව වන්නේ ෆේස්බුක් ගිණුම්හිමියන් මිලියන 50ක ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීමය.

2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළඹවීමට එම දත්ත යොදාගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

අමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට අදාළ පර්යේෂණ , දත්ත එක් රැස්කිරීම ,විශ්ලේෂණය සහ ප්‍රජාව ඉලක්ක කිරීම ඇතුළු සමස්ත ඩිජිටල් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ තම ආයතනය බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් නික්ස් හෙළි කළේ ය.

ඒ බව දැක්වෙන වීඩියෝ පටයක් , කිසියම් මාධ්‍ය ආයතනයක් අන්තර්ජාලයට නිකුත්කිරීමෙන් පසු නික්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මෙම හෙළිදරව්ව සමඟ ලොව පුරා ෆේස්බුක් ගිණුම් හිමියෝ සිය තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න කරමින් සිටිති.

ෆේස්බුක් වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත්කරමින් , අනුගාමිකයින්ගේ විශ්වාසය කඩ කල බව මාර්ක් සකර්බර්ග් පිළි ගත්තේ ය.

බ්‍රිතාන්‍යය සඳහන් කළේ, ෆේස්බුක් ආයතනයේ එම නිදහසට කරුණු දැක්වීම විනාශකාරී පරාජයක් ලෙසයි.

මින්පසු ෆේස්බුක් වෙබ්අඩවිය භාවිතකරන්නන්ගේ තොරතුරු ලබාගැනීම අපහසු වන ලෙස වෙනස්කම් මාලාවක් හඳුන්වාදෙන බව ද සකර්බර්ග් කියා සිටියේ ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා කරුණු ඉදිරිපත්කිරීමට කොංග්‍රසය ඉදිරියේ පෙනී සිටින ලෙස සකර්බර්ග්ට අමෙරිකානු සෙනෙට් සභිකයින් නියෝග කර තිබේ.

නව අදහස දක්වන්න