විරුද්ධව 122ක් - පක්ෂව 76ක් - මන්ත්‍රීවරුන් 26ක් නැහැ | දිනමිණ

විරුද්ධව 122ක් - පක්ෂව 76ක් - මන්ත්‍රීවරුන් 26ක් නැහැ

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, චමීර ඇල්ල‍දෙණිය, සුභාෂිණි සේනානායක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ (04) පරාජය කිරිමට ආණ්ඩුව සමත් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට‍ විශ්වාසය පළ කරමින් යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විෂය අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව පුස්සක් බවට පත් විය.

විශ්වාස භංග යෝජනාව සඳහා ඡන්ද විමසිම සිදු කරන ලෙස සභානායක , අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා සිටි අතර නමින් ඡන්ද විමසීම සිදු කරන බව කතා‍නායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් සහ පි.දිගම්බරන් මහත්වරුන් නි‍යෝජනය කරන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, මෙන්ම ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද ඡන්දය ප්‍රකාශ කළහ.

ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවට පක්ෂව ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරු 16 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර මන්ත්‍රිවරු 26 ක් සභාවෙහි නොසිටියහ.

විශ්වාසභංගයට අත්සන් කළ නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තානා මන්ත්‍රිවරු ජන්දය ලබා ගන්නා අවස්ථාවේදී සභා ගැබේ නොසිටිම විශේෂත්වයක් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස භංග යෝජනාවට අත්සන් කර නොතිබූණද ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේදි සභාගැබේ සිටිමින් යෝජනාවට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය.

විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ පටන් අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දෙන්නේ යැයි ප්‍රසිද්ධ වූ පාලිත රජගේ බණ්ඩාර ,වසන්ත සේනානායක මැති ඇමතිවරුන් අගමැතිවරයාට විශ්වාසය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළහ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරන අතුරලියේ රතන හිමි ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ සභාවෙහි නොසිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාද විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ,එස් බී දිසානායක, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනවිරත්න, ඩිලාන් ‍ පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා,සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, තාරානාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ , අනුරාධ ජයරත්න, සුමේධා ජී ජයසේන , නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සිය ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම , විජිත් විජිතමුණි සොයිසා ,මහින්ද සමරසිංහ , රන්ජිත් සියඹලාපිටිය, ෆයිසර් මුස්තාපා, පියසේන ගමගේ, මොහාන් ලාල් ග්‍රේරෝ, ශ්‍රියාණි විජේවික්‍රම, ලක්ෂ්මන් සෙනවිරත්න, ඒ එච් එම් ෆවුසි, ලසන්ත අලගියවන්න, ටි.බී.ඒකනායක, හිස්බුල්ලා,සාරති දුෂ්මන්ත, වීර කුමාර දිසානායක ,මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, කාදර් මස්තාන් මහත්වරු ජන්දය ලබා ගන්නා අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. 

නව අදහස දක්වන්න