වලිගයෙන් අල්ලා ගත් අපේ රටේ ඉගැන්නිල්ල | දිනමිණ

වලිගයෙන් අල්ලා ගත් අපේ රටේ ඉගැන්නිල්ල

වලිගයෙන් අල්ලා ගැනීම සහ බෙල්ලෙන් අල්ලා ගැනීම අතර ඇත්තේ විශාල වෙනසකි.

බෙල්ලෙන් අල්ලාගත් විට පහසුවෙන් පාලනය කළ හැකි වන අතර වලිගයෙන් අල්ලාගත් විට සිදු වන්නේ සතාට අනුව පස්සෙන් යාමට හෝ හැසිරීමට ය. මේ නිසා පාලනය කළ යුතු සතෙකු බෙල්ලෙන් අල්ලා නොගතහොත් සිදු වනුයේ විශාල අනතුරකි. සර්පයෙක් වලිගයෙන් අල්ලා ගතහොත් දෂ්ඨ කිරීමට වුවද හැකි ය.

රටක අධ්‍යාපන පද්ධතිය යනු එම රටේ පුරවැසියන් නිර්මාණය කරන තැනකි. මේ පද්ධතියෙන් නිර්මාණය විය යුතු පුරවැසියා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ, ඒ අනුව රටේ අධ්‍යාපනය බෙල්ලෙන් අල්ලාගෙන වෙනස් කළ රටවල් අද දවසේ සුවසේ සිටින අතර වලිගයෙන් අල්ලාගත් රටවල් තුළ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ගැටලුවලින් ගොඩ ඒමට නොහැකිව ලතවෙමින් සිටින බව ලෝකයේ රටවල් දෙස විමසිල්ලෙන් බලන විට පෙනෙන කරුණකි.

දැනගැනීම් සඳහා ඉගෙනීම, යම් දෙයක් කිරීම සඳහා ඉගෙනීම,එක්ව ජීවත්වීමට ඉගෙනීම, දිවි පැවැත්ම සඳහා ඉගෙනීම යනුවෙන් සරලව මෙම අධ්‍යාපනයේ අරමුණු වර්ගකර දක්වා තිබුණ ද යම් රටක සිටින පුරවැසියන් බහු කෝණීය දක්ෂතා සහිත පුද්ගලයන් බවට පත්කර ගැනීම අධ්‍යාපනයේ මූලික ම අරමුණක් වේ.

මේ නිසා දියුණු රටවල් තම රටවල අධ්‍යාපනය හැඩගැස්වීම තුළින් රටේ සංවර්ධන අපේක්ෂා ඉටු කර ගැනීමට උත්සාහ ගෙන ඇත. චීනය, රුසියාව වැනි රටවල් පවා විප්ලවවලින් අනතුරුව එම රටවල අධ්‍යාපන ක්‍රමයන් ප්‍රතිසංස්කරණය කළ අතර ඒ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකය සමඟ ගැලපෙන පුරවැසියන් නිර්මාණය කරගනිමින් තම රටවල ආර්ථීක වෘද්ධිය ඇතිකර ගනිමින් සමාජ, දේශපාලන ගැටලු අවම කරගැනීමට උත්සාහ ගෙන ඇත.

ස්වයං පිළිඹිබුව ඇති කිරීම අධ්‍යාපනයේ මූලිකම අරමුණක් වන්නේ මේ නිසාවෙනි. අධ්‍යාපනය තුළින් තමන් කවරෙක් දැයි ඒත්තු ගැන්විය හැකි නම් ඒ අනුව හැසිරීමට මිනිසුන් පෙළඹවිය හැකි ය. එසේම විවිධ විභවතාවන් උපතින් රැගෙන එන මිනිසුන්ට තම හැකියාවන් හඳුනාගැනීමට මග පෙන්වීමේ හැකියාව යම් රටක අධ්‍යාපන ක්‍රමයකින් ලැබේ නම් එය සාර්ථක අධ්‍යාපන ක්‍රමයක ලක්ෂණයකි. අලුත උපන් මිනිස් ජීවියාගේ මොළයේ වර්ධනයෙන් 90%ක් මුල් අවුරුදු පහ තුළ සම්පූර්ණ වන අතර ස්නායු පද්ධතියෙන් 85%ක් මේ අවුරුදු පහ තුළ සම්පූර්ණ වේ.

මේ නිසා මුල් අවුරුදු පහ දෙමාපියන් සමඟ කෙරෙන අධ්‍යාපනය ජීවිතයේ වැදගත් ම කොටස වේ. එනම් පුද්ගලයාගේ ජීවිතයේ පදනම නිර්මාණය වන්නේ මෙම කාල පරාසය තුළ ය. ප්‍රාථමික අධ්‍යාපනය තුළින්ද සිදු විය යුත්තේ බුද්ධි වර්ධනයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙමින් සහයෝගිතාව, සන්නිවේදන කුසලතා, සමාජ අන්තර් ක්‍රියා සඳහා වූ හැකියාවන් වර්ධනය කිරීමයි.

සන්නිවේදනය අන්තර් පුද්ගල සබඳතා කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, වෙනත් සංස්කෘතින් කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරගැනීම, අන් අය ගැන සැලකිල්මත් වීම, විවිධ පරිසරයන් පිළිබඳ ධනාත්මක ආකල්ප ඇති කරගැනීම වැනි පෞර්ෂයට අදාළ හැකියාවන් වර්ධනය වීමට සැලැස්වීම ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණු ලෙස ස්විට්සර්ලන්තය, ජපානය, පින්ලන්තය වැනි රටවල් තම අධ්‍යාපන ක්‍රමයන් තුළට එකතු කර ඇත.

මේ නිසා මෙවැනි රටවල් සංවර්ධිත, ජීවත් වීමට සුදුසු රටවල් වර්ගීකරණයන්වල ඉහළින්ම සිටින රටවල් බවට පත්ව ඇත. නිවැරදි පෞර්ෂයක් ගොඩනැඟුණු විට බොහෝ ගැටලු අවම කරගත හැකි බව කිව හැකි ය.

ද්විතීක අධ්‍යාපනය මූලිකව ම සකස් විය යුත්තේ තමා කවරෙක් දැයි නැතහොත් අනාගතයේ තමන් කෙබඳු වෘත්තියක නිරත විය යුතුද? තමන්ගේ හැකියාවන් මොනවාද? යන්නත් හඳුනාගෙන ඒ අනුව හැඩගැසීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙනි.

මේ නිසා ස්විස්ටර්ලන්තය මෙන් ම පින්ලන්තය වැනි රටවල 7 ශ්‍රේණීයේ දී පැවැත්වෙන විභාගයකින් පසු ජීවිතයේ ඉලක්ක තෝරාගැනීමට අවස්ථාව දෙන අතර උසස් අධ්‍යාපනයට යොමු වනවාද? වෘත්තීය අධ්‍යාපනයට යොමු වනවාද? නැතහොත් කම්කරුවකු ලෙස රැකියාවක් සඳහා යොමු වනවාද යන්න 7 ශ්‍රේණියෙ දී තීරණය කර තවත් වසර දෙකක් ඒ සඳහා ද්විතීක පාසලේ රැඳී සිටිමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙයි.

වයස අවුරුදු 13 වන විට මෙම තෝරා ගැනීම සිදු කළ හැකි නිසා දරුවන්ට ඒ අනුව හැඩගැසීමටත් ජීවිතයට අරමුණක් ඇතිකර ගැනීමටත් හැකියාව ලැබේ.

අපේ රටේ උසස් අධ්‍යාපනයෙන් පසුව උපාධිය ලැබීමෙන් පසුව වුවද තමාගේ ජීවිත අරමුණ ඇති කර ගැනීමට හැකියාවක් ලබා නොදේ. මේ නිසා අධ්‍යාපනය ජීවිතයෙන් පරාරෝපණ වූ සංකල්පයක් ලෙස ලංකාවේ දී හඳුනාගැනිම අහඹුවක් නොවේ.

පංති කාමරයේ කිහිප දෙනෙකු හැරුණු විට අනෙක් සියලු ම දෙනා අනාගත අපේක්ෂාවන් රහිතව සමාජයට මුදාහැරෙන අතර ජනප්‍රිය වෘත්තීය විෂයන් කිහිපයකට පමණක් සීමා වූ වෘත්තිය අධ්‍යාපනයෙන් තවත් කොටසක් රැකියාවන් කරා යොමු වන අතර බොහෝ දෙනෙකු නිරත වන්නේ තමන් කිසි දිනක අපේක්ෂා කළ රැකියාවන්වල නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

පාසල් පද්ධතිය තුළ විෂය සමගාමී, විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන් ම සංගීතය, චිත්‍ර, රසවින්දනය, සාහිත්‍යය වැනි අංශ ක්‍රියාත්මක වීම තුළින් විවිධ විභවතාවන් සහිත දරුවන්ට තම හැකියාවන් වැඩි දියුණු කරගනිමින් ඉදිරියට යාමට අවස්ථාව තිබිය යුතු ය. මේ නිසා තම වෘත්තියට අමතරව විවිධ නිර්මාණවල යෙදෙමින් ජීවිතය අරුත්බර කරගැනීමට ද පුරවැසියෙකු ලෙස අවස්ථාව ලැබේ.

ලංකාවේ පාසල් පද්ධතියේ අඩුවෙන් ම දැකිය හැක්කේ මෙවැනි බාහිර ක්‍රියාකාරකම් ය. තිබුණ ද ඒවායින් දරුවන්ට තම හැකියාවන් දියුණු කරගැනීමට අවස්ථාවක් නොලැබේ. ලංකාවේ අලුත උපන් දරුවන් වෙනුවෙන් මාතෘ පැකේජයක් ලෙස රැපියල් දෙදහසේ බඩු මල්ල ක්‍රියාත්මක වන විට ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වනුයේ ළමා ළදරු පොතක් සමඟ දෙමාපියන්ට පොත් තුනක් ලබා දීමයි.

මේ නිසා කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අපේක්ෂා කරන අතර දෙමාපියන්ට තම දරුවන් නිවැරදිව හදා ගැනීමට මෙය පිටු බලයක් සපයයි. අවිද්‍යාත්මක මිත්‍යාවන් බහුල ලෙස භාවිතයේ යෙදෙන හා අලුත උපන් දරුවන් මිත්‍යා විශ්වාසයන් තුළ බැඳ තබන විශ්වාසයන් සහ මිත්‍යාවන් බහුල අප වැනි රටකට මෙවැනි පැකේජයකින් සිදු විය හැකි මෙහෙය අතිමහත් ය.

මේ නිසා අධ්‍යාපනය නිවැරදි කිරීම සඳහා සැලසුම් සකස් කළ යුත්තේ දරුවන් මව් කුසේ සිටියදී ම ය. අනිත්‍ය සිහි කිරීමට වඩා දෙයක් කළ නොහැකි තරමට අබලන්ව, ඉරිතලා ගිය ලංකාවේ පාසල් පද්ධතිය නැවත ගොඩනැඟිය හැක්කේ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු කරන විප්ලවීය වෙනසකිනි.

මෙය සිදු කළ හැක්කේ අධ්‍යාපනයේ ගැටලු ඇති කළ චින්තනය ඉක්මවා ගිය චින්තනයකිනි. සමහරක් ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ගැටලුව ඇති කළ මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් බැහැර විය යුතුය. ඒ සඳහා අප විශ්වාස කළ, ඉගෙනගත් බොහෝ දැනුම අත්හළ යුතුව ඇත.

(වජිර කාන්ත)

 


නව අදහස දක්වන්න

Or log in with...