වසර 7කට පසු අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 12ක මිල විශාල ලෙස අඩු වෙයි | දිනමිණ

වසර 7කට පසු අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 12ක මිල විශාල ලෙස අඩු වෙයි

චමීර ඇල්ලදෙණිය

ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල පිළිබඳ සොයා බැලීමට පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානවලින් දිනමිණ විමසීමක් කළෙමු. එහිදී ප්‍රධාන ආහාර භාණ්ඩ 12ක මිල වසර හතකට පසු විශාල අඩුවීමක් පෙන්නුම් කර ඇති බව තොග ආහාර භාණ්ඩ ආනයනකරුවන් විසින් පෙන්වා දෙන ලදී.

තොග ආනයනකරුවන් පවසන පරිදි බී ලූණු කිලෝවක මිල රුපියල් 40කට, ආනයනික අර්තාපල් රුපියල් 55 සිට 60 දක්වා අගයකටත්, දේශීය අර්තාපල් රුපියල් 85ක්, රතු ලූණු රුපියල් 90කටත්, සහල් රුපියල් 60 සිට 90 දක්වාත්, පරිප්පු කිලෝව රුපියල් 100ත් 110ත් අතරත්, සීනි කිලෝව රුපියල් 92කටත්,

සුදු ලූණු රුපියල් 155ටත්, මිරිස් රුපියල් 250ටත්, මුංඇට රුපියල් 175ටත් කඩල රුපියල් 225ටත් පිටකොටුව තොග වෙළෙඳුන්ගෙන් ලබාගත හැකිය.

වත්මන් රජය ගෙනයන නිවැරැදි කළමනාකරණය නිසා සෑම උත්සව සමයකම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට හැකවී ඇති අතර, මෙවර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල ලෙස අඩු කිරීමට ද හැකිව තිබේ. පසුගිය වසර හතක කාලය තුළ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුම මිලට ලබාදෙන වසර ලෙස 2018 වසර හැඳින්විය හැක.

මේ පිළිබඳ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ජේ. දේවාපිරන් මහතා- මේ වසරේ පිටකොටුව තොග වෙළෙඳ පොළේ විශාල ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමක් දක්නට ලැබෙනවා. එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමක් දක්නට ලැබෙන්නේ වසර තුනකට පසුවයි. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශාල ලෙස භාණ්ඩ මිල ගණන් අඩුවීමක් තිබෙනවා. තොග වෙළෙඳ පොළේ විශාල මිල අඩුවක් දක්නට ලැබුණත් සිල්ලර මිල ගණන්වල අඩුවක් පෙනෙන්නට නැති බව ජනතාව කියනවා. නමුත් කෙනකුට තොග වෙළෙඳ පොළට ඇවිත් බැලුවොතින් එය නිවැරැදිව දැක බලා ගන්න පුළුවන්. නමුත් සමහර කූඨ සිල්ලර වෙළෙඳුන් තොග වෙළෙඳ සල්වලින් බී ලූණු කිලෝව රුපියල් 40ට අරගෙන සිල්ලරට බී ලූණු පන්සියය රුපියල් 40ට විකුණනවා. මෙහි දී ජනතාව මිල ගණන් වැඩිවීම ගැන සිතනවා. මේ පිළිබඳ විධිමත් ප්‍රචාරණයක් අවශ්‍යයි. ජනතාව දැනුම්වත් කළ යුතුයි.

මෙවර භාණ්ඩ මිල අඩු වීම ඉතාම විශේෂිතයි. මොකද 2014 ඩොලරය තිබුණෙ රුපියල් 135ට, 2016 ඩොලරය තිබුණේ රුපියල් 145, මේ වසර වන විට ඩොලරය තිබෙන්නේ රුපියල් 156ටයි. මෙසේ තිබිය දී භාණ්ඩ මිල අවම මිල ගණනක පැවැතීම විශ්මයජනකයි. රජය ගෙනයන ආර්ථික කළමනාකරණය නිසයි මේ සිදුවීම සිදුව තිබෙන්නේ. නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ සහ සහන ජනතාවට ලැබීමට තවත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අද එළවළු මිල ගණනුත් විශාල වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයකු වන එම්. එස්. එම්. ෆයිරූස් මහතා- 2014 ඩොලරය 134ට තිබෙන විට සීනි කිලෝවක තොග මිල රුපියල් 110යි. අද ඩොලරය රුපියල් 156ක් සීනි කිලෝවක තොග මිල රුපියල් 96යි. මෙය විශ්මයජනක දෙයකක් නොවෙයි. ආණ්ඩුව ගෙන යන ආර්ථික කළමනාකරණ හැකියාවයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිල ගණන් අඩු කිරීම සඳහා ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව නත්තලට, සිංහල අවුරුද්දට, මුස්ලිම් අවුරුද්දට යනාදී වශයෙන් භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ නිසා මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට භාණ්ඩ මිල සැලකිය යුතු තරම් වේගයකින් පහළට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම වසර හතකට පසු අත්‍යවශ්‍ය භාණ්ඩවල සුවිශේෂී මිල ගණන් අඩුවීමක් දක්නට තිබෙනවා. බී ලූණු කිලෝව රුපියල් 40යි, පරිප්පු කිලෝව රුපියල් 100යි, සහල් කිලෝව රුපියල් 60 සිට 90වයි. විශේෂයෙන්ම කියන්න ඕන. කිලෝ දෙකක් පහක් ගන්න පුද්ගලයකුට වුණත් මේ තොග කඩවලින් මේ මුදලටම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් නැහැ. ඒ නිසා ඔවුන් සුපර් මාර්කට් හෝ සිල්ලර කඩවලින් භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී විශාල මුදලක් වැය වෙනවා. මොකද මා දැක තිබෙනවා මේ තොග වෙළෙඳ සල්වලින් භාණ්ඩ ගෙන එහිම ඉදිරිපිට තියාගෙන වැඩි මිලට විකුණන සිල්ලර වෙළෙඳුන්. නමුත් ජනතාව ඒවායි භාණ්ඩ මිලදී ගන්නවා. ජනතාව මේ පිළිබඳ දැනුම්වත් භාවයක් නැහැ. අපි ඔබලාගෙන් ඉල්ලන්නේ ජනතාවට කියන්න තොග කඩවලින් කිලෝ දෙක තුන කිලෝ විසිපහ වුණත් ගන්න පුළුවන්. අපි ඒ මිලටම භාණ්ඩ ලබාදෙනවා. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතුයි.

තොග වෙළෙඳ හිමියකු වන ක්වින්ටස් පෙරේරා මහතා- මේ අවුරුදු කාලේ භාණ්ඩ මිල පහළ මට්ටමක තිබෙන්නේ. නමුත් තොග වෙළෙඳ කඩ වැඩිවීමක් තිබෙන නිසා ව්‍යාපාර ගනු-දෙනුවල අඩුවක් දක්නට තිබෙනවා. ඒ නිසා භාණ්ඩ හිඟයකින් තොරව අඩු මිලට තිබෙනවා. ව්‍යාපාර ගනු-දෙනු අඩුවක් තිබෙනවා. දැන් මම කරවල ව්‍යාපාරය තොග වශයෙන් කරන්නේ. නමුත් කරවල මිල ගොඩක් අඩුයි. මිලදී ගන්න ජනතාව තමයි අඩුවක් තිබෙන්නේ. ජනතාව තොග මිල ගණන් දන්නේ නැතිකම ද කියා අපි දන්නේ නැහැ. සල්ලි නැද්ද කියා අපි දන්නේ නැහැ. කරවල මිලට බදු බලපාලා නැහැ. අපි මේ තැනින් රට පුරා කරවල යවනවා. නමුත් වෙළෙඳාමේ තමයි අඩුව තිබෙන්නේ.

තොග වෙළෙඳ හිමියකු වන එම්. කිරුබා මහතා- අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ මට්ටමක තිබෙනවා. අද රෑට නැවක් එන්න තිබෙනවා. එවිට තවත් මිල අඩු වේවි. භාණ්ඩ මිල අඩුවෙලා තිබෙනවා වගේම ගනු-දෙනුත් සියයට පනහකින් විතර අඩුවෙලා තිබෙනවා. ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් අඩුවීමක් තිබෙනවා. එහි වාසියත් අපට ලැබී තිබෙනවා. ඒ නිසා ජනතාවට ඉතා අඩු මුදලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකියි.

තොග වෙළෙඳ හිමියකු වන එම්. බාසිත් මහතා- ජාත්‍යන්තර වෙළෙඳ පොළේ භාණ්ඩ මිල අඩුවීමත් සමඟ දේශීය වෙළෙඳ පොළේ මිලත් අඩුවෙමින් තිබෙනවා. වත්මන් රජය විසින් භාණ්ඩ මිල අඩු කිරීමට විශාල සහයෝගයක් ලබාදී තිබෙනවා. විශේෂයෙන් බදු පැනවීම් අවම කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය සහයෝගය ලබාදී තිබෙනවා. ඒ නිසා අපට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ආනයනය කර ගත හැකියි. එහි වාසිය ජනතාවට ලබාදීමට අපි ඉතා අවම ලාභයක් තබාගෙන භාණ්ඩ නිකුත් කරනවා. නමුත් ජනතාව මේ පිළිබඳ දැනුම්වත් නැහැ. අතරමැද සිටින සිල්ලර වෙළෙඳුන් මෙයින් විශාල ලාභයක් උපයා ගන්නේ ඒ නිසයි. ජනතාව දැනුම්වත් නම් කෙලින්ම අප ළඟට ඇවිත් ඕනෑම ආකාරයකින් භාණ්ඩ ලබාගත හැකියි. අපි සියලු භාණ්ඩ තොග මිලට ලබා දෙනවා. ඒ වගේම මෙවර උත්සව සමයට කිසිදු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදීමට හැකියාව අප සතුයි. සහල් ඇතුළු පරිප්පු, බී ලූණු වැනි දේවල් විශාල මිල අඩුවක් දක්නට තිබෙනවා.

ඡායාරූප
සුසන්ත විජේගුණසේකර

නව අදහස දක්වන්න