ඒකාබද්ධ ෙය් මත ගැටුම්; ඒජාපය එක මතයක | දිනමිණ

ඒකාබද්ධ ෙය් මත ගැටුම්; ඒජාපය එක මතයක

 ජපානයේ කළ සාර්ථක සංචාරයකින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා දිවයිනට පැමිණියා. ජපන් සංචාරයේ අතරතුර දී ද ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් හා ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනාධිපතිතුමා සොයා බැලුවා. මැති ඇමැතිවරුන්ට කතා කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන ආයතනවලට තරගකොට තේරීපත් වූ නියෝජිතයන් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමේ උත්සවයක් ඉරිදා දිනයේ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා. ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දුමින්ද දිසානායක, එජනිස මහ ලේකම් මහින්ද අමරවීර හා ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා ද මෙම උත්සවයට සහභාගී වී සිටියා.

ශ්‍රීලනිප හා එජනිස පළාත් පාලන නියෝජිතයන් ගුණාත්මක දේශපාලන සංස්කෘතියක් සඳහා ජනතාවට ආදර්ශය සපයමින් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පසුබට නොවී ශක්තිමත්ව ඉදිරියට යෑමට අදිටන් කරගත යුතු බව ද ජනාධිපතිතුමා එහි දී කියා සිටියා. ජනතාවගේ හඬට සවන්දිය යුතු බව හා දූෂණයෙන් වංචාවෙන් තොරව කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා ජනතා නියෝජිතයන්ට අවධාරණය කළා.

යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට ජනාධිපතිතුමා සඳුදා සහභාගි වුණා. උත්සවයට පැමිණි ජනාධිපතිතුමන් පිළිගනු ලැබුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් හා උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහත්වරුන් විසින්. මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ද ජස්ටින් ඥාණා ප්‍රකාශම් යාපනය රදගුරුතුමා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. ජනාධිපතිවරයාට පෙර කතා කළ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ජනාධිපතිවරණයේ දී උතුරේ ජනයා මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් සහයෝගයද සිහිපත් කළා. තම ජනයාගේ අභිලාශයන් ඉටු කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇතැයි උතුරේ ජනයාගේ විශ්වාසය බව ද සම්පන්දන් මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමා කතාකරමින් කීවේ උතුරේ ජනයා තමා කෙරෙහි තැබූ විශ්වාසය තමන්ට කිසිසේත් අමතක නැති බවයි. එම නිසා උතුරේ සෑම උත්සවයකටම පැමිණීමට තමන් හැකි සෑම විටෙකම ක්‍රියාකරන බව ද ජනාධිපතිතුමා කීවා. රටක සංවර්ධනයට අවශ්‍යම කටයුත්තක් වන්නේ උගතුන් බිහිකිරීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. උපාධිධාරින්ට රැකියා ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් මෙහි දී සිදුවුණා.

මේ අතර උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජඳුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා, දායක සභාව හා යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පිංකමට ද ජනාධිපතිතුමා එදින සහභාගී වුණා.

ජනාධිපතිතුමා ඊයේ (බ්‍රහස්පතින්දා) පාකිස්තානය බලා පිටත්ව ගියා. පකිස්තාන ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන ලෙස එරට අගමැතිතුමාගෙන් ලද ආරාධනයක් අනුව එම ගමන සිදුවුණා.

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පළාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පළමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙන්.රංග බණ්ඩාර වසන්ත සේනානායක ඇතුළු පිරිසක් එලිපිට ඒ බව ප්‍රකාශ කළා පමණක් නොව රංග බණ්ඩාර වරෙක කීවේ රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් පවා ගෙන ඒමට තමන් පසුබට නොවන බවයි.

එජාප ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතු බවත් නායකත්වයේ මිතුරන් හා වයෝවෘද අය සතු එජාපයේ තනතුරු පක්ෂයේ තරුණ පරපුරට ලබා දිය යුතු බවට එජාපය මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ප්‍රබලයන් රැසක් රැස් වී දීර්ඝ ලෙස සාකච්ඡාවක් ද කළා.

එහෙත් එජාපය පැත්තෙන් ආවේ රනිල් අගමැති ධූරයේ දිගටම රැඳෙමින් එජාප ප්‍රතිසංස්කරණ පමණක් සිදු කළ යුතු වුවත් ඒකාබද්ධ විපක්ෂය එජාප අභ්‍යන්තර ආරවුල කියවා තේරුම් ගෙන තිබුණේ වැරදි ආකාරයටයි.ඒ තුළ ඔවුන් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කළේ එජාපයේ බහුතරයක සහාය ඊට ලැබෙනු ඇතැයි යන විශ්වාසය ඇතිවයි. සියල්ල කණපිට හැරවූණේ එතනදීයි.

“ එජාප ප්‍රතිසංස්කරණ අපි විසඳා ගනිමු. ඒත් විපක්ෂය හදන්නේ බොරදියේ මාළු බාන්නයි. අගමැති ඉවත් කරන්න විශ්වාසභංග ගෙනැවිත් එජාප අයගේත් සහාය ලබා ගෙන එය ජයගෙන අනතුරුව කථානායක මෙන්ම ආණ්ඩුවද පලවා හැරලා බලය ඩැහැගැනීම ඔවුන්ගේ අරමුණයි. එජාපය එම ලණුව නොකා අගමැති මෙන්ම ආණ්ඩුව රැක ගැනීමට පෙරමුණ ගනිමු” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් එජාප මැති ඇමතිවරු හා එජාප පසුපෙළ දැනුවත් කළේ ඒ පදනමින්‍ .

ඒ විග්‍රහය තුළ එජාපයේ සියලු දෙනා අගමැති මෙන්ම ආණ්ඩුව රැකගැනීමට කැපවන බව ප්‍රකාශ කළේ ඒකමතිකවයි. එහෙත් අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගෙනෙන බව රටට කියා තිබූ ඒකාබද්ධය පය පසුපසට ගැනීම සිදුකළහොත් විශාල පරාජයක් නිසා විශ්වාසභංගය කෙටුම්පත් කළා. මෙම කටයුත්ත සිදුකළ යුතු බවට බල කළ අනිත් තැනැත්තන් වූයේ වීරවංශ දිනේෂ් ඇතුළු පිරිසක්. ඒ තුළ චෝදනා 14කින් යුතු විශ්වාසභංගයට අත්සන් ලබාගැනීම ඇරැඹුණා. ඊට දිනේෂ් පළමු අත්සන යෙදුවා. ඒකාබද්ධයේ සියලු දෙනාද අත්සන් කළා. එහෙත් මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තැබීම ප්‍රතිකේෂ්ප කිරීම විශේෂ සිද්ධියක් වුණා. බැසිල් රාජපක්ෂද විශ්වාසභංගයට එරෙහි ස්ථාවරයක සිටිනවා.

"මේක ගෙනත් පැරදුණොත් අපි ඡන්දෙන් ලැබූ ජය යට යනවා. ඒ නිසා මුලින් එජාප අයගේ අත්සන් අරගෙන අපේ අයට අත්සන් කරන ලෙස බැසිල් කියා තිබෙනවා. ඒත් ගම්මන්පිලලා වීරවංශලා කියල තියෙන්නේ අපි අත්සන් කරලා බාරදුන්නම එජාප අය වෙලාවට ඡන්දය දේවි කියලලු. අන්තිමේ ඔවුන්ට උතුර දකුණ සොයාගන්න බැරි තරමට හිරවෙලා තමයි විශ්වාසභංගය භාරදීල තියෙන්නෙ" ගයන්ත කරුණාතිලක කීවේ තමන්ට ලැබුණු තොරතුරක් මතයි.

"මහින්ද අත්සන් කළෙත් නෑ. කථානායකට භාරදෙන එක මඟ හරින්නත් හැදුවම මහින්දව බලෙන්ම ඇදගෙන ගිහින් කියල ආරංචියි." නවීන් දිසානායක කීවිට සියලුදෙනාම කොක්හඬලා සිනාසුණා.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ ඉතා සැහැල්ලුවෙන් පැමිණ සිටි මැති ඇමතිවරු හා කතාබහ කරනවිට මෙම කරුණු එළිදරව් වුණා.

"ලෝකෙ ඔළුව උඩට වැටුනත් අගමැතිතුමාට ගාණක් නැහැනේ. විශ්වාසභංගයක් එනකොට වෙන ඕනෑම කෙනෙක් "ෂොක්" වෙනවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට අගමැතිවරයා මද සිනහවක් පෑවා මිසක කිසිවක් කීවේ නැහැ.

"චෝදනා 14න් 12 කම අමුවෙන්ම මඩගහන හොර ලේබල් අලවන ඒවා බව පේන නිසා මේ ගැන නීතිපතිට යවලා මතයක් විමසනවාද” ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙන්.

“ නීතිපතිට යවල කාලය මරන්න ඕන නෑ. පුළුවන් තරම් ඉක්මනින් විශ්වාසභංගය විවාදයට හා ඡන්දයට දාන්නයි මට අවශ්‍ය. ” අගමැති කීවේ සැහැල්ලුවෙනි.

“ ඒකාබද්දෙ අය හිතුවෙ අපේ විජේදාස, රංග බණ්ඩාර, වසන්ත සේනානායක තෙවරප්පෙරුම ඇමතිවරුත් අත්සන් කරාවි කියලයි. අන්තිමේ එයාල සවුත්තු වුණා විතරයි. ” පී. හැරිසන් කීවා.

“ විශ්වාසභංගය අගමැතිතුමා පහසුවෙන් දිනන බව ඒකාබද්ධෙ අයට දැන් තේරිලා තියෙන්නෙ. මේක ගේන්නෙ දිනන්නම නෙවෙයි කියල එයාලම දැන් කියාගෙන යනවා. ” දයා ගමගේ කීවේ සිනා මැදයි.

“ ආණ්ඩුවට විරුද්ධව මේකට අත්සන් කරපු ශ්‍රීලනිපයේ පුංචි නිලමෙ මුතුහෙට්ටිගම ටී.බී.ඒකනායකළ දැන් තනතුරුවලින් ඉවත් කිරීම ජනාධිපතිතුමාගෙ වගකීම. ” බදුලු දිසා මන්ත්‍රී චමින්ද විජේසිරි කී විට සියලු දෙනා එය අනුමත කළා.

“ ජවිපෙ විශ්වාසභංගයට සහාය දෙන තත්ත්වයක් තියෙන්නෙ. පරණ හොරු රැක්කාය කියන චෝදනාවත් මේකට නොදැම්මෙ ඇයි කියල ජවිපෙ තර්ක කිරීම නිසා ඒකාබද්දෙ අයට කට උත්තර නැති වෙලා. ” නවීන් දිසානායක කීවේ එවැන්නක්.

“ ජවිපෙ තමයි පොදු අපේකෂකයා තෝරන්නයි යහ පාලනය ගේන්නයි ලොකුම උනන්දුව දැක්වූවේ. දැන් ඔවුන් හොරු ගේන විශ්වාසභංගයට සහාය දුන්නොත් ආණ්ඩුව එක්ක එකතුවෙලා රටට හොඳ දේවල් කරන්න කරන ජවිපෙ උත්සාහය පලුදු වේවි. එහෙම වුණොත් ආණ්ඩුව එක්ක රටේ යහපතටවත් ඔවුන්ට යමක් කරන්න බැරි වේවි. ඒ නිසා එදා බැනපු හොරු එක්කයි මීට පස්සෙ ජවිපෙට යන්න වෙන්නේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"එජාප ප්‍රතිසංස්කරණයත් විශ්වාසභංගය නිසා ටිකක් යටගියා. මේ පාර කෘත්‍යාධිකාරියේ ඒ ගැන කතාකරන්න හිටියත් විශ්වාසභංගය ගැන කතාකරන්න මෙවර රැස්වීම වෙන්කරමු" ලක්ෂ්මන් කිරිඇල්ලගේ යෝජනාවට අගමැතිගේද එකඟත්වය හිමිවුණා.

"දැන් ආණ්ඩුවක් නෑ කියල කියන අයත් ඉන්නවානේ. විශ්වාසභංගය දිනුවට පස්සේ ආණ්ඩුවක් තියෙන බව විතරක් නෙවෙයි ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියලත් රටට දැනේවි. දිනපු දවසට පසුදා ඉඳලා ආණ්ඩුවේ නව වැඩ පිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා මේ විශ්වාසභංගය මටයි ආණ්ඩුවටයි ලොකු ආශිර්වාදයක් වේවි.” අගමැතිවරයා කීවා.

49 වැනි උදා ගම්මානය ලෙස ඉකුත් 15 වැනිදා ජනතා අයිතියට පත්වුණේ නිවාස 39 කින් සමන්විත කළුතර, මහරැක්ම "සිව්දෙවිගම'උදා ගම්මානයයි. උත්සවයට සහභාගි වූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ලක්ෂ්මන් විජේමාන්න ‍පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද කැටුව සිය නිලධාරීන් පිරිසද සමඟ ගම්මානයේ සෑම නිවසකටම ගොස් නිවැසියන් සමඟ කතාබස් කරන්නට අමතක කළේ නැහැ. ඇතැම් ගෙවතු සශ්‍රීකව වගා කර තිබුණා. මේ ගමනේ දී සජිත් සිය පාර්ලිමේන්තු සගයා වන ලක්ෂ්මන්ට සිහිපත් කළේ අතීත මතකයේ රැඳී තිබූ රස කතා කීපයක්.

"හැත්තෑ හතේ ජයග්‍රහණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ පතාක යෝධයෙක් වුණු ඔයාගේ මහප්පා වී. එල්. විජේමාන්න මන්ත්‍රීතුමා මට තාම මතකයි. ඉදුණු කොණ්ඩය, චාම් සුදු කලිසම, කමිසය, තැන්පත් ගමන, එතුමාගේ පෞරුෂය මට මැවිලා පෙනෙනවා" සජිත් කීවා.

'මං ඒ දවස්වල පොඩියි. තාත්තත් එක්ක යනවා. පාර්ලිමේන්තු රැස්වීම් බලන්ඩ. එහෙම ගිය එක දවසක කථානායක ගැලරියට ගිහින් රැස්වීම බැලුවා. හැබැයි, නො දන්නකම නිසා ඇඳගෙන හිටියේ ඒ ස්ථානයට යන්න ගැළපෙන ඇඳුමක් නෙමෙයි. පස්සේ කවුදෝ කෙනෙක් මේක ඒ දවස්වල පාර්ලිමේන්තුවේ සභානායක හැටියට කටයුතු කරපු මගේ තාත්තට කියලා. තාත්තා එවේලේම පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහ මහත්තයටයි, නියෝජ්‍ය මහලේකම් නිහාල් සෙනෙවිරත්න මහත්තයටයි නියෝග කළා. කිසිම කෙනෙකුට සුදුසු ඇඳුමකින් තොරව කථානායක ගැලරියට යන්න ඉඩ දෙන්න එපා කියලා. සජිත් තවත් රසවත් කතාවක් ආවර්ජනය කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු භූමිභාගයක ඉදිකර තිබූ ගම්මානය තුළ ඇවිද යමින් සිටිය දී ලක්ෂ්මන් කීවේ "නියෝජ්‍ය නායකතුමා, මට මේක කියන්නත් ලැජ්ජයි. මේ ඉඩමේ තිබුණු වටිනා ගස් ඔක්කොම පහුගිය පාලන කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බලධාරීන් යයි කියාගත්තු කට්ටියක් ඇවිත් කපාගෙන ගිහින් තියෙනවා. ඒක නම් ජාතික අපරාධයක්" යනුවෙන් සජිත් කීවේ "මේ වන විටත් ඒ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණයක් කරගෙන යනවා" කියායි.

ගාල්ල මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළේ අවුරුදු 16ට පසුව වුව ද පැහැදිලි බහුතරය ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ද වැදගත් වී තිබුණා. කෙසේ වෙතත් නගරාධිපතිධූරය තීරණය කිරීමත් පහසු කටයුත්තක් වුණේ නැහැ. නගරාධිපතිධූරය තමන්ට හිමිවිය යුතුයැයි නගර සභාවට තේරීපත් වූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු කිහිප දෙනකු ම ඉල්ලා සිටියේ නගර සභාවේ ජයගත් කොට්ඨාසවලින් වැඩි ප්‍රමාණයක් මුස්ලිම් බහුතරයක් වෙසෙන කොට්ඨාස බව පෙන්වා දෙමින්. නමුත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඔවුන් සියලු දෙනා සමඟ සාකච්ඡා කරමින් සිකුරාදා (15) සවස්වනවිට ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිධූරය ජිලිත් නිශාන්ත මහතාට ලබා දීමට තීරණය කර තිබුණා. නියෝජ්‍ය නගරාධිපතිධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකුට ලබාදීමටත් මෙහි දී එකඟතාව පළ කෙරුණා. ඒ අනුව ඊයේ (22) ගාල්ල මහ නගර සභාවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය නාගරික මන්ත්‍රීධූරයේ දිවුරුම් දීම සිදු කෙරුණා.

සඳුදා උදෑසන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 1000ක ප්‍රතිපාදන මත ඉදිකරනු ලබන ලුණුගම්වෙහෙර ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරුණා.

රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය භාරව කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නිතරම කියන්නේ දශක ගණනාවක් පුරා රටේ පරිපාලන කටයුතු සිදුකරන්නේ කුකුල් කූඩු වැනි කාර්යාලවල සිට බවයි. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම තලයකට ගෙන ඒම සඳහා නව ගොඩනනැගිලි ඉදිකරන බවත් පවතින ගොඩනැගිලි නවීකරණය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පවසනවා.

ලුණුගම්වෙහෙර නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමට එක්වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දකුණ සංවර්ධන කිරීමේ කාර්යයේ දී ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක දැඩි අවශ්‍යතාවක් කලක සිට පැවැති බවයි. එම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර දුන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා තමන් දකුණේ ජනතාව වෙනුවෙන් ස්තූති කරන බව ද ප්‍රේමදාස අමාත්‍යවරයා කීවා.

ඇමැති වජිර අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගී වූණා. අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ මෙහෙයුම අරලියගහ මන්දිරයේ සිට දියත්කර තිබුණා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇමැති වජිර විශේෂ මෙහෙයුමක් දියත් කර තිබිණි. මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඅරැල්ල, රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිවරු ද විශ්වාස භංගය පරාජය කිරීමේ සැලැස්මේ නිරතව සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේ රැස්වීමෙන් අනතුරුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අගමැතිට එරෙහි විශ්වාසභංගය පිළිබඳව, ජවිපෙන් ගෙන ඒමට සැලසුම් කොට තිබෙන 20වැනි සංශෝධනය පිළිබඳ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

දැන් නැවතත් ජනාධිපතිවරණයක් ගැන කතාබහක් ඇතිවෙලා. මාධ්‍යවලිනුත් ජනාධිපතිවරණයට එන අය ගැන විවිධ ප්‍රවෘත්ති හදනවා. නමුත් මෛත්‍රීපාල මහත්තයා පොරොන්දු වුණු විදියට නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් නැහැ. අපි මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියා. ”මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදීත් පසුවත් අවස්ථා කීපයකදීම සපථ කරලා කිව්වා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් කටයුතු කරනවා කියලා. නමුත් පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවද කියලා තවම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරයාත් තීරණය වෙනස් කරලා වගේ.” විජිත හේරත් කීවා. ”විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයෙන් ගේනකොටත් අපි මේකට විරුද්ධ වුණා. ඒ වගේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ හැම එකේදීම අපි මේ ධුරය අහෝසි කළ යුතු බවට අරගලයක් ගෙන ගියා. ඒ නිසා ඒ අරගලය අලූත් වටයකින් දැන් උඩට ගන්න ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියා.

”මේ වෙනකල් ජනාධිපති ධුරයට පත්වුණු හැම නායකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක සංශෝධනයක් විදියට පාර්ලිමේන්තුවට ගේන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය හෝ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේක පාර්ලිමේන්තුවට දාන්නේ නැති බව දැන් හොඳටම විශ්වාසයි. අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාමු.” අනුර දිසානායක යෝජනා කළා. ”දැන් විශ්වාසභංග යෝජනාවක් එන්න තියෙන නිසා මේක දාන කාල සීමාව ගැන අවධානය යොමු කරන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කීවා. ඔව්, නැත්නම් විශ්වාසභංගය ගැන අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ සංශෝධනය ගේනවා කියලා මතයක් හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගන්න ආකාරය සහ කෙටුම්පතට ඇතුළු වෙන්න පුළුවන් කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා.” ටිල්වින් සිල්වා කීවා.

”පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි වෙනකොට ආණ්ඩුකාරවරුන්ගේ බලයට මොකද වෙන්නේ. ඒ මගින් රට බෙදීමේ තැනකට යනවා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයෙන් හැදෙන දුර්වල ආණ්ඩු ආරක්ෂා කරන්නේ ජනාධිපති කියලත් මතයක් තියෙනවා.” ලාල්කාන්ත කියා සිටියා. ”ඔව් අපි මේ කරුණු සැලකිල්ලට අරගෙන කෙටුම්පතක් හදමු. කෙටුම්පත එක්ක අනෙක් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡාවට යමු. ඒ අනුව අවසන් එකක් හදන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද නැද්ද කියලා සාකච්ඡාවක් කරන්න දෙයක් නැහැ. මොකද මහින්ද, මෛත්‍රී දැනටමත් ජනතාවට ඒ බව පොරොන්දු වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහටත් නැවත ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව දන්න නිසා සහය දෙයි.” අනුර දිසානායක කීවා.

අධිකරණ සංවිධාන පනත පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානයට ලක්වුණා. ”ආණ්ඩුවට අවුරුදු තුනක් යනකල්ම බැරි වුණා වංචනිකයින්ට, දූෂිතයින්ට දඩුවම් දෙන්න වැඩපිළිවෙළක් හදාගන්න. දැන් තමයි නින්දෙන් ඇහැරිලා වගේ පනත් සංශෝධනය කරන්න යන්නේ. මේ ආණ්ඩුව කාලේ නම් වංචනිකයින්ට දූෂිතයින්ට දඩුවම් දෙයි කියලා හිතන්න බැහැ.” විජිත හේරත් කීවා. ”අධිකරණ ඇමතිටත් ගෙදර යන්න වුණා මේ වංචනිකයින් දූෂිතයින් ආරක්ෂා කරනවා කියන චෝදනාවට. ඒ විතරක් නෙවෙයි අගමැතිවරයයි ජනාධිපතිවරයයි කරන්නෙත් හොරු රකින එක. පොඩියට හරි පරීක්ෂණ අරගෙන ගියපු දූෂණ මර්දන කමිටුවත් වහලා දැම්මා. ඒ නිසා මේ අධිකරණ පිහිටුවීම ගැන සංවාදය උඩට අරගෙන කඩිනමින් අධිකරණ පිහිටුවීමට ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා. ”දැන් මේ සංශෝධනයට විරුද්ධව අධිකරණයට යන්නේ කෝ හොරු ඇල්ලූවද කියලා ආණ්ඩුවට ඇඟිල්ල දික්කරපු ඒකාබද්ධෙ අයම තමයි. ඒක තරම් විහිළුවක් තවත් නෑ. දූෂිතයන්, අපරාධකාරයන් තමයි විශේෂ අධිකරණ පිහිටුවන එකට බය වෙලා තියෙන්නේ. තමන් වැරද්දක් කරලා නැත්නම් බයවෙන්නේ මොකද? දිනේෂ් ගුණවර්ධනලාට හොරු වෙනුවෙන් කඩේ යන්න වීම හරිම දුකයි.” ලාල්කාන්ත කීවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකොට පළාත් පාලන ආයතනවලට පත්වූ රත්නපුර, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල නියෝජිතයෝ 340 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි‍ෙය් දිවුරුම් දීම පසුගිය අඟහරුවාදා සිදුවුණා. කොළඹ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණා.

මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනතා නියෝජිතයන්ට අවවාදයක් දුන්නා. ඔහු කීවේ බලයේ සිටින්නේ ඔබට විරුද්ධ ආණ්ඩුවක් බව මතක තබාගෙන පරිස්සමෙන් කටයුතු කරන්න කියලායි. ආණ්ඩුව හැමවිටම ඔබ ගැන ඇහැගහගෙන ඉන්නෙ. ඔබ කරන්නෙ මොනවාද කියා බලා ඉන්නවා. හැමවිටම බලන් ඉන්නේ ඔබව මොනවාට හරි කොටුකර ගන්නයි. ඒ නිසා කොන්ත්‍රාත් පස්සෙ යන්නෙ නැතුව ගමට රටට වැඩකරන්න. පක්ෂයේ ඉදිරි ජයග්‍රහණ තීරණය වෙන්නේ ඔබ විනයගරුකව කටයුතු කිරීමෙන් පමණයි” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනතා නියෝජිතයන්ට අවවාද කළා.

අලුත් පක්ෂයක් හදා කෙටි කලෙකින් තමන් විශාල ජයග්‍රහණයක් අත්කරගත් බවත් එය ඓතිහාසික සිදුවීමක් බවත් රාජපක්ෂ මහතා කීවා. වාහනයක බෆර් එක වගේ ඉදිරියෙන් ඉන්න ලෙසත් පස්සට නොයන ලෙසත් ඔහු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා. එහි ප්‍රධාන අරමුණ වූයේ සති කිහිපයක් තිස්සේ ප්‍රමාද වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක් ගැනීමයි. එම විශ්වාසභංග යෝජනාවට එජාපයෙන් කිසිවකු අත්සන් නොකිරීම ගැනත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් බහුතරයක්ද මඟහැර සිටීමත් ගැන එහිදි සාකච්ඡා වුණා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නිමල් ලංසා, කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන් කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම අත්‍යවශ්‍යම බවයි. අගමැති රනිල් ඉවත් කරන්නේ නම් එතැනට පත්වන්නේ කවුද යන්න ගැනත් කල්පනා කළ යුතු බව ද ඔවුහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් පිරිසකගේ අදහස වූයේ තියෙන අත්සන් ප්‍රමාණය මත විශ්වාසභංග යෝජනාව ඉක්මනින් භාරදිය යුතු බවයි. මේ අතර දිනන්න බැරි යෝජනාවකට තමන් අත්සන් නොකරන බව ද ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා. කෙසේ ‍හෝ අත්සන් වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන ඉක්මනින් විශ්වාසභංගය භාරදීමට එහිදි තීරණය වුණා. එසේ වුවද ප්‍රබල පිරිසක් එම තීරණයට තම විරෝධය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 57 ක් හා ශ්‍රීලනි‍පයේ 4 ක් අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව බදාදා කථානායකවරයා වෙත භාරදුන්නා. 

නව අදහස දක්වන්න