ස්ටීවන් හෝකින් කථා කරවූ මෘදුකාංගය | දිනමිණ

ස්ටීවන් හෝකින් කථා කරවූ මෘදුකාංගය

 ස්ටීවන් හෝකින් යනු බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් මෙන්ම ක්වන්ටම් විද්‍යාව, කළු කුහරවලින් විකිරණ නිකුත්වීම පිළිබඳ සිද්ධාන්තමය කරුණු ඉදිරිපත් කිරීම ආදියට ද නම් දැරූ අයෙකි. එසේම ඔහුව අයින්ස්ටයින්ට පසුව දකින්නට ලැබුණු අසහාය චරිතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් ගෙවූ ඔහුට 21වැනි වියේදී මොළයේ චාලක නියුරෝන ක්ෂයවී යාමේ රෝග තත්ත්වයක් ඇති බවට හඳුනා ගැනුණා. ALS ලෙස හැඳින්වෙන මෙම රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ පේශී මෙහෙයවීමේ හැකියාව ගිලිහුණු අතර අවසානයේ රෝද පුටුවක කල් ගෙවන්නට සිදු වුණා. නමුත් ඔහු දිගින් දිගටම තමන්ගේ බුද්ධි මහිමය ලොවට හෙළිදරව් කරමින් එතෙක් විද්‍යාඥයන්ට සිතා ගන්නටවත් නොහැකිව සිටි දේ තම පර්යේෂණ හරහා එළිදැක්වූවා. මේ නිසාම, පරිගණක මධ්‍ය සැකසුම් පද්ධති නිෂ්පාදනයෙහි නම් දැරූ ඉන්ටෙල් ආයතනය, ලෙනෝවෝ ආයතනය එක්ව පර්මොබයිල් ආයතනය විසින් ලබා දී තිබුණු ඔහුගේ ඉලෙක්ට්‍රොනික රෝද පුටුවට පරිගණක පද්ධතියක් එක් කරන්නට තීරණය කළා.

1997 වර්ෂයේදී එක් කෙරුණු මෙම පරිගණකය මෑතක් වන විට ලෙනෝවෝ Core i7 (කෝර් අයි සෙවන්) ආකාරයේ, ගිගාබයිට් 512ක SSD එකක් සහිතව වින්ඩෝස් 10 ධාවනය වන එකක් බවට පත් කොට තිබුණා. ටැබ් පරිගණකයක් වන මෙය ආරෝපණය කිරීමත් රෝද පුටුව හරහාම සිදු කළ හැකියි. මෙම පරිගණකයට ඉන්ටෙල් සමාගම විසින් නිෂ්පාදිත ACAT නමැති විවෘත කේත මෘදුකාංගයක් ස්ථාපනය කොට තිබුණා. ඔවුන් එය විවෘත කේත මෘදුකාංගයක් ලෙස ඕනෑම කෙනෙක්ට එය නිෂ්පාදනය කළ ආකාරය බලන්නට අවස්ථාව සලසා තිබුණේ ලොව වටා විසිරී සිටින මෘදුකාංග සංවර්ධකයන්ට එයට නව විශේෂාංග එක් කොට වැඩි දියුණු කරන ලද නව මෘදුකාංග ලොව වෙසෙන අනෙකුත් ආබාධිතයන්ට ප්‍රයෝජනයට ගත හැකි පරිදි නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින්. මෙම මෘදුකාංගය හරහා හෝකින්ට කිසිවක් ටයිප් කරන්නට අවශ්‍ය වූ විට තිරය මත ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙළට තීර හෝ පේලි වශයෙන් දක්වන අතර අවශ්‍ය අකුර මත කර්සරය නවත්වා එය තෝරා දිය හැකියි. එහි තිබූ විශේෂත්වයක් වන්නේ පෙර ලියන ලද වචනවලට අදාළව ඊළඟට පැමිණෙන වචනය අනුමාන කිරීමේ හැකියාවයි. මුල් කාලයේදී තනි බොත්තමක් මහපට ඇඟිල්ලෙන් තද කළ හැකි ආකාරයට සකසා තිබුණත් ඔහුගේ එම හැකියාවද කාලානුරූපව අහිමි වී අවසානයේ ඉතිරි වූයේ කම්මුල සෙලැවීමේ හැකියාව පමණයි. මේ නිසා එම පද්ධතිය යළි සකසන්නට සිදු වුණා.

එහිදී ඔහුගේ උපැස් යුවළට නව අධෝරක්ත කිරණ සංවේදකයක් අඩංගු කළා. එය උපැස් යුවළෙහි සිට කම්මුල දක්වා පැමිණෙන ආධාරකයක කෙළවරෙහි සවිකර තිබූ අතර හෝකින් තම කම්මුල සෙලැවීමේදී එය විධානයක් වශයෙන් භාරගන්නා ආකාරයට පරිගණක පද්ධතිය සකසනු ලැබුවා. හෝකින් සහ පරිගණකය අතර තිබූ එකම සම්බන්ධතාව එය පමණයි. එහි ආධාරයෙන් ඔහු එදිනෙදා කතාබහ පමණක් නොව මාධ්‍ය සම්මුඛ සාකච්ඡා, විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පවා සිදු කළා. මෙම පද්ධතියට, ස්මාර්ට් දුරකතන කීබෝඩ් නිෂ්පාදකයෙක් වන ස්විෆ්ට්කී (SwiftKey) සමාගමේ තාක්ෂණයක් ද අඩංගු කෙරුණා. ඒ, ඔහු වචනයක මුල් අකුරු දෙකක් පමණ ටයිප් කරද්දීම ඔහු ටයිප් කරන්නට යන්නේ මේ වචනය යැයි අනුමාන කොට එය ක්ෂණිකව තේරීම සඳහා ඔහුට යෝජනා කිරීමයි. මේ හරහා ඔහුගේ ටයිප් කිරීමේ වේගය තවත් වැඩි කෙරුණා. මෙම අනුමාන කිරීම් සඳහා එම මෘදුකාංගයට හෝකින් විසින් පෙර කාලයේ රචිත පොත්, පර්යේෂණ ආදියේ අඩංගු වූ වචන රටාවන් භාවිතයට ගැනුණා. ඒ හරහා ඔහුගේ රචනා ශෛලියට වඩාත් උචිත සේ වචන යෝජනා කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුව තිබුණා.

ටයිප් කිරීමට පමණක් නොව, මූසිකය හැසිරවීමටත් කම්මුල් විධානයන්ට හැකියාව තිබුණා. මේ හරහා ඔහුට මයික්‍රොසොෆ්ට් අවුට්ලුක් හරහා ඊමේල් බලන්නට, ෆයර්ෆොක්ස් වෙබ් ගවේෂකයෙන් අන්තර්ජාලයට පිවිසෙන්නට සහ මයික්‍රොසොෆ්ට් වර්ඩ් හරහා ලිපි සකසන්නට ද හැකියාව තිබූ බව මෙම මෘදුකාංගවල නම් සඳහන් කරමින්ම හෝකින් තම වෙබ් අඩවියේ සටහන් කර තිබෙනවා. එසේම පසු කාලීනව වැඩි දියුණු කළ පරිගණක පද්ධතියේ තිබූ වෙබ් කැමරාව නිසා ස්කයිප් හරහා යහළුවන් සමඟ කතා කරන්නටත් ඔහුට හැකියාව ලැබී තිබුණා. ‘ද බිග් බෑංග් තියරි’(The Big Bang Theory) නමැති ප්‍රහසන කථා මාලාවේ හොඳ රසිකයෙක් වූ ස්ටීවන් හෝකින් එහි ඇතැම් කථාංගවල රඟපෑම් සඳහාද යොදා ගැනුණේ ඔහුට කරන ගෞරවයක් වශයෙන්. ඒ සියල්ල ඔහු බොහොම අහිංසකව විඳි බවයි දකින්නට තිබුණේ. එහි සහ අනෙකුත් වීඩියෝවල ඔහු අමුතු හඬකින්, රොබෝවරයෙක් ලෙස කතා කරනු දකින්නට ලැබෙනවා. ඒ, ඔහුගේ පරිගණකයේ තිබූ කථන සංශ්ලේෂකය (Speech synthesizer)නිසායි.

හෝකින් විසින් ටයිප් කරනු ලබන වචන හෝ ඡේද Speech Plus නමැති මෘදුකාංගයට ඍජුව යොමු කළ හැකිව තිබුණා. එවිට ඔහුගේ සිත තුළ ඇති දේ හඬ නගා කියන්නට ඔහුගේ මුඛයේ පේශිවලට නොහැකි වුවත් මේ මෘදුකාංගය ඔහු වෙනුවෙන් ඔහුගේ හදවත, බුද්ධිය ලොවට විවර කළා. සාමාන්‍ය කථාබහට මෙන්ම දේශන සඳහා ආකාර දෙකකින් සකසා තිබුණු මෙම මෘදුකාංගයට ඔහු විසින් පෙර සකසාගෙන පැමිණි දේශනයන්, ඡේද වශයෙන් ලබා දෙමින් ඉගැන්වීමේ ක්‍රමයට අදහස් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් සිදු කළා. වරක් මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියා විසින් සමාන්තර ග්‍රහලෝක පිළිබඳ කතාබහක දී “අපි වගේ තවත් ග්‍රහලෝකයක ඔබ වගේම කෙනෙක් මොළේ නැතිව ඉන්නවා ඇති නේදැ”යි විහිළුවෙන් ඔහු වෙත පැනයක් යොමු කළා. ඉතා කෙටි කාලයකින් ටයිප් කොට ප්‍රතිචාර දුන් හෝකිංස් “ඔව්. ඒ වගේම ඒ සමාන්තර ග්‍රහලෝකයේ ඉන්න ඔබ මහ විහිළුකාරයෙකුත් වෙන්න ඇති”යැයි රොබෝ හඬ නගා, මුහුණේ සොඳුරු සිනාවක් පළ කළා. මෙම වාග් සින්තසයිසර මෘදුකාංගයේ තිබුණු හඬ යාන්ත්‍රික හඬකට සමාන වුවත් එය ඇමරිකානු, ස්කැන්ඩිනේවියානු සහ ස්කොට්ලන්ත හඬ එකතුවක් ලෙසයි හඳුන්වනු ලබන්නේ.

තඹරු විජේසේකර

නව අදහස දක්වන්න