2018 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව උත්කර්ෂවත්ව | දිනමිණ

2018 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව උත්කර්ෂවත්ව

සිය බෙදාහැරීම් ජාලයේ අති විශිෂ්ටයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අති උත්කර්ෂවත් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. 300කට අධික අලෙවි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මේ උත්සවයේ දී, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2018 වසරේ හොඳම අලෙවි නියෝජිත කිරුළ හිමිකරගත් අතර, දෙවැනි ස්ථානය මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් ආයතනයත්, තුන්වැනි ස්ථානය මඩකලපුවේ අහිලා හාඩ්වෙයාර් ආයතනයත් හිමි කරගන්නා ලදී.

දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින් අතිසාර්ථක ලෙස සිය වෙළෙඳ ඉලක්ක ජයගත් බෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයන් 175ට අධික සංඛ්‍යාවක් කාණ්ඩ කිහිපයක් යටතේ එදින සම්මානයට පාත්‍ර වූහ. සිය සහෝදර වෙළෙඳ ප්‍රජාව ඉදිරියේ, ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මේ සමුළුවෙදී සියලු ජයග්‍රහකයන්ට වටිනා විදේශ සංචාර ඇතුළු ත්‍යාග රැසක් හිමිකරදෙන ලදී.

විචිත්‍රවත් නර්තනාංග සහ සංගීතයෙන් පිරි මේ සමුළුව, ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීම් ජාලයේ සියලු සාමාජිකයන්ගේ උද්‍යෝගිමත් සතුටු හමුවක් ලෙස සනිටුහන් විය. මෙහි දී, ආයතනයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් අලෙවි ජාලයේ සියලුම සාමාජිකයන්ට සිය ප්‍රණාමය පුදකර සිටි ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, ‘ආරම්භයේ පටන් අද දක්වා ටෝකියෝ සිමෙන්ති සමාගමට විශිෂ්ට ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ අපගේ අලෙවි නියෝජිතයන් සමාගම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසයයි.

ඔබගේ දිරිගැන්වීමෙන් ටෝකියෝ සිමෙන්ති නාමය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංක.1 බවට ඔසවා තැබූ ඉහළම ප්‍රමිතියේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ වටිනාකම එක් කළ නවෝත්පාදන රැසක් අප පාරිභෝගිකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සමාගමට හැකි වූ බවත්, මේ සමුළුවේදී හිමිකර ගන්නා ජයග්‍රහණ ඒ සඳහා දක්වන කෘතවේදීත්වයේ කොටසක්’ බවත් පැවැසීය.

නව අදහස දක්වන්න