කැන්දලන්ද-ගොඩයාගම ගම්වාසීන්ට පහසුකම් නැතිව දුෂ්කරතා | දිනමිණ

කැන්දලන්ද-ගොඩයාගම ගම්වාසීන්ට පහසුකම් නැතිව දුෂ්කරතා

ගමට එන්න පාරක් නෑ. හරියට ගෙයක් දොරක් නෑ. බොන්න වතුර ටිකක් නෑ. කුඹුරට හරියට වතුර ටිකක් ගන්න ඇළක් අමුණක් නෑ. ඒත් තුන් හතර පැත්තෙන්ම ඡන්දෙ නම් ඉල්ලගෙන එනවා යැයි මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් කැන්දලන්ද හා ගොඩයාගම ගම්මානවල ජනතාව පවසති.

කැන්දලන්ද හා ගොඩයාගම මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාදවල එකිනෙකට යාබද පිහිටා අැති දුෂ්කර ගම්මාන දෙකකි. මේ ගම්මාන දෙකෙහි පවුල් 80ක් පමණ ජීවත් වෙති.

ඩී. එම්. නිල්මිණි මහත්මිය - අපේ ගම්මාන අද ඊයේ ඉඳල මිනිස්සු ජීවත්වෙන ගම්මාන නෙමෙයි. වසර සිය ගාණක ඉදල තමයි මේ ගම්වල මිනිස්සු ජීවත් වෙන්නේ. හැබැයි ගම කොච්චර පරණ වුණත් තාමත් මේ ගමට එන්න හරියට පාරක්වත් නෑ. අවුරුද්දක් ගාණෙ සල්ලි වෙන්කරල පස් ටිකක් තුනී කරනවා. වැස්සට ඒක හේදිලා ගියාම ආයෙත් හදනවා. හැබැයි මේ සල්ලිවලින් අඩි 50 ගාණෙ හැදුව නම් මේ වන විට පාර ඔක්කෝම හදන්න තිබුණා.

ඩී. එම්. සමරකෝන් මහතා - මේ ගම් දෙකටම තියෙන ලොකුම ගැටලුව පාරක් නැති එක. ප්‍රධාන පාරේ ඉඳල හැතැම්ම තුනක් විතර තියෙන්නේ ගුරු පාර. යන්තම් වැස්ස ගමන් පාර මඩ වෙනව. වතුර බහින්න පාලම් බෝක්කු නෑ. පැති කානු නෑ. මහ වැහි කාලෙට පාසල් දරුවො මඩ නාගෙන තමා යන්න ඕනි. අඩුම තරමේ පයින්වත් යන්න පුළුවන් විදිහට මේ පාර හදල දෙනවනම් ඒක ලොකු පිනක් කියල තමා කියන්න තියෙන්නේ .

ඩී. එම්. නිමල් මහතා - ගමේ කාටවත් ස්ථීර ආදායම් මාර්ග නෑ. කුලී වැඩ ගොවිතැන් වගේ දේවල් තමා කරන්නේ. ගොවිතැන් කරන්නත් ඉඩම් නෑ. කුඹුරු අක්කර 10-15ක් තියෙනව. ඒවටත් වතුර ගන්න හරියට ඇළක් අමුණක් නෑ.

ඒ නිසා මේ කුඹුරු වැඩ කරනව නම් වැස්සක් එන්නම ඕනි. හැබැයි මේ ඇළ අමුණු ටික හරියට හදල දුන්නම මේ ගමේ කුඹුරු ටිකවත් හදාගෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්.

ඩී. එම්. ජයන්ත මහතා -

ගමේ හුඟ දෙනකුට හරියට ගෙයක් දොරක් නෑ. ගේ හදා ගත්තත් ජනෙල් දොරවල් ටික දාගන්න විදියක් නැහැ. හරියට වැසිකිළියක් , බොන්න වතුර ටිකක් නැති විශාල පිරිසක් මේ ගම්වල ඉන්නව. ගමට ජල ව්‍යාපෘතියක් හදල දීල ගමට එන්න තියෙන මේ පාර ටික හරි හදල දෙනව නම් ලොකු පිනක්.

මීගහකිවුල සමූහ එන්. නවරත්න

නව අදහස දක්වන්න