මටවත් අයිති නැති මම | දිනමිණ

මටවත් අයිති නැති මම

මේ කතාව මා ලියන්නේ ගිය සතියේ සඳුදා ය.

එදින මාගේ පෙබරවාරි මාසයේ වැටුප බැංකුවට වැටෙන දිනය විය.

කෑගල්ල මහජන බැංකුව ඉදිරිපිට හයිබ්‍රීඩ් රථය නැවැත්වූ මම බැංකු කාඩ්පතද රැගෙන බැංකුවට ගියෙමි.

මොහොතකින් ගිය මාසයේ වැටුප රුපියල් හැත්තෑ දෙදාස් පන්සීයක් ලෙස මගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙද්දී මට ඇත්තට ම ඇඬුණි. මට අතීතය සිහිවිය.

මා මේ තැනට පැමිණියේ බිංදුවේ සිට ය. එය දුෂ්කර ගමනක් විය. එදා බයිසිකල් කට්ටක්වත් නොතිබූ මා අද යන්නේ හයිබ්‍රීඩ් රථයක ය.

තවද මාසික වැටුප බැංකුවට වැටෙන්නේ ඉලක්කම් පහේ ගණන්වලින් ය.ඇත්තෙන් කටුක ගමනක් අවසන අද මා පැමිණ ඇති තැන බොහෝ සුන්දර ය.

ඇස් දෙකට ඉනූ සතුටු කඳුළු දෑතින් ම පිස දමමින් මා හයිබ්‍රීඩ් රථයට නැඟ වේගයෙන් පියාඹන්නට වූයේ මට මා ගැන ඇති වූ සියුම් ආඩම්බරය නිසා ය.ටික දුරක් යද්දී දුටු දසුනින් මාගේ සතුට මාගෙන් බොහෝ දුරස් විය.

එය පල්සර් යතුරු පැදියක් විය. නුවර දෙසට යමින් තිබූ එය පැදවූයේ කළු පැහැති, පෙනුමෙන් මහත තරුණයෙකි.එහි පිටුපස වාඩි වී සිටියේ මීට අවුරුදු දෙකකට පමණ පෙර මගෙන් වෙන් වූ ඇය ය.

ඔවුන් දෙදනාට මැදිව රෝස පැහැති ලස්සන චූටි දූ සිඟිත්තියක් විය.ඒ පුංචි කෙල්ල ඒ තරම්ම ලස්සන ය.

ඔව් ඇය මගේ අහිංසා තරමට ම ලස්සන ය. බැංකුව තුළදී සතුටට ඇඬුණු මට දැන් ඇඬෙන්නේ දුකට ය. අහිංසාගෙත් මගේත් වෙන්වීමට එදා මගපෑදුවේ මගේ දුප්පත්කම ය. "රූ අයියේ, අපේ අම්මලා කැමති නෑ මාව සල්ලි නැති දුප්පත් කොල්ලෙක්ට දීලා දාන්න.අනේ මට එයාලට දුකක් දෙන්න බෑ වස්තු. දුකෙන් හරි අපි අපෙන් ඈතට යමු.

මං ඔයාට ආදරේ නැතුව නෙවෙයි.අනේ මගේ අයියේ ප්ලීස්....මාව අමතක කරන්න."මේ අහිංසා මට කියූ අන්තිම වචන ටික ය.

එය මට තාම මතක ය.ඇය එදා ඇගේ මුහුණ මගේ පපුවේ හංඟාගෙන පුංචි එකියක් මෙන් ඇඬුවා ය.බොහෝ වේලා මා තුරුළු කරගෙන හිටියා ය.

අවසානයේ මුහුදක් තරම් හෙළූ කඳුළු මැද අපි වෙන්වුවෙමු.හරියට ම එදා රෑ "ඔයා ලොකු මහත්තයෙක් වෙන්න රත්තරන්.මං ඔයාට සුබ පතනවා මගේ පණ...." කියමින් මට අන්තිම කෙටි පණිවිඩයද එවූ ඇය මුළුමනින් ම මගේ ජීවිතයට සමුදුන්නා ය.

හරියට ම අවුරුදු දෙකකට පසු ඇය මා යන හයිබ්‍රීඩ් රථය ඉදිරියෙන් යන යතුරු පැදියේ නැඟී, සිය සිඟිති දියණිය ද පපුවට තුරුළු කරගෙන යනවා ය. මම ඔවුන්ට යන්නට හැර හයිබ්‍රීඩ් රථය පාර අයිනට කර නවත්වා කල්පනාවට වැටුනෙමි. අහිංසාට තුරුළුව සිටි පුංචි කෙල්ල අහිංසා තරමට ම ලස්සනය.

අහිංසා තරමට ම රෝස පාට ය.අහිංසා තරමට ම අහිංසක පාට ය. සත්තකින් ම ඒ මගේ සිහිනයක් විය.ඒ පුංචි එකී දැක්ක වෙලාවේ මට ඇතිවූයේ මා පියෙක් වූවා වැනි හැඟීමකි.මන්ද මා හුඟාක් ආදරේ කෙරූ ඇය දැන් මවකි. ඇය දැන් මේ කුළුඳුලේ වදා ඇත්තේ මගේ සිහිනය ය.ඇය මවක් වෙද්දී ඒ ලැබුණු දියණිගේ පියා වන්නට මට බැරි විය.

ඒත් ඒ වැදුවේ මගේ ම පුංචි කෙල්ල බව මට තාමත් සිතෙයි. එදා නුවර වැව රවුමේ ඇවිදමින් අපි මැවූ සිහිනවල හිටියේ ඇයයි. ඒ නිසා ඇය වදා ඇත්තේ මගේ සිහිනය ය.

ඒ සිහිනයේ පියා මා නොවුණාට මේ තත්පරයේ පටන් ඒ සිහිනයේ පිය උරුමය අයිති මටය. ඒ රෝස පාට කෙළි පැටික්කියගේ නම දැනගන්නට මං කැමති ය.එහෙත් දැන් ඇය බොහෝ දුර ගොස් ඇත.

සැබෑවටම ඇය සිතින් මගේ ළඟ දැවටුණ ද ගතින් ඇය දැන් මගේ ජීවිතයෙන් බොහෝ දුර ය. "අපිට මුලින් ම කෙල්ලෙක් ලැබුණොත් නම දාමු 'නෙතූ' කියලා.

ඔන්න මුලින් ම කෙල්ලෙක් ගේන්න හරිද? මට ඕනි ඔයා වගේ ම රෝස පාට චූටි දුවෙක්.අම්මි වගේ ම අහිංසක දුවෙක්.හරිද මගේ මැණික...."මේ එදා මම ඇයට කියූ කතාවකි.

මා ප්‍රාර්ථනා කළ පරිදි ම ඇය මට චූටි දුවෙක් මුලින් ම ගෙනත් දී ඇත. එහෙත් මේ ඇස්වලින් මේ තරම් කඳුළු එන්නේ ඇයි කියා තවමත් මට තේරෙන්නේ නැත.

ඒ නුවර වැව රවුමේ අපි ආදරයෙන් උන් දවසක් ය. "රූ බබා,ඔයා මේ නංගි බබාට කොච්චර ආදරේද?" ඇගෙන් මට ප්‍රශ්නයකි. "අනේ මං නම් චුට්ටක්වත් ආදරේ නෑ අයියෝ...." ඒ මගේ පිළිතුර ය. ඇය මුකුත් ම නොකීවා ය.

එහෙත් ක්ෂණයෙන් මගේ ඇඟිල්ලක් ගෙන එය ඇගේ දත්වලින් රිදෙන්න ම හැපුවාය. ඒ ඇයගේ ආදරයේ තරම විය.තත්පර කිහිපයක් ගතවිය. ඇඟිල්ලේ දත්පාරවල් සැරට ම වැදී ඉන් ලේ ගැලුවා ය. ඒ වැටෙන ලේවලින් කියවුණේ මගේ පැංචිගේ ආදරේ තරම ය.ඇය මහා හයියෙන් ඇඬුවා ය. ඇයට ඒ ලේ බිඳු දෙස බලා ඉන්නට බැරි විය.

මන්ද ඇය ඇඟිල්ල හැපුවේ චුට්ටක් රිදෙන්නට මිස මේ තරම් දෙයක් වෙන්නට නොවේ. එහෙත් ඊට වඩා දෙයක් සිදුවිය. පසුව ඇය මගේ ඇඟිල්ල ඇගේ තොල් අතර තබා ලේ පිටින් ම එය ඉරුවාය. ඒ මගේ කෙල්ලගේ හැටි ය.

මම ඇයව මගේ පපුවට තුරුළු කරන් බොහෝ වෙලා සිටියෙමි. ඇය ඉකිගසමින් ඇඬුවාය. මා ඇඳ සිටි ටීෂර්ට් එක එදා කඳුළින් තෙත් විය.

එවන් ආදරයක් ලබන්නට මා මොන තරම් පින්වන්තද කියා මට ඒ මොහොතේ සිතුණි. එහෙත් ඒ ආදරය මගේ ම කරගන්නට තරම් එදා මා පිං කර තිබුණේ නැත. අපි දෙදෙනා ම සැබෑ ආදරවන්තයින් ය.

එහෙත් දුප්පත්කම ඉදිරියේ අපේ ඉරණම විසඳුණි. අද මා මේ ඉන්නා තැන ඉන්නේ ඇය නිසා ය. ඇය නොවන්නට මා අදටත් අර හිඟන කොල්ලා ය. මට හැමදේම ලැබුණත් මං හුඟාක් ආදරේ කළ ඇය සදහට ම අහිමි විය.

ඒත් ඇය මාගේ ලොකු ම සිහිනය සැබෑ කර ඇත.ඒ මාගේ පුංචි දුව ය.සැබෑවට ම එදා ඇගේ තුරුලේ ගිය පුංචි කෙල්ල අයිති මට ය.

ඇය සත්තකින් ම මගේ ය.ඒ මගේ සිහිනය ය. කෙසේ නමුත් ඔබ බලා සිටින්නේ කතාව අවසානයේ අපි යළිත් එකතු වෙන තුරු ය. එහෙත් බොරු මවාපෑම් කරමින් එසේ ලියන්නට මට කොහෙත්ම වුවමනාවක් නැත.

එසේ කළහොත් එය ඔබ සනසවන්නට ලියූ ලියවිල්ලක් මිස සත්‍ය‍යක් නොවන බව සැබෑ ය. ඒ නිසා මෙය මම මෙසේ අවසන් කරමි.

අහිංසා යනු ඔහුගේ ආදරණීය මනමාලිය ය. නමුත් අදටත් ඇය මගේ ආදරණීය පෙම්වතිය ය. අහිංසාගේ චූටි දූ සත්තකින් ම අයිති ඔහුට ය.

එහෙත් ඒ සිහිනයේ පළමු අයිතිකාරයා මම ය. ඒ නිසා චූටි දූ අයිති ද මට ම ය. ඔබට සැනසෙන්නට මට තව එක දෙයක් කිව හැකි ය.

එනම් අහිංසා මෙන් ම ඇගේ චූටි කෙල්ලත් මේ කතාව අවසානයේ ඇත්තට ම මගේ ය. නමුත් අදටත් මා මටවත් අයිති නැත.

(රුවන් එස්. සෙනවිරත්න)


නව අදහස දක්වන්න

Or log in with...