යුග පෙරළියක් සමඟ දැවැන්ත තෑගි මල්ලක් | දිනමිණ

යුග පෙරළියක් සමඟ දැවැන්ත තෑගි මල්ලක්

ගීෂා මුණසිංහ

නවීණතම මෝටර් රථ දෙකක් හා නවීණතම යතුරුපැදි දෙකක් සමඟ ‍මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ යුග පෙරළියක් කරමින් දැවැන්ත තෑගි මල්ලක් පිරිනැමෙන 2018 ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය එළි දකී.

මෙරට සමස්ත ක්‍රීඩාවේම මෙතෙක් ප්‍රදානය කරන විශාලතම ත්‍යාග මල්ල සමගින් 2018 වසරේ මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ දැවැන්තම යුග පෙරළියකට පිවිස සිටින ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) ආධුනිකයන්, නවකයන් මෙන්ම ප්‍රවිණයන්ද අමන්දානන්දයට පත් කරමින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මල්ල පිරිනැමීමට සූදානම් වෙයි.

කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය, ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් තරගාවලිය, කලම්බෝ සුපර්ක්‍රොස් තරගාවලිය, කැවැර්ලි සුපර්ක්‍රොස් තරගාවලිය, කමාන්ඩෝ චැලේන්ජ් තරගාවලිය, පන්නල දිවා රාත්‍රී තරගාවලිය, තරගමාලාවට ඇතුළත් තරග වන අතර සහයක තරගාවලිය ලෙස මීරිගම මාණ්ඩලික තරගාවලි දෙකක් ඇතුළු තරගාවලි සමුහයකින් මේ තරගමාලාව සමන්විත වෙයි.

එම තරග මාලාවේ ප්‍රධානතම මෝටර් රථ තරග ඉසව්ව වෙනුවෙන් හා තරග මාලාවේම ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වෙනුවෙන් නවීණතම මෝටර් රථයක්ද ප්‍රදානය කිරීමට සැලැසුම් කර ඇත. සමස්ත තරගමාලාවේම සහායක මෝටර් රථ තරග ඉසව්ව‍ක් වෙනුවෙන් සහ යතුරුපැදි තරග මාලාවේ සහායක යතුරුපැදි තරග ඉසව්‍වක් වෙනුවෙන් නවීණතම හොන්ඩා යුනිකොන් යතුරුපැදි 2ක් ඇතුළු සුවිශේෂී ත්‍යාග මල්ලක් “2018 ශ්‍රී ලංකා සුපර් සීරීස්” තරගමාලාව තුළින් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) සමග එක්ව කටයුතු යොදා ඇත.

2018 ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය එළිදක්වන මොහාතේ ජාතික තරගාවලියට පමණක් ඇතුළත් වූ වලව සුපර්ක්‍රොස් තරගාවලියද 2018 ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය සමග අත්වැල් බැගැනීමට එක් විය. ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය සංවිධාන කළ වලව සුපර්ක්‍රොස් තරගාවලිය හා කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය යන තරග ඉසව් දෙකම 2018 ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලියට එක් වීම සුපර් සීරීස් මේ වසරේදී මෝටර් රථ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයකි.

ඒ අනුව තරගමාලාවකින් හා සහායක තරගාවලි දෙකකින් සමන්විත තරගමාලා‍ව හා තරගාවලියට ග්‍රැවල් තරගාවලි 5ක් හා ටාමැට් තරගාවලි 3ක් ඇතුළත්ව ඇති අතර තරගාවලි 5කින් සමන්විත ටාමැට් තරගමාලාවකින්ද “2018 ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය” විචිත්‍රවත් වෙයි.

“2018 හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්” එළිදැක්වීම ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ ප්‍රදර්ශනාගාර ශ්‍රවනාගාරයේ දී සිදුවිණි. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ‘හච්’ ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික ආයතනය කටයුතු කරන අතර සම අනුග්‍රාහකයන් ලෙස මැක්සීස් ටයර් ගෙන්වා බෙදාහරින මැක්සීස් ආයතනය හා හොන්ඩා මෝටර් රථ හා යතුරුපැදි අලෙවියේ මෙරට නියෝජිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම කටයුතු කරයි. මොබිල් ලුබ්ලිකන් මෝටර් ඔයිල් ගෙන්වා බෙදාහරින මැක්ලරන්ස් සමුහ ව්‍යාපාර ආයතනය හා ප්‍රමෝවොච් වෙළෙඳ ප්‍රචාරක ආයතනයද අනුග්‍රාහකත්වය සපයයි.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා ‘මෙරට සමස්ත ක්‍රීඩාවේම ස්වර්ණමය මෙහොතකට එක්වීමට ලැබීම ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මා ලද වාසනාවක්. නවීණතම මෝටර් රථ දෙකක් හා නවීනතම යතුරුපැදි දෙකක් සමඟ ‍මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ දැවැන්ත තෑගි මල්ලක් රැගෙන මේ මොහොතේ ආරම්භ වූ ‘2018 හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාමාලාවට හා තරගාවලියට එක්වන තරගකරුවන්ට මෙන්ම තරග සංවිධායකටයන්ටද මා සුබ ප්‍රර්ථනා කරනවා. මක් නිසාද යත් ක්‍රීඩාවේ උන්නතියට මෙවැනි දිරිගැන්වීම් අවශ්‍යම මොහොතක එය නොමසුරුව ලබා දෙමින් හා මෙරට ක්‍රීඩාව අද පතින තැනින් ඉහළට රැගෙන යාමට දරණ ප්‍රයත්නයට එක් වීම අගය කොට සලකනවා. නිදහසින් පසු 70 වසරක මෙරට ක්‍රීඩාවේ දී මෙතෙක් ප්‍රදානය නොකළ සුවිශාල ත්‍යාග ගොන්නක් එක් රැස් කරමින් නොමසුරුව එය ප්‍රධානය කිරීමට පෙරට පැමිණ සිටන ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජයටද (AMRC) මාගේ ප්‍රණාමයපුද කරනවා.’ යැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) වත්මන් සභාපති ප්‍රවීණ මෝටර් රථ ධාවක කාමිල් හුසේන් මහතා පවසා සිටියේ මෙරට මෝටර් රථ ක්‍රීඩාව වෙනස්ම දිසානතියකට යොමුකළ තම සමග නව මාවතකට රැගෙන යාමේ කාර්යභාරය ඉටුකරමින් සිටින බවයි.

ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජයේ (AMRC) වත්මන් සභාපති ප්‍රවීණ මෝටර් රථ ධාවක දිනේෂ් ජයවර්ධන මහතා උත්සව සභාව අමතමින් පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගමාලාවෙන් අනතුරුව යතුරුපැදි ක්‍රීඩකයන් විසින් කළ ඉල්ලීමක් මේ වසරේ දී එය ඉටුකිරීමට සංගම් දෙකම එක්ව සිටිනා බවයි.

‘පසුගිය වසරේ දී දක්ෂතම යතුරුපැදි ධාවකයට හිමි වූ යතුරුපැදිය හිමිකරගත් ක්‍රීඩකයා විසින් ලබන වසරේ දී යතුරුපැදි ක්‍රීඩකයන් උදෙසා ද මෝටර් රථයක් ප්‍රදානය කරන මෙන් කළ ඉල්ලීම මේ වසරේ දී මල් ඵල ගැන්වී තිබෙනවා.’

මෙවර තරගාවලියට මැක්ලරන්ස් සමුහ ව්‍යාපරය විසින් තරගකරුවන් උදෙසා ලබාදෙන ෆොමියුලා මෝටර් රථ 10කින් සමන්විත ෆොමියුලා තරග ඉසව්ව තරග කරුවන්ගේ අනාගතයට රැකුලක් වනු ඇත. එමෙන්ම ස්ටැෆර්ඩ් මෝටර් රථ පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව වන් මේක් යතුරුපැදි තරග ඉසව් දෙකකින්ද මෙවර තරගාවලිය සමන්විත වෙයි. එක් යතුරුපැදි තරග ඉසව්ව වෙනුවෙන් නවීනතම හොන්ඩා සී.බී. ආර් 250 කාණ්ඩයේ යතුරුපැදි 10ක් හා 160 සී.සී. හොන්ඩා හෝනට් යතරුපැදි 10ක් තරගකරුවන් වෙනුවෙන් ස්ටැෆර්ඩ් මෝර්ටස් පුද්ගලික සමාගම සපයනු ලබන බවයි. එම තරග ඉසව් දෙක ජත්‍යන්තර තරගාවලියක මෙරට පවත්වන තරග ඉසව් දෙකක් වෙයි. ඉන්දියාව හා නේපාලය යන රටවල් දෙකේදී එම ඉසව්වේ තරග වට දෙකක් පැවැත් වීමට නියමිතය.

“2018 හච් ශ්‍රීලංකා සුපර් සීරීස් තරගමාලාව” එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) ආරම්භක සභාපති රොඩ්නි මේසන් ඇතුළු සාමාජිකයන් එක්ව සිටි අතර ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජයේ (AMRC) වෙනුවෙන් එහි ආරම්භක සභාපති රොහාන් ද සිල්වා මහතා ද වලව සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ කැවර්ලි සුපර්ක්‍රොස් සංවිධායක කමිටු සභාපති, කමාන්ඩෝ චැලේන්ජ් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති බ්‍රිගේඩියර් ක්‍රීෂාන්ත ඥානරත්න, ස්ටැෆර්ඩ් මෝටර් රථ පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ තරින්ද්‍ර කළුපෙ‍රුම,‘හච්’ ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර නඩරාසා, මැකිසීස් ටයර් වෙළෙඳ අලෙවි ‍ප්‍රධානි සුදත් ලියනගේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන කලම්බෝ සුපර්ක්‍රොස් සංවිධායක කමිටුව වෙනුවෙන් කපිතාන් ඉසිර කාසිවත්ත, යමුනා කාලීදාස හා FIM ආසියා උප සභාපති සුජීත් කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න