භුමිතෙල් සහනය ගසා කන පිරවුම්හල් අහෝසියි | දිනමිණ

භුමිතෙල් සහනය ගසා කන පිරවුම්හල් අහෝසියි

වසරකට රුපියල් බිලියන පහකට අධික මුදලක් පාඩු ලබමින් ජනතාවට ‍ලබා දෙන භූමිතෙල් සහනය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල් තහනමට ලක් කරන බව ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මෙහිදී තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. එහි එක් පියවරක් ලෙස, මින් මතුවට, භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කරන බවද, ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංදේශයට කැබිනට් මණ්ඩල‍‍යේ අනුමැතිය හිමි වූ බවද රණතුංග අමාත්‍යතුමා කියා සිටියි.

2014 වසරේ දී ලංකා භූමිතෙල් පරිභෝජනය කිලෝ ලීටර් 138, 505 ක් බවත් 2017 දී එය කිලෝ ලීටර් 1, 98, 090 දක්වා ඉහළ ගොස් ඇති බවත් අනාවරණය කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මෙය කෘත්‍රිම වර්ධනයක් බවයි.

මහජනතාවට සහනයක් ලෙස ලංකා භූමිතෙල් අලෙවි කරනුයේ එක් ලීටරයක් රුපියල් 44කට වන අතර එක් ලීටරයකින් සංස්ථාවට වන පාඩුව රුපියල් 48ක් බව ද , 2017 වර්ෂ‍යේ දී භූමිතෙල් අල‍වියෙන් සංස්ථාවට වූ මුළු පාඩුව රුපියල් බිලියන 5.4ක් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. 2018 වසරේ මේ මාස දෙක දක්වා පමණක් රුපියල් බිලියන 2.1ක් සංස්ථාවට පාඩු වී ඇති බව අමාත්‍යවරයා පවසයි. මේ පාඩුව වැඩිවීමට භූමි‍ තෙල් සහනය අවභාවිතය හේතු වී ඇතැයි අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (22) ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග සහ නව නීති ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මේ අවස්ථාව සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග, එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ නීල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

පසුගිය කාලයේ අනපේක්ෂිත ලෙස භූමිතෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි දැන් අනාවරණ වී තිබෙනවා. ‍2014 වර්ෂයේ දී ලංකා භූමිතෙල් සමස්ත අලෙවිය කිලෝ ලීටර් 138, 505 කි. 2017 වර්ෂයේ දී එය කිලෝ ලීටර් 1, 98, 090 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2018 ජනවාරි සිට පෙබරවාරි 28වැනි දා දක්වා කාලයේ ලංකා භූමිතෙල් කිලෝ ලීටර් 44, 137. 5ක් අලෙවි වී තිබෙනවා. මේ වැඩි වීමට හේතු ලෙස, ඩීසල්වලට භූමිතෙල් කවලම් කර විකිණීම, බස්රථවලට සහ බවුසර් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් මහා පරිමාණයෙන් යෙදවීම, මහා පරිමාණ කර්මාන්ත ශාලාවල භාවිතයට කාර්මික භූමිතෙල් වෙනුවෙට ලංකා භූමිතෙල් භාවිත කිරීම හඳුනා ගෙන තිබෙනවා. එය ඍජු ලෙසම මහජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීමක්.

ඉන්ධන අවභාවිතය වැළැක්වීමට මේ වන විට අමාත්‍යාංශයේත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් C P S T L ආයතනයේත් ඒකාබද්ධ වැටලීම් වැඩි කර ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. 

ක්‍රිසන්ති විතාරණ

 


නව අදහස දක්වන්න