පදනම් විරහිත විශ්වාසභංගය පුස්සක් | දිනමිණ

පදනම් විරහිත විශ්වාසභංගය පුස්සක්

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමිර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානායක

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ කෝප් කමිටුව විසින් අගමැතිවරයා වරදකරුවකු කර නොමැති බවත් පදනම් විරහිතව ගෙන එන මෙම විශ්වාසභංග යෝජනාව පුස්සක් බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) පැවැසීය.

දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ සෑම අවස්ථාවකදීම කෝප් කමිටු සභාපතීත්වය විපක්ෂයට ලබාදීමට කටයුතු කළ බවත් පැවැසීය. බලයට පත්වූ සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ අතර කෝප් කමිටු සභාපතීත්වය විපක්ෂයට ලබාදීම ද එවැනි ආදර්ශයක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මඟින් හෝ කෝප් කමිටුවෙන් අගමැතිවරයා‍ට එරෙහිව කිසිඳු චෝදනාවක් එල්ල කර නොමැති අවස්ථාවක මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අදාළ කොමිසන් සභාව වෙත සාක්කි ලබාදීමට අගමැතිවරයා යාම අනිවාර්ය නොවූවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අගමැතිවරයා කොමිසම වෙත ගිය බවයි. අගමැතිවරයාගේ පැමිණීම කොමිසමේ සභාපතිවරයා විසින් ද අැගයීමට ලක්කළ බවත් ඇමැතිවරයා සිහිපත් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරය බාරගත් විට කෝප් කමිටුවේ සභාපතිධූරය ලබාදුන්නේ විපක්ෂයට. අලුත් ආදර්ශයක් දුන්නා.

ආණ්ඩුවට හංගන්න දෙයක් නෑ කියන අරමුණ තිබුණා. බැදුම්කර වාර්තාවේ අගමැතිතුමාගේ නම සඳහන් නෑ. කෝප් වාර්තාවේ නම සඳහන් වෙන්නේ නැත්නම් කොහොමද විශ්වාසභංගයක් ගේන්නේ? ජනාධිපති කොමිසමෙන්වත් ගරු අගමැතිවරයාගේ නම සඳහන් නෑ. මේ විශ්වාසභංග යෝජනාව පුස්සක්. අගමැතිවරයා කෝප් වාර්තාවෙන් හෝ ජනාධිපති කොමිසමෙන් වැරදිකරුවකු කර නෑ. අගමැතිතුමා, කොහේද වැරදිකරුවෙක් කර තිබෙන්නේ. 

නව අදහස දක්වන්න