භංගය ඉවරයි ! | දිනමිණ

භංගය ඉවරයි !

 තවත් දේශපාලන කුණාටුවක් පහව ගියේ ය. එයින් පෙනී යන්නේ රටේ ජනතාව තවදුරටත් වාසනාවන්ත බව ය. වත්මන් ආණ්ඩුවට හා ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන්ට විශ්වාසභංග යෝජනා නවයක් පමණ ඉදිරිපත් වූ බව අපට මතකය. ඒ එකක්වත් ජයග්‍රහණය කිරීමට පසමිතුරු දේශපාලන ක්‍රියාදාමයට හැකි වූයේ නැත. දහවන විශ්වාසභංග යෝජනාව ද ඉහත කී ඉරණමට යටත් විය. මේ විශ්වාසභංග යෝජනාව විශේෂ වන්නේ එය අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ එකක් වීම නිසා ය. අගමැතිවරයා යනු ආණ්ඩුව යැයි කියන්නට ද පුළුවන. ඒ අනුව බලන විට අගමැතිවරයා ද ආණ්ඩුව ද ආරක්ෂා වී තිබේ.

විශ්වාසභංගය පිළිබඳ විවිධ මතවාද හා විවිධ විවේචන පසුගිය කාලය පුරාවට පැවැතිණි. ඇතැම් විවේචන එල්ල වූයේ අගමැතිවරයා කේන්ද්‍ර කරගෙනය. ඔහු අසමත් තැනැත්තකු හැටියට ද, ඇතැම් විට මහ බැංකු සිද්ධියේ චුදිතයකු හැටියට ද ලේබල් කරන්නට සමහරු ප්‍රයත්න දැරූහ. විශ්වාසභංගය සඳහා ඉදිරිපත් කරන ලද මූලික චෝදනා අතරින් වැඩි හරියක අඩංගු වූයේ මහ බැංකු සිද්ධියට අදාළ දේවල් ය. එය ජනප්‍රිය මාතෘකාවකි. එම මාතෘකාව ඔස්සේ අගමැතිවරයාට එරෙහිව චෝදනා නැඟීමේ සරල ඉඩ ප්‍රස්ථා ඕනෑ තරම් තිබිණි. අපට හැ‍ඟෙන පරිදි පසමිතුරු දේශපාලන ව්‍යාපාරවලට මෙය ඉතා හොඳ ඇමක් විය.

රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම යන සංකල්පය තුළ ද, අගමැතිවරයා ගෙදර යැවීම යන මතවාදය තුළ ද බරපතළ දේශපාලන තත්ත්වයක් පවතී. වික්‍රමසිංහ මහතා ගෙදර යැවීම යනු ගොඩනඟන ලද යහපාලනය නැවත කඩා දැමීමකි. අගමැතිවරයා ගෙදර යැවීම යනු ලෝක ආර්ථිකය තුළ අප ගොඩනඟාගත් ගනුදෙනු අහෝසි කර ගැනීමකි. රනිල් වික්‍රමසිංහ යන චරිතයට හා එම චරිතයේ පෞරුෂයට ලෝකය තුළ ඇති වටිනාකම හා පිළිගැනීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී නැත. විශේෂයෙන් සාමාන්‍ය ජනතාව ඒ ගැන කිසිදු තක්සේරුවක් නැති බව අපට පෙනෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිය තනතුරෙන් නෙරපා හැරීම යනු ලෝක අවධානයෙන් හා ලෝක ගනුදෙනුවලින් ශ්‍රී ලංකාව ආපස්සට යෑමකි.

එක්සත් ජාතික පක්ෂය තුළ පවත්නා ගැටලුකාරී තත්ත්වයක් ද මීට අදාළ ය. මේ පක්ෂය තුළ එදත් ගැටුම් පැවැතියේ ය. අදත් ගැටුම් පවතින්නේය. වික්‍රමසිංහ මහතා හැමවිටම ක්‍රියාත්මක වී ඇත්තේ ඉහත කී ගැටුම් නිරාකරණය කරන තැනක සිටය. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ විපක්ෂනායක තනතුර දරා තිබේ. ඡන්ද පරාද වී තිබේ. ඡන්ද ජයග්‍රහණය කර තිබේ. වික්‍රමසිංහ මහතා ඒවා සාමාන්‍ය දේවල් ලෙස සලකයි. ඔහුට රටේ ආර්ථිකය ගැන ද මානව සම්පත ගැන ද ගැඹුරු හැදෑරීමක් මෙන් ම වැඩසටහනක් ද තිබේ. මෙවර ඔහු එය ක්‍රියාත්මක කරමින් සිටියේ ය. විශ්වාසභංගයක් එන්නේ ඒ අතර ය.

මේ විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර ගියේ නම්; එයි සම්පූර්ණ පාඩුව හා අලාභය ජනතාව දරාගත යුතුව තිබිණි. ඔහු රටේ ආර්ථිකය නියම පීල්ලට ගන්නට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළේය. අද වන විට ලෝක ආර්ථිකය සමඟ සබඳතා නැති කිසිදු රාජ්‍යයකට ආර්ථික සංවර්ධනය අතින් ඉදිරියට යෑමේ හැකියාවක් නැත. රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය වටහාගත්තේ බොහෝ කලකට පෙර සිටය. ඒ අනුව ඔහු ක්‍රියා කළේය. එහි ප්‍රතිඵල ලෙස අහිමි වූ ලෝක ආර්ථික ගනුදෙනු අපට ලැබිණි. ලෝක ප්‍රජාවගේ හොඳ හිත හා ආශීර්වාදය ද අපට ලැබිණි. මේ වනාහී දීර්ඝ කාලයකට පසු අප ලබාගත් ආර්ථික ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකිය.

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් නෙරපා හැරීම යනු ආණ්ඩුවට හා ජනතාවට අවශ්‍ය බොහෝ දේවල් අහෝසි වී යෑමක් බව ඇතැම්හු නොදනිති. රනිල් යනු ‍රටේ ලකුණකි. අභිමානවත් සාධකයකි. රටේ පවත්නා ස්වේච්ඡා සංවිධාන මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන ද මේ සත්‍යය වටහාගෙන සිටියෝ ය. ජනවාරි විප්ලවයෙන් අප ලබාගත් මානුෂීය ජයග්‍රහණ වික්‍රමසිංහ මහතාගේ නෙරපීමත් සමඟ හොඳටම නැඟී සිටින්නට පුළුවන. යථාර්ථය එය ම වන්නේය.

එක්සත් ජාතික පක්ෂය තුළ ගැටුම් තිබෙන්නට පුළුවන. එම පක්ෂය ප්‍රතිසංවිධාන ගත කළ යුතු යැයි කියන්නට ද පුළුවන. අතීතය ගතහොත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාට පක්ෂය තුළ ගැටුම් තිබිණි. සර් ජෝන් කොතලාවලට ගැටුම් තිබිණි. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා තවත් අයට ද ගැටුම් තිබිණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සිය කාලය තුළ ඒවා ක්‍රමානුකූල ලෙස හසුරවමින් රටේ අනාගත පරපුර ගැන වැඩි වශයෙන් කල්පනා කළ බවක් පෙනෙයි. ඊට අදාළ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට සිංගප්පූරුව පරදවා ආර්ථික වශයෙන් ජයග්‍රහණයක් ලැබිය හැකි බව අපට පෙනී යයි.

විශ්වාසභංග ක්‍රියාවලියේදී එකිනෙක පක්ෂ ක්‍රියාකළ අන්දම දෙස බලන විට හාස්‍යයක් මතු වී එයි. ඒකාබද්ධ විපක්ෂයේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා නිත්‍ය ලෙස ම පරාජය වන බවය. තව මතයකින් කියැවුණේ පක්ෂයේ දේශපාලන බල ව්‍යුහය මුළුමනින්ම වෙනස් කළ යුතු බවය. තවත් මතයකින් කියැවුණේ නායකත්වය වෙනත් සුදුසු කෙනෙකුට භාර දී වික්‍රමසිංහ මහතා නිහඬව සිටිය යුතු බව ය. එහෙත් මේ කිසිවක් සිදුවූයේ නැත. සිදුවන්නට ඉඩක් ලබා දුන්නේ ද නැත. රටේ දේශපාලනය තුළ පවත්නා පසුබිම ද ඉහත සිද්ධියෙන් වටහාගත හැකිය.

අන්තිමේ වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය. එක්සත් ජාතික පක්ෂය ද ජයග්‍රහණය කළේ ය. ඒ සමඟ රටේ පොදු ජනතාව ද ජයග්‍රහණය කළේ යැයි කිව හැකිය. අපට මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැත. වික්‍රමසිංහ මහතා මේවා හොඳින් වටහාගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත්ය. අපගේ අවසන් ඉල්ලීම ද එය ම වන්නේය. විශ්වාසභංගය පරාද වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා දිගටම වැඩ කරයි. එසේ නැතිව රටක් ගොඩනැඟීම අපහසු ය. 

 

නව අදහස දක්වන්න