කොල්ලට තාම 65 | දිනමිණ

කොල්ලට තාම 65

ෆවුස් මොහොමඩ්

පුංචි පුංචි දේවල් දී ලොකු ලොකු දේවල් උදුරා ගන්නට ගැහැනුන්ට පුදුම හැකියාවක් ඇතැයි මීට අවුරුදු දහයකට කළින් මුලින්ම ඇලීනා මුණගැසුණු මොහොතේදී පුටින්ට සිතෙන්නට ඇත. ඒ වෙද්දී 55 හැවිරිදි වියෙහි පසුවූ රුසියාවේ ජනාධිපතිවරයා මොස්කව් නුවරදී එවකට 24 හැවිරිදි වියෙහි පසුවූ මේ රූමත් ජිම්නාස්ටික් ක්‍රීඩිකාව මුණ ගැසුණේ රුසියාවේ ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවයට ඇයට උපහාර පිදීමේ උත්සවයේදීය. පුංචි සිනහවකින් තමාට සංග්‍රහ කර ඇය ආපසු ගියේ දේශපාලන ලෝකයේ බලවත් නායකයාගේ හදවත සොරාගෙනය.

ඊට මාස කිහිපයකට පසුව මොස්කව් නුවර එක්තරා අවන්හලකදී පුටින්ගේ උණුසුම් හාදු වැස්සකින් ඇලීනාගේ පිරුණු කම්මුල් තෙමී ගිය බවට මාධ්‍ය වාර්තා කරද්දී නම් ගෙවුණු ටිකට සෑහෙන දෙයක් සිදුවී ඇති බව පැහැදිලි විය.

වසර 1983දී එවකට සෝවියට් රුසියාවට අයිතිවූ උස්බෙකිස්තානයේ උපන් මේ අපූරු රුවැත්තිය අවුරුදු තුනේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාවට පිවිස කාලයක් ගතවෙද්දී රුසියාවේ ජාතික ශූරිය බවට පත්වූවාය. වසර 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමත්, 2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමත් දිනාගැනීමෙන් පසුව ඇය කාගෙත් අවධානය දිනාගැනීමට සමත්වූවා පමණක් නොව රුසියාවේ ජාතික වස්තුවක් බවටත් පත්විය.

රුසියාවටම ආවේනික පළල් මුහුණකුත්, දීප්තිමත් නෙත් සඟලකුත් තිබුණත් ඇලීනාගේ සිරුර දැන් තරමක් තරබාරුය. ඇය දැන් ජීම්නාස්ටික් ක්‍රීඩාවේ නියැලෙන්නේ නැත. 2008දී පුටින්ගේ හාදු වැස්සට හසුවීමෙන් පසුව ගෙවීගිය දශකයේදී ඇලීනාගේ ජිවිතය එහෙම පිටින්ම වෙනස්වූ බව ඇය නොකීවට කවුරුත් කියති. පුටින්ගේ ජීවිතයේ සිදුවූයේත් ඒ ටිකමය.

රුසියාවේ ජනාධිපතිවරයා මොස්කව් නුවර අවන්හලකදී ඇලීනාට තුරුළු වූ පුවත මුලින්ම ලොවට හෙළි කළේ රුසියානු ඔත්තු සේවයේ (KGB) හිටපු නිලධාරියකු වූ ඇලෙක්සැන්ඩර් ලෙබෙඩිය. ඔහු රාජකාරියෙන් සමුගත්තාට පසුව මොස්කව් නුවර පුවත්පතක් පවත්වාගෙන ගිය අතර මේ කතාව ඔහුගේ Moskovsky Korrespondent පුවත්පතේ පළවීමෙන් පසුව පුටින්ට අසූහාරදාහට කේන්ති ගියේය. එසේ වූයේ එන්න එන්නම ගැහැනුන් අරභයා ඔහුගේ නම ඈඳුණු කතා ඇතුළත් මෙවැනි පුවත්පත් උණුකැවුම් මෙන් අලෙවි වීම නිසාය. අන්තිමේදී ඔහු ඇලෙක්සැන්ඩර් සමග උරණ වී පුවත්පත වසා දැමීමට කටයුතු කළේය.

ඇරත් ඒ වෙද්දී ඔහු ලයිඩ්මිලා ෂ්ක්‍රිබ්නීවා සමග වසර 25ක විවාහ ජීවිතයක් ගත කරමින් සිටියේය. ඔහු තරුණ වයසේ පසුවන දියණියන් දෙදෙනකුගේම පියෙකි. රුසියාවේ පළමු ආර්යාව ලෙසින් කාගෙත් ගෞරවයට පාත්‍රවී සිටි ලයිඩ්මිලා හිටපු ගුවන් සේවිකාවකි. ඒ වෙද්දී පනහ පැන තිබුණත් මුලදී ඇයටත් ඇලීනා මෙන්ම රූමත්කමින් අඩුවක් තිබුණේම නැත.

සිය ජනාධිපති සැමියාට දැන් දැන් තමා පරණ වැඩි බවක් ඇයටත් නොසිතුණාම නොවේ. ඇලීනාගේ පළහිලව්ව ගැහැනුන් අරභයා සැමියා පැටලුණු පළමුවැන්නත්, අන්තිම එකත් නොවීය. ඊට පෙරත්, පසුවත් ලොව පුරා විවිධ රටවල නම ගිය ගැහැනුන් කිහිපදෙනකුම පුටින්ට සම්බන්ධ කර කතා ගෙතී තිබිණි. ඒවා කොයිතරම් දුරට ඇත්තක්දැයි ලයිඩ්මිලා සොයන්නට ගියේ ද නැත.

එක අතකට ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියත් ඉතා ශක්ති සම්පන්න මිනිසකු වූ පුටින්ට ගැහැනුන්ගේ ආදරය නොඅඩුව හිමිවීම පුදුම විය යුතු කාරණාවකුත් නොවිය. හැට පැන්නත් තවමත් කඩවසම් සිරුරුකට හිමිකම් කියන පුටින් ජාත්‍යන්තර දේශපාලන නායකයන් අතර නොමැති සුදුසුකම් රැසකින් යුතු අසාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු ජූඩෝ හා කරාතේ කළුපටිධාරියෙකි. දඩයමේ යන ජනාධිපතිවරු, ගැහැනුන් සමග අනියම් සම්බන්ධතා ඇතිකරගත් ජනාධිපතිවරු ලෝකයේ එමට සිටියත් වලසුන් සමග පොර බඳින ජනාධිපතිවරයකුට ඇත්තේ පුටින් පමණක් බව නම් ඉඳුරාම කිව හැකිය.

ඇලීනාගේ සහ පුටින්ගේ රහස් ප්‍රේමය ගැන අනාවරණය වී අවුරුදු කිහිපයක් ගතවෙද්දී අමෙරිකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය අතට ගෙන සිටි කෝටිපති ව්‍යාපාරික රූපක් මර්ඩොක්ගේ තරුණ චීන බිරිය වෙන්ඩිගේ නමත් ලාවට මෙන් පුටින්ට ගැවී තිබිණි. එහෙත් වැඩිපුර ජනප්‍රිය වූයේ ඇලීසා කර්චේවා නැමැති එවකට 23 හැවිරිදි වියෙහි පසුවූ අතිශය රූමත් රුසියානු තරුණියක සමග ඇතිකරගත් පළහිලව්වය. ඇය රුසියාවේ හිටපු රූප රාජිනියකි. 2012 වසරේ පුටින්ගේ 60 වැනි උපන්දිනයට ඇය අපූරු තෑග්ගක් ඔහුට යැව්වාය. ඒ කළුපැහැති සුරතල් පූස් පැටවෙකි.

කාගෙත් අවධානය දිනාගත්තේ තැග්ග නොව ඒ සමග ඇය විසින් යවන ලද කාඩ් පතෙහි සටහන් වී තිබූ කුඩා වැකියයි. ‘පූසි පුටින්ටයි‘ එහි එසේ ලියා තිබිණි. රූමත් තරුණ කෙල්ලෙක් රුසියානු ජනාධිපතිවරයාට උපන්දින තෑගි යැවීම කෙසේවුවත් ඒ වචන දෙකත් සමග කතාව බොහෝ දුර දිග ගියේය. වචන දෙකේ යටි අරුත හැමෝම දන්න පරිදි වෙනම කතාවකි. ඇයට ජනාධිපතිවරයාට කියන්න ඕන කළෙත් ඒ ටිකම බව බැලූ බැල්මට පෙනිණි. මේ සිද්ධිය අන්තිමට නැවතුණේ ඇය මොස්කව් නුවර නවීන පන්නයේ මහල් නිවාසයක අයිතිකාරිය කරමිනි. එය වෙනම කතාවකි.

ඊට අවුරුද්දකට පසුව පුටින් සිය අවුරුදු 30ක දීගයට නැවතීමේ තිත තැබුවේය. ඒ වෙද්දිත් ඔහු ඇලීනා සමග රහස් යුගදිවියක් ගත කරමින් සිටින බවට කතන්දර ගෙතී තිබිණි. එය ඔහුගේ බිරියටත් රහසක් නොවීය. පුටින් ඔහුගේ පෞද්ගලික ජීවිතයට බෙහෙවින් අවධානය යොමු කළ ජනාධිපතිවරයෙකි. සිය පෞද්ගලික කරුණු ප්‍රසිද්ධ වනවාට ඔහු කැමැති නොවීය. ඔහු නිතර නිතර කීවේ තමා අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නා සේම කවුරුත් තම පෞද්ගලිකත්වයට ගරු කළ යුතු බවය.

එබැවින් ඇලීනා අරභයා ඔහුගේ භූමිකාව රහසක් ලෙස රැකීමට ඔහුගේ ආරක්ෂක බළකාය දැඩි පරිශ්‍රමයක් ගත්තේය. කොහොමවුණත් ඒවා අනාවරණය වීම නැවත්වීමට නම් පුටින් අසමත්විය.

පුටින්ට දාව ඇලීනාට දරු ප්‍රසූතියක් සිදුවූ බව මුලින්ම ලොවට අනාවරණය වූයේ 2009දීය. අනතුරුව 2015දී දෙවැනි දරු උපත ගැන කීවේ ස්විට්සර්ලන්තයේ පුවත්පත්ය. ස්ව්ට්සර්ලන්තයේ එක්තරා රෝහලකදී මේ දරු උපත සිදුවූ බවත්, ඒ මොහොතේ පුටින් ද ඇගේ තනියට ළඟ සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

එසේ වුවත් තමා දරු දෙදෙනකුගේ මවක බව ඇලීනා නම් පිළිගන්නේ නැත. තවමත් තනිකඩදැයි මාධ්‍ය අසද්දී නම් ‘වෙලාවට කියන්නම්‘ කියා මඟ හැරියත්, දරුවන් ගැන නම් ඇය කට හොල්ලන්නේවත් නැත. කොහොමවුණත් තරුණියකගේ සහ මවකගේ සිරුරක වෙනස හඳුනා ගැනීම එතරම් අසීරු කාරණාවක් නොවන බව ඇලීනාත් දනී.

පුටින් සිවුවැනි වතාවටත් රුසියාවේ ජනපති වූයේ ඇලීනාගේ ආදරයෙන් මුසපත්වෙමින් සිටින අතරතුරය.

‘ඔහු දිනනවා සත්තයි‘ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න ගිය මොහොතේ ඇලීනා එසේ කීවාය.

1999 මුලින්ම මේ තනතුරට පත්වූ පුටින්ගේ අලුත්ම ධුර කාලය නිමාවෙන්නේ 2024දීය. එ් වනවිට ඔහු අවුරුදු 25ක්ම රුසියාවේ පාලකයා වනු ඇත. ඒ සමගම ජෝශප් ස්ටාලින්ට පසුව වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා බවටත් ඔහු ඉතිහාස ගත වනු ඇත.

පුටින්ගේ පළමු විවාහයෙන් උපන් දියණියන් දෙදෙනා පියාගේ අලුත්ම ආදර කතාව ගැන කිසිවක් නොකියා සිටීමට තරම් පරිස්සම් වී සිටිති. ලොකු දුව මාරියට අවුරුදු 32කි. පොඩ්ඩි යෙකටෙරීනාට දැන් අවුරුදු 31කි.

රුසියාවේ නිල නොලත් පළමු ආර්යාව ලෙස කවුරුත් හඳුන්වන ඇලීනාට දැන් අවුරුදු 34කි. ඒත් කොල්ලට තවමත් හැටපහකි.

 

 

නව අදහස දක්වන්න