ජී.එස්.පී. වාසිය | දිනමිණ

ජී.එස්.පී. වාසිය

මෙම අප්‍රේල් මස 22 වනදා සිට ශ්‍රී ලංකාවට යළිත් අමෙරිකානු ජී. එස්. පී. සහනය හිමිවනු ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ මේ පිළිබඳ ලියකියවිලි සඳහා සිය අස්සන තැබීමත් සමඟ රටවල් 122ක් ජී. එස්. පී. සහනය ලබාගැනීමට සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් 122 කට අපනයන භාණ්ඩ 4800 ක් සඳහා තීරුබදු සහන ලැබීම නිසා එම භාණ්ඩ අපනයනය මඟින් අමෙරිකානු වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට එම රටවලට අවස්ථාව හිමිවේ.

වෙළෙඳ පොළ

සංවර්ධනය වන රටවලට උදවු උපකාර කරන වෙළෙඳ පනතකට ඇමෙරිකාව සිය අභිමතය පළ කෙළේ 1975 දීය. මේ සඳහා සකස් කළ වැඩපිළිවෙළ ජී. එස්. පී. නමින් ඉදිරියට පැමිණියේ 1976 දීය. වරින්වර විවිධ සංශෝධනවලට මුහුණ දුන් මේ වැඩපිළිවෙළට සංවර්ධනය වන රටවල් ආශිර්වාද කළත් අමෙරිකානු ව්‍යාපාරික ජන කොටස් සහ ඇතැම් ව්‍යවස්ථාදායක ආයතන ඊට අකමැත්ත ප්‍රකාශ කළ අවස්ථා ද වාර්තා විය.

ඇමෙරිකාවට එරෙහිව මොනතරම් කටුක චෝදනා එල්ල වුවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලට ගන්නා දැවැන්ත වෙළෙඳ පොළ සහ ප්‍රධාන අපනයනකරුවා අමෙරිකාවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්ත දෙස බලනවිට අමෙරිකා වෙළෙඳ පොළ ක්‍රමයෙන් උස්මහත්ව වැඩෙන අන්දම පෙනේ. ගතවූ වසර පහ තුළ සංඛ්‍යා ලේඛන මඟින් එය තහවුරු වේ.

2012 වසරේ අමෙරිකානු ඩොලර් දස ලක්ෂ 2126ක භාණ්ඩ අමෙරිකාවට අපනයනය කළ අතර 2013දී ඩොලර් දස ලක්ෂ 2494 දක්වා ද, 2014 දී ඩොලර් දස ලක්ෂ 2810 දක්වාද, 2016 දී ඩොලර් දස ලක්ෂ2731 දක්වා ද, 2015 දී ඩොලර් දස ලක්ෂ 2810 දක්වා ද අපනයනය වැඩිවිය.

2012 දී සමස්ත අපනයනයෙන් සියයට 21.7ක් අමෙරිකාවේ දායකත්වයයි. 2016 අමෙරිකානු අපනයන දායකත්වය සියයට 27.3දක්වා වර්ධනය වී ඇත.

ඇඟලුම් අපනයනයේ දී ද ප්‍රධාන වෙළෙඳපොළක් වූයේද, ප්‍රධාන අපනයන ගමනාන්තය වූයේ ද අමෙරිකාවයි. 2012 සිට 2016 දක්වා එම වෙළෙඳ පොළ පුළුල් විය. 2012 අමෙරිකාවට ඇඟලුම් අපනයෙන් රුපියල් දස ලක්ෂ 192465 ක්ද, 2013 දී රුපියල් දස ලක්ෂ 266660 ක්ද, උපයාගත් ශ්‍රී ලංකාව 2014 දී රුපියල් දස ලක්ෂ 259858 ක්ද, 2015 දී රුපියල් දස ලක්ෂ 286624ක් සහ 2016 දී රුපියල් දස ලක්ෂ 306212 ක්ද උපයාගත්තේය. ඇඟලුම් සඳහා ජී.එස්.පී සහන සීමාසහිතය.

ජිඑස්පී සහන

මෙසේ තිබිය දී අමෙරිකාව සිය ජී. එස්.පී සහනය අවලංගු කෙළේය. එය සිදුවූයේ ශ්‍රී ලංකාවේ වරදකින් නොවේ. අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුවය. පසුගිය වසරේ දෙසැම්බර් 31 සිට අමෙරිකාව ජීඑස්පී සහනය හකුලා ගත්තේ රටවල් 122කට අපනයනයට දී තිබූ බදු සහන ඉවත්කර ගනිමිනි. මෙය එකී රටවලට බලවත් හානි දායක වූ තීරණයකි.

අමෙරිකාව ජී. එස්. පී. සහනය යළි ලබාදීමේ තීරණය ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයන්හි පැසසුමට ලක්ව තිබේ. ශ්‍රී ලංකා නිෂ්පාදන 3000ක් පමණ බදු රහිතව ඇමෙරිකාවට ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව සැලැසී ඇතැයි නැෂනල් චෙම්බර්ස් ඔෆ් එක්ස්පෝර්ටස් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යයට පවසා ඇත. අපනයනය පුළුල් කර ගැනීමට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුව ඇතැයි ද ඔහු කියයි.

අමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු වන ස්ටීවන් රෙනා ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ව්‍යාපාරිකයන් හමුව ශ්‍රී ලංකා ඇමෙරිකා වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ද සහභාගි විය. විදේශ වෙළෙඳ කටයුතු දූෂණ ක්‍රියාවන්ගෙන් තොරව සිදුවන බවත්, ඒ සඳහා අණපනත් බලගන්වා ඇති බවත්, එහිදී පවසා ඇති තානාපතිවරයා නිදහස් සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් එරට තුළ ක්‍රියාත්මක වන නිසා වෙළෙඳාම දියුණුකර ගැනීමට ලෝකයම අමෙරිකාව දෙස බලා සිටිනා බවද කියා ඇත.

අමෙරිකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් කියැවෙන්නේ වෙළෙඳාම සහ ආයෝජනය සංවර්ධනයේ සහ රැකියා උත්පාදනයේ යාන්ත්‍රණයක් බවයි.

2017 වසරේ අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් මිලට ගත් භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9 කැයි (ශ්‍රී ලංකා රුපියල් බිලියන 445)පවසන එම ප්‍රකාශය තවදුරටත් පවසන්නේ විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිත කිරීම ද එමගින් සිදු වූ බවයි.

ජී. එස්. පී. සහනය යටතේ ශ්‍රී ලංකාව ඇතුළු එම වැඩපිළිවෙළේ වාසිය ලබන රටවලට තම තමන්ට වුවමනා අන්දමට භාණ්ඩ අපනයනය කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා උපමාන දක්වා තිබේ.

ජී. එස්. පී. සහනය රටින් රටට වෙනස්වන අවස්ථා තිබේ. එසේම ඒ ඒ භාණ්ඩ මොනවාදැයි අ‍ෙමරිකාව විසින් තීරණය කර ඇත. ජී. එස්. පී. සහන භාණ්ඩ ලේඛනය දෙස බලන කල අමෙරිකාව සිය නිෂ්පාදනවලට හානියක් නොවන පරිදි කටයුතු කරයි. මෙය ශ්‍රී ලංකාවට ද අගනා පාඩමකි. ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනයේදී දේශීය භාණ්ඩ නිෂ්පාදනය ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

සහන භණ්ඩ

අයිස්ක්‍රීම්, රටකජු, පලතුරු ආදි ද්‍රව්‍ය සඳහා අමෙරිකාව දැඩිපිළිවෙතක් අනුගමනය කරයි. මස් නිෂ්පාදන සඳහා ද එසේමය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලද සාකච්ඡාවක දී අමෙරිකා තානාපති කාර්යාලීය නිලධාරියෙක් වරක් කියා සිටි‍යේ භාණ්ඩ 3400ක් ජී.එස්.පී. සහනයට යටත්වන නමුත් ශ්‍රී ලංකාව තවමත් මේ සහන ප්‍රයෝජනයට ගනිමින් අපනයනයට ඉදිරිපත් කර ඇත්තේ භාණ්ඩ 235 පමණක් බවයි.

සාක් කලාපීය රටවල් දෙකකට එක්වී කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කර දෙරටම එක්ව එම නිෂ්පාදනය ඉදිරිපත් කිරීමටත් ජී. එස්. පී. සහනය ලබා ගැනීමටත් නීතියෙන්ම ඉඩ සලසා තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ජී. එස්. පී. සහනය ඍජුවම හිමි නොවේ. සම්භාණ්ඩ සඳහා ද එසේමය. එහෙත් ස්වර්ණාභරණ, බුමුතුරුණු, කලාල, කෘෂිකර්මාන්තමය නිෂ්පාදන සඳහා ආනයන අවස්ථා විවෘතය.

අමෙරිකා ජී. එස්. පී. සහනය ඉලක්ක කර ගත් හඳුන්වා දීම්, සාකච්ඡා ආදී දැනුවත් කිරීම් මාලාවක් ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම මේ දිනවල ඉන්දියාවේ ක්‍රියාත්මක වේ.

බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ලිපියකින් පවසන අන්දමට ස්වර්ණාභරණ සහ රබර් නිෂ්පාදන සඳහා ඉන්දියාව සූදානම් වේ. මෙම භාණ්ඩ දෙක සඳහා ශ්‍රී ලංකාවට ද බදු සහන සැලසේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ රන් මිලඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය පසුගිය කාලයේ සුළු පසුබෑමකට ලක්විය. දැන් එහම හානි වලක්වා ගැනීම සඳහා ඇමෙරිකා ජී. එස්.පී සහනය භාවිතා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැ‍බේ.

රබර් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකාව ඉදිරියට එන ලකුණු පෙන්නුම් කරයි. 2015 රබර් නිෂ්පාදන අපනයනය මඟින් උපයාගත් මුදල එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 761.2කි. 2016 දී එය ඇ. ඩොලර් දස ලක්ෂ 767.9 දක්වා ඉහළ ගියේය. මැණික් හා ස්වර්ණාභරණ, දියමන්ති අපනයනය ඇ. ‍ඩොලර් දස ලක්ෂ 273 දක්වා අඩුවිය. මේ කර්මාන්ත දෙකේම නිෂ්පාදන අමෙරිකා වෙළෙඳ පොළට හඳුන්වා දීමට ජී. එස්. පී. සහනය උපයෝගී කර ගත හැකි වේ.

අපනයන තරගය

අපනයන සටනේ දී බංග්ලාදේශය සහ වියට්නාමය දැන් ශ්‍රී ලංකාව සමඟ යුද වැදී සිටිති. 1985- 2015 කාලපරාස තුළ ශ්‍රී ලංකාව පරදවා එම දෙරට ඉදිරියට පැමිණෙමින් සිටිති. සාක් රටවලට සපයා ඇති රටවල් දෙකක ඒකාබද්ධ අයිතියේ සියයට 35 හිමිකම් වරප්‍රසාදය පිහිට කොටගෙන බංගලි‍දේශයට ජී. එස්. පී. සහනය අපනයන හිණිමඟක් කර ගැනීමට ඉඩකඩ විවෘත වන බවට දැනටම අනාවැකි පළවේ.

අපනයන අංශය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි වෙහෙසක් ගන්නාබව රහසක් නොවේ. බංගලිදේශය, දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාත සලකා බලන විට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉහළට එනබවක් පෙනේ.

දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල අපනයන වර්ධනය පිළිබඳ විශ්ලේෂණය කිරී‍මේදී පෙනීයන්නේ මෙම සියලු රටවල් අනුගමනය කළ අපනයන සංවර්ධන ප්‍රතිපත්ති බොහෝ සෙයින් සමාන බවයි. මෙම රටවල අපනයන ප්‍රවර්ධනය සඳහා අපනයන සහනාධාර, සහනදායි පොළී අනුපාත යටතේ සහනදායී ණය යෝජනා ක්‍රම සහ බදු සහනාධාර වැනි පුළුල් අපනයන සංවර්ධන වැඩ සටහන් හඳුන්වාදී ඇතැයි කියන 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ශ්‍රී ලංකාව විසින් ද අපනයනය පුළුල් කිරීම සඳහා අරඹාඇති විවිධ උපක්‍රම ගැන විස්තර කරයි.

අමෙරිකා ජී. එස්. පී. සහනය පුළුල් කිරීම සඳහා වන යෝජනා ජී. එස්. පී. සහන ලබන රටවල් විසින් අමෙරිකාව වෙත ඉදිරිපත් කළ අතර සංචාරක කර්මාන්තයට අදාළ නිෂ්පාදන සඳහා බදු සහන පැතීම එක් ඉල්ලීමකි. යුරෝපා සංගමය විසින් 2014 ඔක්තෝබර‍යේ ශ්‍රී ලංකාවට පැන වූ මත්ස්‍ය අපනයන තහනම ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට එල්ල වූ දැඩි බාධකයකි. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ නිර්ණායක හා නිර්දේශ සපුරන ලදුව එම සංගමය2016 ජුනි මාසයේ යළි ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනය සඳහා අවසර දෙන ලදී. එමඟින් මත්ස්‍ය අපනයනය සියයට 110 කින් වැඩිකර ගැනීමට හැකියාව ලැබිණි.

*********************************

දැවැන්ත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය 2018 වසරේ ඉහළම දෛනික පිරිවැටුම වාර්තාගත කර ගැනීමට පසුගිය සතියේ බදාදා සමත් විය. වාර්තාගත වූ පිරිවැටුමේ වටිනාකම රුපියල් බිලියන 13.3කි.

මේ දැවැන්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 12.8 ක් දායකත්වය හිමිකරගත්තේ lolc සමාගමයේ කොටස් හුවමාරුවකිනි. මේ නිසා දින 04 ක වෙළෙඳ ගනුදෙනුවල අගය ද ඉහළ ගියේය.

සඳුදා දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4.8 කින් වර්ධනයක් වාර්තා කළාය. අඟහරුවාදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8.7කින් අඩුවිය. එදින පිරිවැටුම රුපියල් දස ලක්ෂ 865කි. බදාදා පිරිවැටුම වාර්තාගතව බිලියන 13 .3 දක්වා ඉහළ ගිය අතර බ්‍රහස්පතින්දා පිරිවැටුම රුපියල් බිලියන 3.5කි. සිකුරාදා නිවාඩු දිනයකි.

පසුගිය සතියේ දෛනික පිරිවැටුමේ සාමාන්‍ය අගය රුපියල් බිලියන 4.8 කි. මීටපෙර සතියේ පිරිවැටුමේ දෛනික සාමාන්‍ය අගය රුපියල් දස ලක්ෂ 728කි. වර්ෂයකට පෙර දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් දස ලක්ෂ 1330කි.

පසුගිය සතියේ ගනුදෙනු අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6476 තුළ ස්ථාපිත විය. බ්‍රහස්පතින්දා එම දර්ශකය ඒකක 36කින් වර්ධනය වූ අතර අවුරුද්දකට පෙර එම දර්ශකයේ අගය ඒකක 6061කි.

සමාගමේ කීපයක් පසුගිය සතියේ ලාභාංශ ප්‍රකාශයට පත් කළේය.

ඒ අතර ත්‍රිඒකර් (TAFL) සමාගමය සිය එක් කොටසකට රුපියල් තුනක ලාභාංශයක් මැයි මස 18 වන දින ගෙවනු ලබයි.ග්‍රේන්එලිවේටර්ස් සමාගමය සිය කොටසකට රුපියල් දෙකක ලාභාංශයක් මැයි මස 18 වන දින ගෙවනු ලබයි.

සණස සංවර්ධන බැංකුව එක් කොටසකට ‍රුපියල් දෙකයි ශත පනහක ලාභාංශයක් ගෙවීම ජුනි 01 වන දින සිදු වේ.

එල්.වී. එල්. එනර්ජි, එස්. එම්. බී. ලීසිං,සමාගම් ද සිය කොටස් හිමියනට ලාභාංශ ගෙවීමට නියමිතය. බොහෝ සමාගම්වල ලාභාංශ ගෙවීමට නියමිතය. ගිණුම් වාර්තා ප්‍රමාද කර ඇති ලැයිස්තුගත සමාගම් කීපයකට පසුගියදා කොටස් වෙළෙඳ පොළ අනතුරු ඇඟවීම් කෙළේය. අප්‍රේල් 02 දා සිට එම සමාගම්වල කොටස් අලෙවිය හා මිලට ගැනීම වාරණයට ලක්කරන බවට කළ අනතුරු ඇඟවීම නිසා සමාගම් කීපයක් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලදී. ලංකා සිමෙන්ති සමාගමය ඉන් එක් සමාගමකි. බ්‍රහස්පතින්දා සිමෙන්ති සමාගමයේ කොටසක මිල ශත 40 කින් ඉහළ ගියේය. රුපියල් 3.40 සිට රුපියල් 3.80 දක්වා මිල ගණන්වලට එදින ලංකා සිමෙන්ති කොටස් 317339 මිලට ගැනීම සිදුවීම එම කොටස් හිමියන්ගේ බිය තුනී කිරීමට හේතු විය.

පෙබරවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉකුත් වසරේ පෙබරවාරියට සාපේක්ෂව සියයට 19.3ක වැඩිවීමක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවට පෙබරවාරියේ සංචාරයට පැමිණි පිරිසෙන් සියයට 42.3ක් චීන ජාතිකයෝ ය. චීන ජාතිකයන් 35929ක්ද ඉන්දියානුවන් 32914ක්ද, එක්සත් රාජධානියෙන් 23817ක්ද සංචාරය සඳහා පැමිණ ඇත.

ජර්මනිය සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ජර්මානු සංචාරක පැමිණීම 17066කි. ප්‍රංශයෙන් 16871කි. මේ අතර රුසියාවෙන් පැමිණි සංඛ්‍යාව 11,403කි. සෙසු රටවලින් පැමිණීම මෙසේය.

එක්සත් ජනපදය 5954, ඔස්ට්‍රේලියාව 5693, ජපානය 5263 සහ යුක්රේනය 5138කි. පෙබරවාරියේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීම 235618කි. එමඟින් උපයන ලද ආදායම රුපියල් බිලියන 67.7කි. 2017 ට සාපේක්ෂව එය සියයට 13.8ක වැඩිවීමකි. පෙබරවාරියේ විදේශ රැකියා ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 89.7කි. 2017 පෙබරවාරි ලැබීම් රුපියල් බිලියන 90.2කි.

මාර්තු 27-28 තේ වෙන්දේසියට තේ කිලෝ 6093523 ක් ඉදිරිපත් විය. මැද පෙරදිග සහ තුර්කිය සක්‍රිය ගැනුම්කරුවන් වූ බව බ්‍රෝකර් වාර්තා කියයි.

තේ වවන රටවල කාලගුණික හේතුන් නිසා එම රටවල නිෂ්පාදනය අඩුවීම මේ දිනවල දක්නට ලැබෙන සිද්ධියකි. එහෙත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වැඩිවීමට තුඩුදෙන කාලගුණික තත්ත්වයක් පවතින බව බ්‍රොකර් වාර්තා කියයි.

කරුණාරත්න අමරතුංග 

නව අදහස දක්වන්න