විශ්වාසභංගයට පක්ෂ අයට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ | දිනමිණ

විශ්වාසභංගයට පක්ෂ අයට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ

රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

කුමන්ත්‍රණය එජාපයට පමණක් නොව ජනපතිටත් විරුද්ධවයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් එළඹෙන 7 සහ 8 දිනයන්හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තම පක්ෂය තීරණය කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙන්ම සියලු මන්ත්‍රී කණ්ඩායම දැනුවත්කර තිබෙන අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ලිපි යොමුකර තිබෙන බව ද පෙන්වා දුන් ඒ මහතා පක්ෂයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් නායකවරයා විසින් බාර දී තිබෙන බව ද පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ දැවැන්තම තනි පක්ෂය වෙනවා. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම සඳහා අපේ පක්ෂය තුළ ප්‍රතිසන්ධානයක් සිදුවිය යුතු බවට බොහෝ දෙනකු පසුගිය කාලයේ සඳහන් කළා. මමත් ඒ තුළ සිටියා. මේ ප්‍රතිසංස්කරණ යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ හරහා ඇතැමුන් අපේ පක්ෂය විනාශ කොට පාක්ෂිකයන් අනාථ කර තමන්ගේ බලය තහවුරු කර ගන්නට හැකි යැයි සිතනවා. මේ පසුබිම තුළ සිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ අවස්ථාවේ අගමැතිවරයා පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයන් වෙනත් කඳවුරකට පාවා දෙන්න එක්සත් ජාතික පක්ෂයේ අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. මේ විශ්වාසභංගය පරාජය කොට අපේ පක්ෂය තුළ මෙතෙක් සිදුනොවූ දැවැන්තම වෙනස්කම සිදුකර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවනවා.

විශ්වාසභංගය පරාජයට පත්කළ පසුව නව ජවයකින් පක්ෂයක් ලෙස අපි නැඟිටිනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරනවා. ගමේ සිටින පාක්ෂිකයන්ට නව බලාපොරොත්තුවක් දෙන්න සූදානම්. ඇත්තටම අද වනවිට අපේ පක්ෂය තුළ ඇතැමුන් කියන පරිදි ගැටලු සහගත නැහැ. ආණ්ඩුවේම සිටින ඇතැම් මන්ත්‍රීවරු 11.30 වනවිට අගමැතිවරයාට ඉවත්වන්න කියා තිබෙනවා. කිසිදා අපි සමඟ හදවතින් නොසිටි සැමදා ගේම් ගැසූ අය කියන කතා අහන්න අපි සූදානම් නැහැ. ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් නැහැ කියා මේ විශ්වාසභංගයෙන් කියා තිබෙනවා. අපි සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ ඒ නිසා අපිව ගෙදර යවන්න කියා අපි කියන්නේ නැහැ. ආණ්ඩුවෙන් එළියේ සිටින අයට මේ විශ්වාසභංගය ගේන්න සම්පූර්ණ හැකියාව තිබෙනවා. අපි හිටියා නම් අපිත් ගේනවා. විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව ගන්නයි. නමුත් ආණ්ඩුවේ සිටින අපි අපි ගැනම විශ්වාසයක් නැහැයි කියන්නේ නැහැ.

ආණ්ඩුව තුළ සිටින අයට ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිනම් ඒ අයට ගෙදර යන්න කියනවා. ඒ අයට 11.30 වනවිට ගෙදර යන්න කියනවා. එවැනි අයට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නැහැ. ගෙදර යන්න කියනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් අපේ පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. ඒ අනුව මේ මස 7 හා 8 දිනයන්වල ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ට අමතරව සියලුම මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගි වෙනවා. මේක අපේ වැඩක්. ඒ නිසා එය අපිට සැලසුම් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් පැය 48ක් තිබෙනවා. අපේ පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පැය 48ක් හොඳටම ප්‍රමාණවත් වෙනවා.

අපි අපේ දේශපාලන සතුරන් විසින් ගෙන එන විශ්වාසභංගය පරාජයට පත්කොට 7 හා 8 දිනයන්වල අපේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඉරිදා රාත්‍රිය වනවිට පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව කියන්න පුළුවන්. ඒ අනුව පක්ෂයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් අපේ පක්ෂයේ නායකවරයා අපිට බාර දී තිබෙනවා. මේ කටයුතු දෙකට බෙදා ගන්නට අපිට ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංගයට ආණ්ඩුවේ කෑල්ලක් වගකියන්න බැහැ. මෙය අපි පරාජයට පත්කරනවා. අපි ජයග්‍රහණය කළ පසුව පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කොට 9 දා රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. පක්ෂයේ සියලු තනතුරු අප්‍රේල් මස 30 දායින් අවසන් වෙනවා. මැයි මස පළමුවැනිදා වනවිට පක්ෂයේ තනතුරු අලුත් වෙනවා. අපේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න සියලු දෙනාම සූදානමින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂය යනු එක් පවුලක පක්ෂයක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති පක්ෂයක් වෙනවා. එළියේ සිටින සතුරන්ට අවශ්‍ය විදියට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ නැහැ. ගමේ පාක්ෂිකයන්ට අනුව පක්ෂයේ කටයුතු සිදුවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා- අද වනවිට අපේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු දෙනාගේම අවධානය යොමුව තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංගය පරාජයට පත්වෙනවා. අගමැතිවරයාගේ විශ්වාසය පැහැදිලි ලෙසම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ අනෙකුත් නීතිරීතිවලට අනුව බාරගන්න අවස්ථාව ලැබී තිබෙනවා. සියලු පක්ෂ එක්ව මේ රට හොඳ විදියට පාලනය කිරීම වෙනුවෙන් මේ ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ නිසා ජනාධිපතිවරයාගේ ඡන්දයෙන් පැරැදුණු අයටත් පාර්ලිමේන්තුවේ පිනට වාඩිවෙන්න අපි අවස්ථාව දුන්නා. පිනට පත් වූ ඇතැමුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඩීල් දාගෙන ඉන්න අයයි. ඒ අය හැමදාම කළේ මේ අවුරුදු තුනේ ආණ්ඩුවට යන්න නොදී කකුලෙන් ඇදපු එකයි. මේ ආණ්ඩුව හැදුවේ අපි. නමුත් ඇතැමුන් මෙහි ඇමැතිවරුන් බවට පත්වුණා.

මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට කළ දේ සම්බන්ධයෙන් ඒ අය අපි සමඟ පැවැසුවා. මේ කුමන්ත්‍රණය සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් විරුද්ධවයි. මේ විශ්වාසභංගයේ ඊළඟ යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමයි. ඒකටයි ඔවුන් සූදානම් වෙන්නේ. ඒ නිසා මෙය කරන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකාව තුළ පැහැදිලි හොඳ දේශපාලන වාතාවරණයක් සකස් විය යුතු වෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු තිබෙනවා. අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට මේ වනවිට තීන්දු තීරණ අරගෙන තිබෙනවා. අපිට වැරැදුණු තැන් තිබෙනවා.

ඒවා නිවැරැදි කරනවා. ඉදිරි අනාගතය වෙනුවෙන් දිගුකාලීන වැඩසටහන් සඳහා පියවර තබන විට කෙටිකාලීන වැඩසටහන් අතපසු වෙන්න ඇති. ඒ නිසා මේ සියලු වැඩසටහන් කරන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු අලුත් වී පූර්ණ ප්‍රතිසංවිධානයක් හරහා ඊළඟ මැතිවරණ සියල්ල ජයග්‍රහණය කරවීම වෙනුවෙන් පියවර ගන්නවා. අපිට ආණ්ඩුවක් කරන්න ශක්තිය තිබෙනවා යැයි පැවැසීය.

මහින්ද අලුත්ගෙදර සහ චන්දිමා කරුණාරත්න


නව අදහස දක්වන්න

Or log in with...