මධුෂ් කොස් මල්ලි මැරුවේ මෙහෙමයි | දිනමිණ

මධුෂ් කොස් මල්ලි මැරුවේ මෙහෙමයි

අබිදුල් රහ්මාන් මොහොමඩ් රිෆ්කාන් වෙඩි තබා මරා දැමුනේ පෙබරවාරි මස දහසය වැනිදා සවස් භාගයේ දීය.

ඒ... අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටි ඔහුට අයත් සේවා ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේය.

ඔහුට වෙඩි තැබු පුද්ගලයා ප්‍රදේශවාසීන්ගේ පහර දීමට ලක්ව ඒ මොහොතේම මිය යන අතර යතුරු පැදිය පැද වූ පුද්ගලයා පැන යන්නේ යතුරු පැදිය ද අතැර දමාය. ඔහු යතුරු පැදිය දමා යන්නේ එය පණ ගන්වා ගත නොහැකි වූ නිසාය.

කෙසෙල්වත්ත පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඩී) එක්ව මෙම ඝාතන සිද්ධිය පිළිබඳ ඇරැඹු පරීක්ෂණ වලදී අතැර දමා ගිය යතුරු පැදියේ හිමිකරු කවුරුන් දැයි සොයා ගැනීමට හැකිවිය.

එය... කැලණිමුල්ල, සැලලිහිණි මාවත අංක 227/2 දරණ ලිපිනයේ පදිංචි පණ්ඩිතගේ ශාන්ත කුමාර යන අයගේ නමට ලියාපදිංචි කර ඇති බව තහවුරු විය.

ඔහු... ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේ කොස් මල්ලී ලෙසටය. ඔහු.... කොස්මල්ලී වුයේ අයියා “කොසා” වීම නිසාය. අයියා “කොසා” වුයේ මුල්ලේරියව ප්‍රදේශයේ කොස් විකුණන නිසාය.

සී.සී.ඩී.ය මෙන්ම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ද කොස්මල්ලී සහ පලා ගිය යතුරු පැදි කරු සොයා මෙහෙයුම් දියත් කළ අතර පැදිකරු අත්අඩංගුවට ගැනීමට මිරිහාන ඒකකයට හැකිවිය.

රිෆ්කාන් ඝාතනය කළ දිනයේම කොස් මල්ලී ද ප්‍රදේශය හැර පලා යන්නේ පැදිකරු යතුරුපැදිය අතැර දමා පලාගිය නිසාත්, පරීක්ෂණ කණ්ඩයම් එම යතුරුපැදියේ හිමිකාරිත්වය තහවුරු කරගෙන තමා පසුපස ලුහුබඳින බව ආරංචි වීමත් නිසාය.

එලෙස පොලිසියෙන් ගැලවීම සඳහා කොස්මල්ලී පොතුවිල් ප්‍රදේශයට ගොස් සැඟව සිටි අතර පරීක්ෂණ කණ්ඩායම ඒ බව ද තහවුරු කර ගත්තේය.

කොස්මල්ලී දැන සිටියේ තමා පසු පස පොලිසිය ලුහුබඳින බව පමණි.

පොලිසියට කොටු වුවහොත් සිදුවන එකම දෙය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පමණි. ඉන් ගැලවීම උදෙසා සැඟවුණ කොස් මල්ලී තමා පසු පස මදුෂ් ලුහුබඳින බව සිහිනයකින් වත් නොසිතන්නට ඇත. එහෙත්...

පොලිසියෙන් සැඟවීමට උත්සාහ කළ කොස්මල්ලීට අවසානයේ සිදුවුයේ මුලු රටක් මවිතයට පත් කරවන ආකාරයේ බියකරු ඉරණමකට මුහුණ දීමටය.

කොස්මල්ලී මරා ගෙල කපා එය කළු පැහැති ඉටි උරයක දමා කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවතේ පල්ලිය පිටුපස කුණු ගොඩට ගෙනැවිත් දැමීමට මදුෂ් ගේ ගෝලයන් කටයුතු කළේ රිෆ්කාන් මැරූ පළිය ගැනීමට මදුෂ් දුන් නියෝගයට අනුවය.

කුණු ගොඩෙන් හමු වූ හිස කොස් මල්ලී ගේ බව හඳුනාගන්නට එතරම් අපහසු වුයේ නැත.

ඒ... ඔහු ගේ හිස කුණු ගොඩෙහි තිබෙන බවට කෙසෙල්වත්ත පොලිසියට දුරකථන ඇමතුමක් දී යම් පුද්ගලයකු දන්වා සිටි නිසාය.

හිස සොයා ගැනීමෙන් අනතුරුව ඒ අවට සවිකර තිබු සී. සී. ටී. වී. කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී යතුරු පැදියක ආ අයකු කළු පැහැතා බෑගය එතැන දමා යන අයුරු දැක ගන්නට ලැබිණි.

කොස්මල්ලී ගේ ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කළ සී.සී.ඩී ය ට ඒ සඳහා පොටක් පාදා ගැනීම ද අපහසු කරුණක් වී තිබිණි. ඊට හේතුව වුයේ කොස් මල්ලී ඝාතනය ඉතාමත්ම සැලසුම් සහගතව සිදුකර තිබීමයි.

එහෙත්... කොස් මල්ලී ගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂාවේ දී ඔහු අවසන් වරට සිටි ප්‍රදේශය හා කතා කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවිය.

එම දත්ත වලට අනුව ඔහු ගේ හිස කෙසෙල්වත්තට ගෙනැවිත් දමන දිනට පෙර දින ඔහු සිට ඇත්තේ අඟුණකොළපැලැස්සේ බවත්, එම ප්‍රදේශයේ පදිංචි එක්තරා කාන්තාවකට දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් තහවුරු විය.

සී.සී.ඩී. පරීක්ෂණ කණ්ඩායම එම කාන්තාව කැඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කළේය. ඇය... විවාහක කාන්තාවකි.

කලක් කොළඹ ප්‍රදේශයේ කල් ගෙවා ඇති අතර ඒ කාලයේ දී ඇය “කැරෝකේ” ක්ලබ් එකක සේවය කර තිබිණි. ඇය....

ඒ සමයේ කොස්මල්ලී සමඟ අනියම් ඇසුරක පැටලී ඇත. වයස අවුරුදු විසිතුනක් පමණ වූ කොස්මල්ලී අවසානයේ ඇයගේ අනියම් පුරුෂයා බවට පත්විය.

පසුව ඇය ගම් ප්‍රදේශය බලා යන අතර කොස්මල්ලී ඇය සොයාගෙන යන්නේ පසුගිය මස හය වැනිදා උදේ වරුවේය. ඒ... පොලිසියෙන් සැඟවී සිටීමට මඟක් සොයමිනි.

පොතුවිල් සිට එදින දහවල් වෙද්දී අඟුණකොළපැලැස්ස පදලංගල ප්‍රදේශයට යන කොස්මල්ලී තමා මේ වැටෙන්නට යන්නේ මදුෂ් ගේ ඔඩොක්කුවට බව සිහිනයකින් වත් නොසිතන්නට ඇත.

එලෙසම සිය ආරක්ෂාව සොයා පැමිණි පෙම්වතාට තමා නිසා මරු තුරුලට යාමට සිදුවේයැයි පෙම්වතිය ද කිසි විටෙක නොසිතන්නට ඇත.

එහෙත්... සිදුවුයේ ඒ කිසිම කෙනෙකු සිහිනයකින් වත් නොසිතු දෙයකි.

නව අදහස දක්වන්න