පාතාලය! | දිනමිණ

පාතාලය!

 අමෙරිකාවේ මෙරිලන්ඩ් ජනපදයේ සෙන් මේරී ප්‍රදේශයේ පාසලක පෙරේදා වෙඩි තැබීමක් සිදු විය. සැකකරු දාහත් හැවිරිදි ශිෂ්‍යයෙකි. ඔහුගේ නම ඔස්ටින් වයිට් රොලින් ලෙස සඳහන් වේ. වෙඩික්කාරයා පාසලට තුවක්කුවක් රැගෙන’විත් දිගට - හරහට වෙඩි තබන්නට පටන්ගෙන ඇත. මේ අතර පොලිසිය වහා ක්‍රියාත්මක වී වෙඩික්කාරයාට වෙඩි තැබීය. එසේ නොවන්න පාසල තුළ විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. අමෙරිකන් පොලිසියේ අවධානය හා වේගවත් බව ගැන සතුටු විය හැකිය. මිනීමරුවන්, පාතාල නායකයන්, කුඩු වෙළෙන්දන්, කප්පම්කාරයන් මර්දනය සඳහා ශක්තිමත් හා බුද්ධිමත් මෙහෙයුම් තිබිය යුතු ය.

මෙරට පාතාලය රට තුළ තම අණසක පවත්වාගෙන යන්නේ සැලැකිය යුතු කාලයක සිට ය. වරින් - වර පාතාල නායකයන්ගේ නම් රට පුරා ප්‍රචලිත වෙයි. ඇතැම්විට රටින් බැහැරව ජාත්‍යන්තරයට පවා ඔවුන්ගේ නම් හා ක්‍රියාකාරකම් විකාශය වෙයි. බොහෝ පාතාල නායකයන්ට විදේශීය සම්බන්ධතා තිබේ. රට තුළ ද ඉන් බැහැරව විදේශ රට තුළ ද අපට බලපාන පාතාල කල්ලි පවතී. ඇතැම්විට එම කල්ලි අතරද සටන් පවතී. පළිගැනීම් පවතී. ජනමාධ්‍ය පාතාල කල්ලිවල ගැටුම් හඳුන්වන්නේ පාතාල යුද්ධ ලෙස ය. මෙක්සිකෝවේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි ආණ්ඩුවේ හමුදා සමඟ කරට කර සටන් කළ යුගයක් පැවැතිණි. අපේ රටේ තත්ත්වය ද එබඳු තැනකට ගියහොත් ඒගැන පුදුම විය යුතු නැත.

මේ දිනවල රටේ වැඩි දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ පාතාල කල්ලි අතර පවත්නා ගැටුම් ගැන ය. කොස්මල්ලී නම් පාතාල සාමාජිකයකු පැහැරගෙන ගොස් පසුව ඝාතනය කොට හිස පමණක් කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබිණි. මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයකුගේ නම මේ ඝාතනය පසුපස තිබේ. කෙසෙල්වත්තෙන් හමු වූ හිස රටේ ආන්දෝලනයක් ඇති කළේ ය. පරීක්ෂණවලින් පසුව එය මධුෂ්ගේ කල්ලියේ වැඩක් බව හෙළිදරව් වී ඇත. මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයා ශ්‍රී ලංකාවේ නැත. ඔහු ඩුබායිවල සුවපහසු ජීවිතයක් ගත කරන බවත්; එහි සිට පාතාල කල්ලි මෙහෙයවන බවත් දැනගන්නට ලැබේ.

සමහර පාතාල නායකයන් විදේශ රටවල සිටිය ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපේ රට තුළ ‍හොඳින් දැකගත හැකි ය.තව සමහර පාතාල නායකයන් සිරගතව සිටිය ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද ඉතා හොඳින් සිදුවන බව දැකගත හැකි ය. තවත් සමහර පාතාල නායකයන් මිය පරලොව ගොස් සිටියද ඔවුන්ගේ කල්ලිවල අපරාධ වඩාත් හොඳින් සිදුවනු දැකගත හැකි ය. කප්පම් ගැනීම, මංකොල්ලකෑම, මත්කුඩු ජාවාරම, කුලියට මිනී මැරීම තව ම රට තුළ සැලැසුම් සහගතව සිදුවෙයි. මේවා මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන මුත් ප්‍රතිඵලය එතරම් සාර්ථක නොවන බව පෙනී යයි.

මේ අතර නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටින්නේ ඉතා ඉක්මනින් පාතාලය මර්දනය කරන බව ය. එය වැදගත් ප්‍රකාශයකි. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියා සිටී. පාතාලය මර්දනය කිරීමට නම්; දැනට හඳුනාගෙන ඇති පාතාල නායකයන් වහා අත්අඩංගුවට ගත යුතු ය. හිර ගෙදර සිට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන එක ද නැවැත්විය යුතුය. ඉන්දියාවේ, ඩුබායි රටේ, ජපානයේ, ඉතාලියේ පමණක් නොව, තවත් යුරෝපීය රටවල ද අපේ පාතාල නායකයන් සිටින බව කියති. ඒ නායකයන් මර්දනය කරන්නේ කෙසේද?

දැනට කතාබහට ලක්වන ප්‍රධාන පාතාල නායකයකු ලෙස මාකඳුරේ මධුෂ්ක හැඳින්විය හැකි ය. අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ නම නිතර කියවෙයි. කොස්මල්ලී නම් පුද්ගලයාගේ ඝාතනය සිදු වී ඇත්තේ ද ඔහුගේ මෙහෙයැවීම මත බව කියති. ඩුබායි රටට ගොස් ඔහු අත්අඩංගුවට ගත නොහැකි ද? පොලිස් ප්‍රධානියෙක් මීට උත්තරයක් ලබා දී ඇත. එනම්; ඩුබායි රට හා ශ්‍රී ලංකාව අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උපර්ජන නීතියට එකඟතාව පළකොට ගිවිසුමක් අස්සන් කර නැති බව ය. මේ නිසා මධුෂ්ක නමැත්තා ශ්‍රී ලංකාවට භාරදීමට ඩුබායි රට බැඳී නැත. දැන් කළ යුත්තේ එබඳු ගිවිසුමක් වහාම අස්සන් කිරීම ය.

පොලිස් ප්‍රධානියා තවත් කරුණක් පැහැදිලි කර දෙයි. එනම් ගිවිසුමක් නැතත්: රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගී කරගෙන අපරාධකරුවන් අල්ලා ගත හැකි බව ය. එහෙත් ඇතැම් දේශපාලකයන් පාතාලය සමඟ සබඳතා පවත්වන බවද, ඔවුනට රැකවරණය ලබාදෙන බව ද පොලිස් ප්‍රධානියා පෙන්වා දෙයි. මෙය ඉතා හොඳ විවේචනයක් ලෙස සැලැකිය හැකි ය. කොයි ආණ්ඩු තුළත් කොයි දේශපාලන පක්ෂය තුළත් පාතාලය සමඟ සබඳතා පවත්වන දේශපාලකයන් සිටින්නට පුළුවන. ඇතැම් දේශපාලකයෝ රහසිගතව පාතාලයේ උදවු ලබන අතර තවත් දේශපාලකයෝ එළිපිටම පාතාල නායකයන් හමුවෙති. සමහරු හිර ගෙදරට ගොස් පාතාල නායකයන්ගේ සුවදුක් විමසති.

එක අතෙකින් මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින් ම කළමනාකරණය කරන්නේ පාතාලය යැයි කියන්නට පුළුවන. බාල පරපුර ඉතා වේගයෙන් මතට ඇබ්බැහි වෙමින් සිටිති. මෙය බරපතළ අපරාධයකි. එහි බිහිසුණු ප්‍රතිඵල අනාගතයේ දැකගත හැකි වනු ඇත. කප්පම් ගැනීම, කුලියට මිනීමැරීම පමණක් නොව; ඇතැම් විට දේශපාලනයට පවා පාතාලය සම්බන්ධ වී සිටිති. මේවා වෙනස් නො කොට යහපත් රටක් ගොඩනැඟිය නො හැකි ය. රටේ සිදුවන ඇතැම් ජාවාරම්වලට වැට බඳින රාජ්‍ය නිලධාරීන් ට මරණීය තර්ජන එල්ල කරන්නේද පාතාල නායකයන් ය. වැලි ජාවාරම, පස් ජාවාරම, ගස් ජාවාරම ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි ය. පාතාලය කෙතරම් බලවත් ද යත්; ඔව්හු පොලිසියට තර්ජනය කරන තැනක සිටිති. අපට සිහිවන්නේ මෙක්සිකෝවේ තත්ත්වය යි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට පාතාල මර්දනය කිරීමේ අවංක වුවමනාවක් ඇති බව පෙනී යයි. අපේ ආරක්ෂක අංශවලට එය කළ හැකි ය. උතුරේ ත්‍රස්තවාදය මර්දනය කළ අයට පාතාලය මර්දනය සුළු දෙයක් යැයි කියන්නටත් පුළුවන. ඒ සඳහා ආරක්ෂක අංශවලට තවත් සහයෝග ලැබිය යුතුය. එක අතෙකින් ඊට අදාළ නීති - රීති හොඳින් පවත්වාගෙන යා යුතුය. අවශ්‍ය පහසුකම් ද සැපයිය යුතුය. මහජනයා පවා මෙහිදී පොලිසිය පැත්තේ සිට ගත යුතුය. 

 


නව අදහස දක්වන්න

Or log in with...