පළාත් ඡන්දය ‍වෙලාවට ඕන | දිනමිණ

පළාත් ඡන්දය ‍වෙලාවට ඕන

ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක

අගමැතිවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව මඟින් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නොවේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පිළිබඳව විශ්වාසයක් නෑ කියන එකයි. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ යම් යම් කොටස් ඇතුළු දේශපාලන කණ්ඩායම් මේකට එකතු වෙනවා‍.

ආර්ථිකය අඩාල වීමට වගකිවයුත්තේ අගමැතිවරයා පමණක්ද?

මේ රටේ ආර්ථිකය සකස් කිරීමේ වගකීම බාර වෙලා තියෙන්නේ අගමැතිවරයා‍ට නේ. මහ බැංකුව සහ අනෙකුත් ආර්ථීක මර්මස්ථාන එකට එකතු කරලා වැඩපිළිවෙළක් හදන්න පුළුවන් අගමැතිවරයාට නේ. ඒකට නායකයෙක් ඕනෑ. ඕනෑම කොළයක් මඩින්න මුදුනෙක් ඕනෑ නේ. මුදුනා හරියට ගියේ නැතිනම් කොළය මැඩෙන්නේ නෑ. මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නෑ. ආයෝජකයෝ ආවට වඩා වේගයෙන් යනවා. රාජ්‍ය ආයතන වැඩ කරන්නේ නෑ. මේක කෘෂිකාර්මික රටක්. වෙලාවට පොහොර ටික නැතිනම් ‍කෘෂිකාර්මික ඇමැති සමඟ ඒ ගැන කතා කරන්න ඕනෑ. ඕනෑ වෙලාවට පොහොර නැතිනම් ගොවිතැනින් ඇති වැඩක් නෑ.

ඔබ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළාද?

අපි තීන්දු කළා මේකට තනි තනියෙන් මැදිහත් වෙන්නේ නෑ. අපි තීන්දු තීරණ ගන්නේ කණ්ඩායමක් විදියට කියල.

අපි කියන්නේ කවුද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. අපි කණ්ඩායමත් සමඟම තමයි අත්සන් කරන්නේ.

තමන් ඉන්න ආණ්ඩුවේ අගමැතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සහාය දීම නිකං අ‍ඟේ ඉඳන් කන කනවා ගේ වැඩක් නෙවෙයිද?

අපි මහජන නියෝජිතයො නේ. මහජන නියෝජිතයෝ පත්කරන්නේ වැඩ කරන්න. පාර්ලිමේන්තුවට ගිහින් සුඛෝපභෝගී ලොකු වාහනයක් පාවිච්චි කරලා සංචාරය කරලා තමන්ගේ වැඩ කර කර ඉන්නවද, එහෙම නැතිනම් හරි දේ වැරදි දේ තෝරා බේරාගෙන රටේ ජනතාවට වැඩක් නේද කරන්න ඕනෑ. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕනෑ‍. රටේ ආර්ථික දේහය ශක්තිමත් කරන්න බැරි නම් මහජන නියෝජිතයන් ලෙස අපිට තියන වගකීම මොකක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රාජ්‍ය ආයතන විකුණලා තියනවා. චන්ද්‍රිකා මැතිනිය එයාලංකා, ෂෙල් ගෑස් වගේ ඒවා විකිණුවේ නැතිද?

චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ආයතන කීපයක් වික්කා තමයි. ඒත්... මහින්ද යුගයේ රාජ්‍ය ආයතන වික්කේ නෑ. විකුණලා තිබුණ ආයතනත් රජයට පවරා ගත්තා. අවශ්‍ය වෙන්නේ අපේ රටේ සම්පත් විකුණන එක නෙවෙයි, දියුණු කරන එකයි. දැන් රෝහල්වල රෙදි ටිකත් ඉන්දියාවට හෝදන්න දීලා. මේවා ලොකු වැඩද? රටේ දේපොළ විකුණන එක ලොකු වැඩක් ද? රනිල් මහත්තයා යෝජනා කළා අපි යටතේ තියන L.R.C. එක පවා පෞද්ගලික අංශවලට වෙනත් සමාගම්වලට දෙන්න. මේක නෙවේ කොබ්බෑකඩුව මහත්තයාගේ ප්‍රතිපත්තිය. එදා අපි රන් පවුම් වතු පවා ජනසතු කළා. එදා එංගලන්තය අපිට ‘පාට්’ දැම්මා. සිරිමාවෝ මැතිනිය ඒවාට එදා බය වුණේ නෑ.

අද රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණනවා නම් ඒක සදාචාර සම්පන්න නෑ. සයිටම් ප්‍රශ්නයට අද වෙනතුරු විසඳුමක් නෑ. මේ ශිෂ්‍යයෝ කොච්චර නම් පාරේ පිකටින් කරන්න ඇත්ද? මේ සිසුන්ට කොච්චර නම් කඳුළු ගෑස් ගහන්න ඇතිද?

එක කකුලක් ආණ්ඩුවේ තියාගෙන තවත් කකුලක් ඒකාබද්ධ කණ්ඩායමේ තියාගෙන ඉන්නවා කියලා සමහරු ඔබට ‍චෝදනා කරනවා.

නෑ මම කකුල් දෙකම එක තැන තියාගෙන ඉන්නේ. අපිට ප්‍රතිපත්තියක් ති‍යනවා. මහජන නියෝජිතයන් විදියට අපි හරි දේ කතා කරනකොට අපිව එක එක පැතිවලට දානවා නම් ඒ අය මන්ද බුද්ධිකයෝ. අපි එහෙයියෝ වෙලා හොරණෑ කාරයෝ වෙලා කිසිම ප්‍රශ්නයක් නෑ කියන දේශපාලනඥයෝ නෙවෙයි අපි. වැරද්ද වැරද්ද විදියට දැකලා ඒක විවේචනය කරලා හරි තැනට ගෙනියනවා. ඊ‍යේ පෙරේදා උද්ඝෝෂණය කළ රාජාංගණය ගොවීන්ට පහරදීම නෙවෙයිනේ කරන්න තිබුණේ. ඔවුන්ගේ කණ්ඩායමක් ගෙනත් ජලය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කරන්නයි තිබුණේ. අපි හරි දේ කතා කළාම අපිව එක එක පිල්වලට දාන්න එපා වැරදි දේ නිවැරැදි කරගන්නයි අපිට ඕනෑ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය පුස් වෙඩිල්ලක් කියලයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත් ගමට ගියහම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ අයත් ඇවිත් තියෙන්නේ ඡන්දයෙන්. ඒ අයට වෙනම රිදී හැන්දකින් සලකන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ හැමදාම මේ වගේ ප්‍රශ්න නැ‍ඟෙනවා. එජාප මන්ත්‍රීවරු කියන්නේ මේ ප්‍රශ්න පිළිබඳව හැමදාම එයාලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒවා අහගෙන ඉඳලා දැන් රැස්වීම ඉවරයි විසිර යමු කියලා විසිර යනවා කියලා. අපි වසර විසිපහක් තිහක් පාර්ලිමේන්තුවේ හිටපු නිසා අපි වැඩ කරල තියනවා. ඒත් එජාපයේ අය මේ වසර තුනේ කරලා තියෙන වැඩේ මොකක්ද? මිනිහෙකුට රස්සාවක් දෙන්න බෑ. එහෙම දෙන්න පුළුවන් ඇමැතිවරු දෙතුන් දෙනෙක් පමණයි ඉන්නේ.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා වගේ ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඉඩ තියනවා කියන කතාබහකුත් තියෙනවා නේද?

යෝජනාවක් තියනවා නම් ඒකට ඡන්ද ඕනෑ, අත්සන් ඕනෑ. අද එක්සත් ජාතික පක්ෂයේ වුණත් හුඟක් මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමඟ හිතවත්. එජාප නායකයා ඇහුම්කන් නොදෙන ප්‍රශ්න. එයාලා ජනපතිවරයාට කිව්වහම ජනපතිවරයා ඇහුම්කන් දෙනවා. ඒ නිසා ජනපතිවරයාට එවැනි ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවෙන්නේ නෑ.

අගමැතිවරයාට ‍එරෙහි කුමන හෝ ලියවිල්ලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිවරයාට බාර දී තිබෙනවාද?

තවම නෑ.

දැන් පළාත් සභා තුනක කල් ඉකුත් වෙලා. පළාත් සභා මැතිවරණය කවදද පවත්වන්නේ?

පහුගිය පළාත් පාලන මැතිවරණය දීර්ඝ කාලයක් කල් දාලා ඇනගත්තා වගේ ඇනගන්නේ නැතිව පළාත් සභා ඡන්දය නියමිත දිනට පවත්වන්න කියන එකයි අපේ ඉල්ලීම.

පළාත් සභා මැතිවරණය කියන්නේ කොට්ඨාස ක්‍රමයටද එහෙමත් නැතිනම් සමානුපාතික ක්‍රමයටද?

සීමා නිර්ණය පිළිබඳ තීන්දුවක් ගන්නේ නැතිව මැතිවරණයට දින වකවානු වෙන්කර ගන්න බෑ.

පළාත් සභා මැතිවරණය කල්දාලා. ලබන වසරේ ජනාධිපතිවරණයකට යනවා කියන කතාබහකුත් රට තුළ තියනවා නේද?

ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දාලා අපි ලබාගත්ත වැරදි සංඥාව නැවත ලබාගන්නේ නැතිව අපි පළාත් සභා මැතිවරණයට යන්න ඕනෑ‍.

එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ගේ තත්ත්වය කොහොමද?

ඇත්තෙන්ම මහ බැංකු වංචාව මෙතෙක් මේ රටේ සිදුවූ ලොකුම වංචාව. මේ සල්ලි අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. මේක ගැන මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කෙළින් ඉඳලා රටේ නායකයා විදියට ක්‍රියාමාර්ග ගත්තා. ඒත් යම් යම් අයගේ වරප්‍රසාද මත සිංගප්පූරුවට පැන ගිය හිටපු මහ බැංකු අධිපතිවරයා ලංකාවට ගෙනත් එයාගේ සාක්කිත් එක්ක මේ ගනුදෙනුවේදී සැඟවී ඉන්න අයත් අත්අඩංගුවට ගෙන සිදුවූ පාඩුව අයකරගන්න ඕනෑ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබ මොකද හිතන්නේ?

සියලුම විධායක බලතල අහෝසි කළොත් ඒක රටට අහිතකරයි. යුද්දේ දිනුවේ විධායක බලතල සහිත ජනපතිවරයෙක් සිටි නිසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියා බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට තවත් ජනපතිවරණයක් පැවැත්වීමටත් ඊට තරග කිරීමටත් සදාචාරාත්මක අයිතියක් තියනවද?

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සම්පූර්ණ විධායක බලතල අහෝසි කරනවා කියලා කිව්වේ නෑනේ. රටට අහිතකර යම් යම් විධායක බලතල ඉවත් කරනවා කියලයි කිව්වේ. ජනාධිපති මන්දිරය එතුමා පාවිච්චි කරන්නේ නෑ. අනවශ්‍ය වියදම් කපාහැර තියනවා‍. විදෙස් සංචාරවලදී විශාල පිරිසක් අරන් යන්නේ නෑ. ජනපතිවරයා ගතකරන්නේ සරල දිවි පැවැත්මක්. ඒ අනුව ජනපතිවරයා රටට ආදර්ශයක් දීලා තියනවා.

ගාමිණී බණ්ඩාරනායක 


නව අදහස දක්වන්න