එන්ජින් සමඟ පොරබදන යුවතිය | දිනමිණ

එන්ජින් සමඟ පොරබදන යුවතිය

 අද කාලේ කාන්තාවන් වෙර දරන්නේ ඉගෙන ගෙන හොඳ රැකියාවක් කිරීමටය. උසස් අධ්‍යාපනය ලබාගත නොහැකි වූ තරුණියන් රූපලාවන්‍යය වැනි වෘත්තීන් සඳහා යොමුවේ. නමුත් එයට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් සිතා ජීවිතය ජය ගැනීමට පමණක් නොව බොහොමයක් පිරිමින්ටද ආදර්ශයක් සපයමින් රැකියාව සඳහා මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තය තෝරාගත් කාන්තාවක් හම්බන්තොට දී අපට හමුවෙයි.

බෙලිඅත්ත අගුල්මඩුව විදුහලෙන් අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවායින් පසුව රැකියාවක් සොයමින් කල්ගත කරනු වෙනුවට ඇය තෝරා ගත්තේ රළු යකඩ ගොඩවල් සමඟ පොර බදිමින් තම ජීවිතය ජය ගන්නට අපූරු රැකියාවකි. ඒ මෝටර් රථ යාන්ත්‍රික කර්මාන්තයයි. දැනට 39වැනි වියේ පසුවන ඇය සමන්ති රත්නසිංහය.

පියාගේ වියෝවෙන් පසුව තම මවත් අසනීප තත්වයකින් පසුවන සහෝදරයාත් ජිවත් කරවමින් ඔවුන් රැක බලා ගැනීමට පවුලේ වගකීම් පැවරී ඇත්තේ සමන්තිටය. පවුලේ ශක්තිය වී ඇත්තේද ඇයයි. ඇය ඒ සඳහා කැපවී සිටින්නේද තම විවාහවීමේ ආශාවද අත්හැර දමමිනි. නමුත් මවගෙන් ඇයට නිබඳ සහයෝගයක් ලැබෙන බව සමන්ති පවසයි.

පෑස්සුම්වලින් පුපුරා යන ගිනි පුපුරු සමන්තිට දැන් පුරුදුය. පියාගෙන් ලද ආභාසයත් පළපුරුද්දත් වගේම ඒ සඳහා ඇය සතුව තිබූ උනන්දුව රැකියාවේ දියුණුවට හේතු වී ඇත.

තමන්ගේ රැකියාව ගැන අදහස් දැක්වූ සමන්ති රත්නසිංහ - "මට අවුරුදු 18 දී විතර මම අපේ ගම කිට්ටුව තිබුණ නෑදෑ කෙනකුගේ ගරාජයට ගිහිල්ලා ඒ වැඩකටයුතු වලට උදව් වෙලා මේ ශිල්පය පිළිබඳ හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම තාත්තත් කළේ මේ රස්සාවම හින්දා මට ඉගෙන ගන්න ලේසි වුණා. කාලයක් කොළඹත් වැඩ කළා. ඉන්පස්සෙ කාලයක් ගතවෙලා යද්දි දැන් මගේම කියලා ගරාජයක් ආරම්භ කරන්න මට පුළුවන් වුණා. දැන් මේ වෙනකොට විදුලි බලයෙන් හෝ ඔක්සිජන් මගින් කෙරෙන ඕනෑම පෑස්සුම් වැඩකටයුත්තක් කරන්න මට හැකියාව තිබෙනවා. යකඩ, වානේ, ඇළුමිනියම්, පිත්තල, පිටුටර් ආදී ඕනෑම ලෝහයක් පාස්සන්න මට පුළුවන්. ඒ වගේම ටින්කර් වැඩ, පේන්ට් වැඩ, මෝටර් මැකනික් වැඩ ආදී ඒ සියලු දේත් මට කරන්න පුළුවන්. කාන්තාවන් පිළිවෙළට වැඩ කරන නිසා මට ගොඩක් වැඩ එනවා

''මගේ මේ ගරාජයට ගෙනෙන ඕනෑම පැරැණි හෝ නවීන පන්නයේ මෝටර් වාහනයක ඕනෑම ගැටලුවක්, දුර්වලතාවක් හඳුනාගෙන ඊට පිළියම් යොදන්න මට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි, ඇණ මුරිච්චිවල ඉඳලා එන්ජිමක් ඇතුළෙ තියෙන ඕනෑම දෙයක් ගලවලා නැවත තිබූ තත්ත්වයට හරිගස්සලා දෙන්න මට පුළුවන්. මම දැන් මේ ගරාජය පවත්වාගෙන යන්නේ හම්බන්තොට පැරැණි තිස්ස පාරේ උසාවිය අසල ස්ථානයකයි. දැන් ඉන්න සමහර තරුණියෝ හිතනවා මේ වගේ වැඩ කාන්තා අපට කරන්න බැහැ කියලා. ඒත් අපේ හිත හොඳට ශක්තිමත් නම් අධිෂ්ඨානයත්, උත්සාහයත්, කැපවීමත් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ."

කාන්තාවක් විදියට තමන් මේ කර්මාන්තය කරන විට කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවයි සමන්තිත් ඇගේ මව වන එච්.එම්. ගුණවතී මහත්මියත් පවසන්නේ.

හොඳට හැඳ පැලඳගෙන සිටීමට හැකි රැකියාවන් සොයමින් කාලය ගත කරන අද කාලයේ කාන්තාවන්ට සමන්ති වැනි කතුන් මහත් ආදර්ශයකි.

සටහන සහ ඡායාරූප
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට සමූහ 

නව අදහස දක්වන්න