විශ්වාසභංග යෝජනාවේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවනවා | දිනමිණ

විශ්වාසභංග යෝජනාවේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවනවා

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය, සුභාෂිණි සේනානායක

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (4) ප්‍රකාශ කළේය.

2015 වසරේ දී සිදුවූයේ යැයි කියන මහ බැංකු බැඳුම්කර සිද්ධිය පදනම් කරගනිමින් වසර තුනක් ගතවීමෙන් පසුව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ කවර හේතුවක් නිසාදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

විශ්වාසභංග යෝජනාව ඔස්සේ ඒකාබද්ධ විපක්ෂය දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන අතර 2015 ජනවරම අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් ආර් සම්බන්ධන් මහතා පැවැසීය.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආර් සම්බන්ධන් මහතා මෙසේද පැවැසීය.

දූෂණය අප රට වෙලා තිබෙන දරුණුතම ව්‍යවසනයක්. කාලයක් තිබුණා දූෂණය ගැන අහන්න ලැබුණේ නැති. එය අපි මුලිනුපුටා දැමිය යුතුයි. පාදකවන මූලබීජයන් මුලිනුපුටා දැමිය යුතුයි. දේශපාලනඥයන් දූෂණයට මූලාශ්‍රයක් වෙනවා කියලා මතයක් තිබෙනවා. ඒ මතය රටින් තුරන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය සියලු දෙනාට පොදුවිය යුතුයි. මෙවැනි විශ්වාස භංග යෝජනාවක් දැන් ගේන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය ආණ්ඩුව පෙරලන්නයි. අපට ඕන 2015 ජනවරම ක්‍රියාත්මක කරවන්නටයි.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ ජාතික ප්‍රශ්නය විසඳන්න එක් වන ලෙසයි.

නව අදහස දක්වන්න