ඩෙංගු තුරන් කිරීම කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කිරීමට හැකි වීම රජයේ ජයග්‍රහණයක් | දිනමිණ

ඩෙංගු තුරන් කිරීම කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කිරීමට හැකි වීම රජයේ ජයග්‍රහණයක්

සන්ධ්‍යා කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂය ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් වන ඩෙංගු රෝගය තුරන් කිරීම කොළඹ මහ නගර සභාවෙන් සාර්ථක ලෙස අද ආරම්භ කිරීමට හැකි වීම රජය ලැබූ ජයග්‍රහණයක් බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ මහ නගර සභාවෙන් ඩෙංගු රෝගය තුරන් කර පිරිසිදු නගර සභාවක් බවට පත් කිරීම තමාගේ අරමුණ බවත් එජාපයේ මැතිවරණ පොරොන්දුව ක්‍රියාවට නංවමින් ජනතා හිතෛෂි නගරයක් බිහි කිරීමට තමා අපේක්ෂා කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය ඊයේ (03) ආරම්භ වූ අතර එය 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. එහි සමාරම්භක උළෙල කොළඹ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (03) පැවැසුවාය. ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය, කොළඹ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

රෝසි සේනානායක මහත්මිය මෙසේද පැවැසුවාය. දකුණු ආසියාවේ දැවැන්තම හා පැරණිම නගර සභාව තුළින් ඩෙංගු මදුරු මර්දන සමාරම්භක උළෙල ක්‍රියාවට නැංවීමට හැකි වීම සතුටට කරුණක්. නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානමක් පවතියි. රෝගය වැඩි විය හැකි අවදානම් කලාප හඳුනාගෙන එම ප්‍රදේශ පිළිබඳව වැඩිපුර අවධානය යොමු කර පිරිසිදු කටයුතු සිදු කිරීම්, ජනතාව තව තවත් දැනුවත් කිරීම් සිදු කළ යුතුයි. ඊළඟට පැමිණෙන නිරිත දිග මෝසම් වර්ෂාවේදි දැනට වාර්තා වන ඩෙංගු රෝගීන්ට වඩා බොහෝ සංඛ්‍යාවක් අඩුවෙන් පිරිස වාර්තා කර ගැනීම ඉලක්කයයි. කොළඹ පමණක් නොව දීප ව්‍යාප්තව ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කළ යුතුයි. යහපත් මානසිකත්වයකින් යුතුව ඩෙංගු රෝගය මර්දනයට අපි කටයුතු කළ යුතුයි. ආයතනවලට පමණක් මේ ක්‍රියාව බාර නොදී ප්‍රජාවේ සියලුදෙනාම සහභාගි වෙලා මදුරු මර්දනය සිදු කළ යුතුයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

ඩෙංගු රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ දැඩි උනන්දුවක් තිබෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල සහයෝගයක්. පසුගිය වසරේදි ඩෙංගු වසංගතයක් වාර්තා වුණා. නැවතත් එවැනි තත්ත්වයක් වාර්තා වීමට අප ඉඩ නොතැබිය යුතුයි. පසුගිය වසරේදි සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් පාඩම් ඉගෙන ගෙන මෙවර මර්දන කටයුතු සාර්ථක කර ගත යුතුයි. අපේ රටට වඩා සිංගප්පූරුව දියුණු රටක්. දියුණු වුවත් සිංගප්පූරුවේත් ඩෙංගු රෝගය පවතිනවා. එම නිසා විචක්ෂණශීලිව අඛණ්ඩව මදුරු මර්දන කටයුතු සිදු කිරීමට අපි උනන්දු විය යුතුයි. වසර පුරා මෝසම් වැසි දෙකකට පමණක් සීමා වී පසුගිය කාලයේදි ඩෙංගු රෝගය පැතිර ගියත් මේ වන විට එය වසර පුරාම පැතිර යන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. පරිසරයේ හා කාලගුණයේ වෙනස එයට බලපා තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට මාසිකව ඩෙංගු රෝගය වැඩි ප්‍රදේශ දිස්ත්‍රික් වශයෙන් තෝරාගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විශේෂ අවධානයක් යොමු කරමින් ඩෙංගු සහායකයන් විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීමට කටයුතු කළා. රටට ව්‍යසනයක් වන ඩෙංගු උවදුර තුරන් කර සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට අපි හැකි උපරිමයෙන් කටයුතු කරනවා.

මේ අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල්, හිටපු නගරාධිපති ටයිටස් පෙරේරා, නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සරත් අමුණුගම, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි, ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහත්වරු ද, නාගරික මන්ත්‍රීවරු ද ඇතුළු නිලධාරීහු විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න