අගමැති මහත්මා ගති ඇති පරම්පරාවක ශ්‍රේෂ්ඨයෙක් | දිනමිණ

අගමැති මහත්මා ගති ඇති පරම්පරාවක ශ්‍රේෂ්ඨයෙක්

මහින්ද අලුත්ගෙදර

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත්මා ගති ඇති පරම්පරාවක ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බව කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර නාහියෝ පවසති.

අපල උපද්‍රවවලින් තොරව රට සුරැකීමේ මහඟු කාර්යය හොඳින් කරගෙන යාම සඳහා ඒ මහතාට ආශිර්වාද කරන බව ද උන් වහන්සේ පැවසූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීම සඳහා අගමැතිවරයා ඊයේ (4) රාත්‍රියේ කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ආශිර්වාද පිරිත් සජ්ඣායන සිදුකරමින් උන් වහන්සේ මේ බව පැවසූහ.

ඊයේ (4) රාත්‍රී 10.30 ට පමණ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බුදුන් වහන්සේ උදෙසා මල් පූජාකිරීමෙන් අනතුරුව බෝධීන් වහන්සේ අභියස දී ගිලන්පස පූජා කළේය. එයින් අනතුරුව අගමැතිවරයාට ආශිර්වාද කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනය කළහ.

කොළඹ හුනුපිටිය ගංගාරාමවාසී ආචාර්ය කිරින්ඳේ අස්සජි හිමි, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් ද අගමැති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ හා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න