විශ්වාසභංගය දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක් | දිනමිණ

විශ්වාසභංගය දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක්

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය, සුභිෂිණි සේනානායක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව යනු දේශපාලන කුමන්ත්‍රණයක ආරම්භයක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) ප්‍රකාශ කළේය.

අද වනවිට විපක්ෂයට ඇති දේශපාලන අභියෝගය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර මෙම විශ්වාසභංග යෝජනාව ජනාධිපතිවරයාද ඉලක්ක කරගනිමින් ඉදිරිපත් වූවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් කවර ආකාරයේ විශ්වාසභංග ගෙන ආවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ දේශපාලකයකු බවට දශක ගණනාවක් පුරා රටට ඔප්පු කර අවසන් බවත් ගතවූ වසර තුන තුළ රටට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට අගමැතිවරයා නායකත්වය ලබාදුන් බවත් කී ඇමැතිවරයා රටේ වාසනාවට මෙම විශ්වාසභංගය දැනටමත් පරාජය වී අවසන් බවත් පැවැසීය.

මුදල් හා ජනාමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කළේ ජනවාරි 15 වැනිදා ජයග්‍රහණය වෙනුවෙන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ කැපවීම හා දැක්වූ දායකත්වය අසීමිත බවයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පදනම් කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ඒකාබද්ධ විපක්ෂය එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රටට අහිමි වූ ට්‍රිලියන ගණන් ගැන කතා නොකරන බවත් වැඩිදුරටත් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා- 1999 වසරේ දී ගැහුවා පෝස්ටරයක් රනිල්ට බෑ කියලා. අපි රනිල්ට බෑ කියලා පෝස්ටරයක් ගැහුවේ, චන්ද්‍රිකා පත්වීමට තිබෙන අභියෝගය රනිල් කියලා දන්න නිසා, රනිල්ට පෝස්ටර් ගැහුවා. අවුරුදු 20කට පස්සෙත් පැහැදිළිව පේනවා, මේ රටේ විපක්ෂයට තිබෙන දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ කියලා. මෙය ජනාධිපතිතුමාත් ඉලක්ක කරගත් විශ්වාසභංගයක්. දෝෂාභියෝගයක් ගෙනැල්ල ගෙදර යවන්න තියෙන බාධකය අග්‍රාමාත්‍යවරයායි. මෙය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක්. රටේ වාසනාවට දැනටමත් පරාජය වී අවසන්. 2014 අග්‍රාමාත්‍යතුමා කළ කැපවීම මතක් කළ යුතුයි. කිසිම කුහක කමක් නැතිව යෝජනාව පිළිගත්තා. අග්‍රාමත්‍යතුමා කුහකකමින් තොරව එක්සත් ජාතික පක්ෂය දිව රෑ නොබලා ජනාධිපතිතුමා පත් කරන්න කටයුතු කළා. ඒ වෙලාවේ එතුමාට හැකි වුණා, අනෙක් පක්ෂ සමඟ එකතුවෙලා, අනෙකුත් මුස්ලිම් පක්ෂ එකතු කරගෙන, විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ නායකත්වය දීලා, 2015 විප්ලවය සඳහා යොමු කළා. අගමැතිතුමා දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ඔප්පු කර තිබෙනවා. එතුමා හා රජයට ඉලක්ක කරගෙන විශ්වාසභංගය ගෙනැල්ලා රට අන්ධකාරයට යොමු කර රට ආපස්සට ගෙන යාමයි අරමුණ වී තිබෙන්නේ.

නව අදහස දක්වන්න