දුප්පතුන් වෙනුවෙන් ලුණු කැටයක් වෙන්න | දිනමිණ

දුප්පතුන් වෙනුවෙන් ලුණු කැටයක් වෙන්න

ලෝක ව්‍යාප්ත විවාහ හමු සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ සහ හලාවත දිමුතු පදනමේ අධ්‍යක්ෂ
ජූඩ් නික්ලස් පියතුමා

හලාවත දිමුතු පදනමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජූඩ් නික්ලස් පියතුමා දුප්පතුන්ගේ ජීවිත නඟා සිටුවීමේ සද්කාර්යයට උර දී සිටින පියතුමෙකි. දිළිඳු ගම්මාන කීපයකම දරුවන්ගේ අධ්‍යාපනික, ශාරීරික, මානසික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා උන්වහන්සේ මහත් සේ කැපවීමෙන් යුතුව කටයුතු කරයි. දිළිඳු දරුවන් නඟා සිටුවීම වෙනුවෙන් උන්වහන්සේට මෙන්ම අපටද කළ හැකි කාර්යය පිළිබඳ ජූඩ් නික්ලස් පියතුමා සමඟ කිතුනුමිණ කළ සාකච්ඡාවකි මේ.

* ඔබ වහන්සේ දිළිඳුන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. දිළිඳුන් ගැන නොතකා හරින කාලයක ඔබ වහන්සේගේ මේ සමාජ සේවයට පදනම වැටුණේ කොහොමද?

මට මගේ කුඩා කාලය හොඳ හැටි මතකයි. මගේ පවුලේ එකොළොස් දෙනෙක් හිටියා. තාත්තා විතරයි රැකියාවක් කළේ. වේලක්වත් බඩගින්නේ ඉන්න සිද්ධ නොවුණත් අඩුපාඩු හොඳින් තේරුම්ගන්න අපට පුළුවන් වුණා. ඒ කාලේ හිටපු පියතුමන්ලා අපට ඉගෙන ගන්න හුඟාක් උදව් කළා. ඒ නිසා තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් වුණේ. දෙව්සත්හලට ගියාට පස්සෙත් පියතුමන්ලා අපට අධ්‍යාපනය වගේම ජීවිතයත් දුන්නා. ඒ වගේම මනුෂ්‍යයන් වීමට අවශ්‍ය දැනුම, අවබෝධය හා ජීවිත ශක්තිය නිවෙසිනුත් අපට ලැබුණා. අනෙක් අය අපට උදව් කරද්දී අපිත් ලෝකයට නැවත උදව් කළ යුතුයි කියන හැඟීම පුංචි කාලයේ පටන් අප සිත්වලට කා වැදුණා.

පූජාත්වරය ලැබුණ දා පටන් මම කැමැති වුණේ දිළිඳු මිනිසුන්ට උදව් කරන්නයි. ඒත් සභාව මට වැඩිදුර ඉගැන්නුවා. තවත් බොහෝ වගකීම් ඉටු කරන්න දුන්නා. ලෝක ව්‍යාප්ත විවාහ හමු සංවිධානයේ අධ්‍යක්ෂධුරය දරන්න ලැබීම මේ කටයුත්ත තවත් සාර්ථකව කරගන්න මට ලැබුණ විශාල පිටිවහලක්.

* ‘‘දිමුතු පදනම” බිහිකරන්නේ දිළිඳුන් වෙනුවෙන් කරන සේවය තවදුරටත් ව්‍යාප්ත කරන්නද?

“දිළිඳුකම මුළුමනින්ම තුරන් කරමු” යන අදහසින් තමයි දිමුතු පදනම ආරම්භ කෙරුවේ. දිළිඳුකම මුළුමනින්ම තුරන් කරන්න බැරි බව අපි දන්නවා. ඒත් අප නිතරම කටයුතු කරන්න ඕනේ ඒ පරමාර්ථයෙන්.

* මේ පදනම මඟින් ඉලක්ක කරගන්නා සුවිශේෂී කොටසක් ඉන්නවද?

දුප්පත් පවුල් සංවර්ධනය කිරීම තමයි අපේ ඉලක්කය. එහිදීත් දරුවන් සුවිශේෂයි.

* දිමුතු පදනම දරුවන්ට උදව් කරන්නේ මොන විදියේ පුරවැසියන් බිහිකරන්නද?

කායික, මානසික, චෛතසික මෙන්ම අධ්‍යාපනික වශයෙන් දියුණු දරුවන් සමාජගත කිරීමයි අපේ පරමාර්ථය. එවැනි දරුවන්ට සමබර මිනිසුන් විදියට අනාගතයේදී ජීවිතය දිනන්න පුළුවන්. වර්තමානයේ සමබර මිනිසුන්ගේ හිඟයක් තිබෙන බව අපට පේනවා. සිතට එන ආවේග එලෙසින්ම පිටවෙන්නෙ ජීවිතවල සමබරකම නැති නිසයි. ඒ නිසා අප හැමවිටම උත්සාහ දරන්නේ සමබර මිනිසුන් බිහිකිරීමටයි.

* ඒ වෙනුවෙන් ඔබ වහන්සේ අනුගමනය කරන ක්‍රමවේදයන් මොනවාද?

සමබර පෞරුෂයන් ගොඩ නඟන්නට නම් ඒ ජීවිතවලට බලපාන කාරණා කීපයක් තියෙනවා. පවුල, පාසල, ආගමික ස්ථානය හා පරිසරය කියන කාරණා ගැන මෙහිදී අප විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. දරුවන්ව පෝෂණය කළයුත්තේ පවුලෙන් ඉවත් කරලා නොවෙයි. දරුවකුට සමබර පෞරුෂයක් ගොඩනඟාගන්න පවුලෙන් ලැබෙන පිටිවහල ඉතා වැදගත්. ඒ වගේම තමයි පාසල, ආගමික ස්ථානය හා පරිසරය. මේ සියල්ලෙන් ලැබෙන පන්නරය, දැනුම, සංවේදීකම, හික්මීම යනාදී කරුණු ජීවිතයට ඉතා වැදගත්.

මෙහදී පවුලෙන් දරුවාට ලැබෙන ජීවිත ආදර්ශය ඉතා වැදගත්. පවුලෙන් ලැබෙන දේ තමයි දරුවා ලෝකයට රැගෙන යන්නේ. ඒ වගේම පවුලෙන් ලැබෙන නොවැදගත් දේ ජීවිතවලින් ඉවත් කරලා වැදගත් දේ ජීවිතයට ලබා දීමට තමයි පාසල හා ආගමික ස්ථාන තියෙන්නේ. ඒවායේ ඉන්න අය දරුවන්ගේ ජීවිතවලට ඒ වටිනාකම් ලබා දිය යුතුයි.

ඒ වගේම පරිසරයට ආදරය කරන දරුවා ජීවිතයට බොහෝ සංවේදී වෙනවා. ඔහුට හොඳ දරා ගැනීමේ ශක්තියක් පරිසරය විසින් ලබා දෙනවා. ඒ නිසා දරුවන් පරිසරයට ළං කළ යුතුයි. මේ හැම දෙයකින්ම සමබර දරුවන් බිහි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.

* අපේ රටේ යැපීම් මානසිකත්වය වැඩි බව ඇතැම් අවස්ථාවල පෙනෙන්නට තිබෙන දෙයක්. ඔබ වහන්සේගේ මේ ව්‍යාපෘතිය හරහා ඒ අඩුපාඩුව වළක්වන්න කටයුතු යොදා තිබෙනවාද?

තමනුත් ගොඩ නැඟිලා පවුලත් ගොඩ නඟලා විශ්වයටම යමක් කරන පුරවැසියන් බිහි කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා අධ්‍යාපනය කියන දේ ඉතා වැදගත්. දැනුම, ආකල්ප හා කුසලතාවලින් පූර්ණ මිනිසුන් ලෙස මේ දරුවන් ගොඩ නඟන්නට අපට හැකි සියලුම කටයුතු අපි කරනවා. “මට වගේම මගෙනුත්” කියන සංකල්පය අප දරුවන්ට දෙනවා.

* මොන වගේ ප්‍රදේශවල දරුවන්වද ඔබ වහන්සේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන තියෙන්නේ?

වගකිව යුත්තන්ගේ අවධානයෙන් බොහෝ ඈත් වී සිටින ගැමියන්ගේ දරුවන් වෙත තමයි අපේ වැඩි අවධානය තියෙන්නේ. ආරච්චිකට්ටුවේ නඟුල්එළිය, සීමාවෙලිය වගේ ගම් කීපයකම දරුවන්ට අපි උදව් කරනවා. මේ රටේ සාක්ෂරතාව ඉහළින් තියෙනවා කිව්වට මේ මිනිසුන්ගෙන් සමහරුන්ට ඒ හැකියාවවත් නෑ. ඒ අයට තවමත් දරුවො ඉපදෙන්නේ ගෙවල්වලමයි. සමහරුන්ට උප්පැන්න සහතිකයවත් නෑ. සමහර ගම්මාන මුහුදට සේදිලා යන්න ඉතා ආසන්නයි. අපි ඒ අය වෙනුවෙන් අලුත් ගම්මානයක් ලෑස්ති කරනවා.

* මේ කටයුත්ත කරගෙන යනවිට ඔබ වහන්සේ මුහුණ දෙන අභියෝග මොනවාද?

මේ දරුවන්ට උදව් කරන්න අපට සම්පත් බොහොම හිඟයි. පිටරටවලින් දැන් අපට ආධාර ලැබෙන්නේ නැති තරම්. මොකද ඒ රටවලුත් ආර්ථික දුෂ්කරතාවල ඉන්නේ. විශේෂයෙන්ම යුද්ධවලින් පීඩා විඳින රටවල ජනතාවට ඒ අය උදව් කරනවා. ඉතිං අපට ලැබෙන උපකාර අඩුවෙලා. මේ හේතුව නිසා අපි යම් දුෂ්කරතාවලට පත්වෙන අවස්ථා තියෙනවා.

* දිළිඳුන් වෙනුවෙන් අපේ ආකල්ප සංවර්ධනය කෙසේවිය යුතුයි කියලද ඔබ වහන්සේ හිතන්නේ?

දිළිඳුන් වෙනුවෙන් ලුණු කැටයක් වෙන්න පුළුවන් නම් එය මේ ලෝකයේ දියුණුවට පිටිවහලක් වෙයි. මම කියන තැනින් මිදිලා මම කලින් කිව්වා වාගේ මට වගේම මගෙන් අන් අයටත් මුළු විශ්වයටත් කියන හැඟීමෙන් අප කටයුතු කරනවා නම් මේ ලෝකය මීට වඩා වෙනස් තැනක් කරන්න අපට පුළුවන්. දිමුතු පදනමට තමන්ට ඕනෑම අයුරකින් උදව් කරන්න පුළුවන්. මුදල්වලින් හැකියාවක් නැති අය සිය හැකියාවන්ගෙන් අපට උදව් කරනවා. ඒ හැම උපකාරයක්ම අපට වටිනවා. මොකද අපට අවශ්‍ය මේ දරුවන්ගේ ජීවිත යහපත් අයුරින් ඉහළට ඔසවා තබන්නයි.

ඒ වෙනුවෙන් කුමක් හෝ දෙයකින් උපකාර කරන්න පුළුවන් නම් ඒ උදව්වෙන් අසරණ මිනිස්සු ලෝකයටම සරණ වෙන මිනිසුන් ලෙස ගොඩ නඟන්න අපට පුළුවන් වෙයි. ඇති හැකි අයගේ නොමසුරු දායකත්වය ලැබුණොත් විතරයි අපට නැති බැරි මිනිසුන් ගොඩ නඟන්නට හැකි වෙන්නේ. ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් අයට අපත් එක්ක එකතු වෙන්න කියලා අප ආරාධනා කරනවා.

 

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න