විශ්වාසභංගයේ ආශිර්වාදය | දිනමිණ

විශ්වාසභංගයේ ආශිර්වාදය

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කොට ඇති විශ්වාසභංගයේ ඉරණම මෙම ලිපිය ලියන මොහොත වනවිට අවසන් වශයෙන් තීන්දු වී නැත. පාඨකයා මෙය කියවන මොහොත වනවිට එම තීන්දුව ලැබී අවසන් විය යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙහි අරමුණ වන්නේ මෙම ගැටුම්කාරි තත්ත්වය ඇතිවීමට හේතු මෙන්ම එහි අවසන් ප්‍රතිවිපාක පිළිබඳව මඳක් සලකා බැලීමයි.

විශ්වාසභංග යෝජනාවෙහි ඉරණම කුමක් වුවද මෙය මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් වන බවට සැකයක් නැත. මින් පෙර තිබූ ආණ්ඩුව මින් පසුව එලෙසම පවතින්නට ඉඩක් නැත. එහි කුමන හෝ ප්‍රතිසංවිධානයක් අවශ්‍යය. එය කෙබඳු ප්‍රතිසංවිධානයක් දැයි තීන්දු වන්නේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය අනුවය. විශ්වාසභංගය දක්වා ආගමන හා එයට හේතු විමසා බැලීමෙන් ඉදිරියට සිදුවන්නට ඉඩ ඇති ප්‍රතිසංවිධානය ගැන යම් වැටහීමක් ලබාගත හැකිවනු ඇත.

විශ්වාසභංග යෝජනාව ගෙනාවේ අගමැතිවරයාට එරෙහිව වුවද එහි ප්‍රධාන අරමුණක්ව තිබුණේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ගැටුම වර්ධනය කිරීම බව පැහැදිලි කාරණයකි. එම ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ආරම්භයේ සිටම බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. ඇත්ත වශයෙන්ම නම් 2015 ජනවාරි අට වෙනස සඳහා බලවේග පෙළගැසීම සිටම මෙම තත්ත්වය දක්නට තිබිණි.

සා්භිත හිමිගේ ගණන් බැලීම

2015 ජනවාරි අට වෙනස සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපයේ පිරිසක් හා වෙනත් පක්ෂ එක්වුවද ඒ සඳහා දේශපාලන සැලසුම සකස් කරන ලද්දේ සිවිල් ව්‍යාපාර විසිනි. එහි පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය තම පළමු අරමුණ ලෙස ඉදිරිපත් කරන ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට ජය ලබන පොදු අපේක්ෂකයා යටතේ එම පාර්ලිමේන්තුවෙන්ම දින සියයක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසිකොට පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ මහ මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් හා විධායක අගමැතිවරයා පත්කරගැනීම ඒ මොහොතේ යෝජනා වූ ක්‍රමවේදයයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගන්නා ලද්දේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාය.

එලෙස මාදුළුවාවේ හිමියන් ඇතුළු සිවිල් සමාජය කළ සැලසුම අනුව පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබූවද ඒ සමඟ එක්වූ ඇතැම් කණ්ඩායම්වලට විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යාමේ වුවමනාව තිබූ බව පෙනෙන්නට තිබිණි. ශ්‍රීලනිප ආණ්ඩුව සමඟ සිට පොදු අපේක්ෂකයා වටා එක්රැස් වූ එම පිරිසට ජනාධිපති බලය යම් ආකාරයකින් දිගටම පවත්වාගෙන යාමේ වුවමනාවක් තිබූ බව පැහැදිලි විය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ මූලික අරමුණට විවිධ සංශෝධන ඉදිරිපත් වනු දක්නට ලැබිණි.

රාජපක්ෂ පාලනය පරදවා බලයට එන පොදු අපේක්ෂකයා ලවා එම පාර්ලිමේන්තුව තුළින්ම ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට සෝභිත හිමියන් යෝජනා කළේ පරාජිතව සිටින රාජපක්ෂවාදීන්ගේ සහය එයට ලබාගත හැකිවනු ඇත යන ගණන් බැලීම අනුවය. සෝභිත හිමියන් කීවේ පාර්ලිමේන්තු මැතිවරණයකින් විධායක අගමැතිවරයාට අවස්ථාවක් ලැබෙන නිසා එම කණ්ඩායමේ සහය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ලබාගත හැකිවනු ඇති බවයි.

කෙසේ වෙතත් ජනවාරි අටෙන් පසු සිදුවීම්වලින් පෙනී ගියේ මේ රටේ දේශපාලනය මාදුළුවාවේ හිමියන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සිතූ තරම් සරල නැති බවයි. මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ගණන් බැලීම් අනුව අලුත් ගේමක් ගැසු බව පෙනෙන්නට තිබිණි. ශ්‍රීලනිපයේ නායකත්වය භාරගන්නා මෙන් ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේ ඒ ගේම ගහන්නය. එය සාර්ථක වූයේ ජනාධිපතිවරයා සමඟ සිටි කණ්ඩායමටද දේශපාලන බලය අවශ්‍යව තිබූ නිසා බව පෙනෙන්නට තිබිණි.

මෙහිදි මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ පැහැදිලිය. එනම් තමන්ට එරෙහිව ගොඩනැඟුණ බලවේගය භේද කිරීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර බල අරගලයක් නිර්මාණය කිරීමය. ඉන්පසුව සම්මුතිවාදය ගැන කෙතරම් කතා කළද මෙම බල අරගලය රටට නොපෙන්වා සිටින්නට නායකයන් දෙදෙනාට හැකියාව ලැබුණේ නැත.

මේ තත්ත්වය තුළ මාදුළුවාවේ හිමියන්ගේ බලාපොරොත්තුවද ඉටුවූයේ නැත. විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමට තබා එහි බලතල සීමාකිරිමටද ශ්‍රීලනිපය විරුද්ධ විය. ජනාධිපති බලතල සීමා කළ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධනය සම්මත කරගත්තේ විශාල වාද විවාදවලින් පසුවය. එහි ප්‍රතිඵලය වූයේ විධායක ජනපතිවරයකු හා අගමැතිවරයකු ලෙස ද්විත්ව බලයක් නිර්මාණය වීමයි. පසුගිය දිනවල අපට දකින්නට ලැබුණේ එම ද්විත්ව බලය තුළ බල අරගලයකි. ඒකාබද්ධ විපක්ෂය කළේ එය අවුස්සා තැබීම පමණකි.‍

මහින්ද රාජපක්ෂ මහතා 2015 දී කළේ ශ්‍රීලනිපය මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීම නොව පත්වූ ජනාධිපතිවරයා තම පක්ෂයට ලබාගැනීමට බව දැන් පෙනෙන්නට තිබෙන කාරණයයි. දෙපාර්ශ්වයේ විරසකය පසෙක තිබියදී දැන් කතා කරන්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්නටය. දහනවවන සංශෝධනයෙන් ජනාධිපති බලය සීමාකොට අගමැති ධුරයට යම් ශක්තියක් ලබාදී නොතිබුණේ නම් එය පහසුවෙන් සිදුකරන්නට ඉඩ තිබිණි. එසේ වූයේ නම් විශ්වාසභංග යෝජනාවක් පවා අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනස් බව කාටත් පැහැදිලි වූ කාරණයයි.

සම්මුතිවාදී ආණ්ඩුවක් කියා මෙතෙක් කල් පවත්වාගෙන ගියද ඒ තුළ ඇත්ත සම්මුතියක් තිබුණේ සුළු වශයෙනි. මෙම සම්මුතිය රටට අවශ්‍ය වූයේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්න ගණනාවක් විසඳාගැනීම සඳහාය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම, ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම ආදී කාරණා සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් රටට අවශ්‍යව තිබිණි. එසේ වුවද එම කාරණාවලදී ප්‍රගතියක් ලබා ඇත්තේ සුළු වශයෙනි. වර්තමාන ගැටුමත් සමඟ එවැනි ප්‍රතිසංස්කරණ ගැන තිබූ බලාපොරොත්තු අත්හරින්නට සිදුව ඇති බව පෙනෙන්නට තිබේ.

දිගටම ගැටුම්

අනෙක් අතට ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධ කාරණයේදී දිගින් දිගට ගැටුම් ඇති වූ බව පෙනෙන්නට තිබිණි. එහිදි ශ්‍රීලනිපය හා එජාපය ඉන්නේ දෙපැත්තකය. ශ්‍රීලනිපය කතා කරන්නේ දේශීය වෙළෙඳ පොළ රැකගැනීම ගැනය. එජාපය සැලසුම් කරන්නේ ලෝක වෙළෙඳ පොළ අල්ලන්ටය. ශ්‍රීලනිපය කියන්නේ රජයේ ආයතන පවත්වාගෙන යන්නටය. එජාපය කියන්නේ රජය කළ යුතු වැඩට සීමා වී වාණිජ කටයුතු ආදිය ඒවා සර්ථකව කළ හැකි පෞද්ගලික අංශයට පවරාදිය යුතු බවයි.

මේ රටේ ජනතාව අතර තිබෙන ජනප්‍රිය නමුත් මිථ්‍යා මතවාද ශ්‍රීලනිප දේශපාලනඥයන් වෙතින් නැවත නැවත ප්‍රකාශ වන්නේ ඒවා පරම සත්‍යය සේ සලකාය. ඇත්ත වශයෙන්ම ගතහොත් එම ඇතැම් මතවාද ලෝකය විසින් ඉවත දමා ඇත්තේ ශත වර්ෂයකට දෙකකට පෙරදීය. ඒ ඒවා සත්‍ය නොවන බව හා විද්‍යාත්මක වන්නේ ඊට ප්‍රතිපක්ෂ දේය යන්න ඔප්පුවීම නිසාය.

මිථ්‍යාවට යටවීම

අපනයන දිරිගැන්වන අතර ආනයන හැකිතාක් සීමාකිරීම රටකට යහපත්ය යන්න එබඳු එක් අදහසකි. මෙය බැලූ බැල්මට නිවැරැදි ලෙස පෙනෙන්නකි. ආනයන නිසා මෙරට ධනය ඉවතට ගලා යන නිසා එය අයහපත් බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් මෙය ඉතා පැරණි අදහසකි. නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකිලි ලබන ඇඩම් ස්මිත් 1776 දී ප්‍රකාශයට පත් කළ “ජාතීන්ගේ ධනය” කෘතියෙන් මෙම අදහස ප්‍රතික්ෂේප කළේ අපනයන සේම ආනයනද රටකට වැදගත් බව විද්‍යාත්මකව පෙන්වා දෙමිනි. අපනයන වර්ධනයට ආනයනය සීමා නොකිරීම අත්‍යවශ්‍ය බවට ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ ඒකමතිකව වගේය. එහෙත් මෙරට ජනතාව එම කාරණා දන්නේ නැත. එවැනි රටක ආර්ථිකය මෙහෙයවන්නට යන එජාපයට මුහුණදෙන්නට වන්නේ විශාල අභියෝගයකටය. ජනතාව අදහන මිථ්‍යාවට ආණ්ඩුවේ ඉහළම තැන්වලින් දිරිමත් කිරීම් සිදුවනවිට ඒවා වඩාත් ශක්තිමත් වෙයි. එයට එරෙහිව කරුණු දක්වන්නට පවා එජාප නායකයන්ට අවස්ථාව නොලැබුණු බව පසුගිය කාලයේ දක්නට ලැබිණි.

2015 ජනවාරි අටවැනිදා වෙනස සමඟ ආණ්ඩුව සමඟ සම්බන්ධ වූ ඇතැම් මතවාදී කණ්ඩායම්වල අවශ්‍යතා, ඉල්ලීම් ක්‍රියාවට නැඟීම නිසාද මෙම ආණ්ඩුව අර්බුදයට ගොස් ඇත. ග්ලයිෆෝසෙට් තහනම, ඇස්බැස්ටෝස් තහනම (ඉවත්කරන ලදි) හා පොලිතීන් තහනම් එවැනි කාරණාය.

ග්ලයිෆෝසෙට් ගැන නොයෙක් මත තිබුණද ඒවා තහවුරු වී නැති නිසා ‍ලෝකයේ කිසිදු රටක එය තහනම් කොට නැත. එසේ වුවද අප රටේ එය තහනම් කළේ වකුගඩු රෝග කාරකයක් කියාය. එවැනි චෝදනාවක් ලොව වෙනත් රටකින් වාර්තා වන්නේ නැත. තවමත් පරීක්ෂා කරන්නේ එය පිළිකාකාරකයක්ද යන්නයි. වකුගඩු රෝගය පිළිකාවක් නොවේ. මේ දෙකෙහි කිසිදු සබඳතාවක් නැත. අනෙක් අතට ග්ලයි‍ෆෝසෙට් විශාල වශයෙන් භාවිතා කරන රටවලින් මෙබඳු වකුගඩු රෝග වාර්තා වී නැත. මේවා විද්‍යාඥයන් පෙන්වා දුන්නද ආණ්ඩුව එයට කන් දුන්නේ නැත. ඒ මෙරට බලවත්වී සිටින සුළු පිරිසක් නිසාය. ඔවුන්ට ඒ සඳහා ශක්තිය ලැබුණේද ආණ්ඩුව ඇතුළේ පැවති ගැටුම නිසාය.‍

ග්ලයිෆෝසෙට් තහනම නිසා ගොවිතැනට මෙන්ම තේ කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවී ඇත. ඒ ගැන දැන් ජනමතයක්ද වර්ධනය වී ඇති අතර පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයටද මෙය ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන ඇත. දැන් තහනම ඉවත්කරන්නට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වන්නේ ඒ නිසාය.‍

වෙනසක අවශ්‍යතාව

පොලිතීන් තහනමද මෙයට දෙවැනි නැත. සරල ලෙස තීරණයකොට ඇත්තේ දිරන පොලිතීන් විසඳුම බවයි. එසේ වුවද විද්‍යාඥයන්ගේ මතය එය විසඳුමක් නොවන බවයි. කෙසේ වෙතත් පොලිතීන් තහනම නිසා කර්මාන්තශාලා විශාල ගණනක් වැසී ගොස් රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවිය. එහි ප්‍රතිවිපාකද ආණ්ඩුවට එල්ල වූ බව පැහැදිලිය.

පසුගිය ආණ්ඩු සමයේ හොරකම් දූෂණ කළ උදවිය නීතිය හමුවට ගෙන ඒම ගැනද නොයෙක් ප්‍රශ්න ඇත. බොහෝදෙනා චෝදනා කරන්නේ ආණ්ඩුවේ ප්‍රධාන දෙපාර්ශ්වයම නොයෙක්විට ඩීල් දැමූ බවයි. ඒ ගැන තහවුරු කළ හැකි තොරතුරු අප සතුව නැතත් ඇතැම්විට නායකයන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ මඟින් පරීක්ෂණවලට බාධා සිදුවූ බව අපි දනිමු. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරිය ඉල්ලා අස්වූයේ එබඳු එක් සිදුවීමකදීය.

මෙම සැකය තවත් දැඩි වන්නේ නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධුරය සරත් ෆොන්සේකා මහතාට දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ විට එයට එල්ල වූ විරෝධය නිසාය. අන්තිමේ එය ලබාදුන් අමාත්‍යවරයා පිළිබඳවද ඇත්තේ කුකුසකි. මෙලෙස කරුණ පෙළගස්වා බලනවිට පෙනෙන්නේ ඊයේ පෙරේදා එළියට ආවේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ දිගටම පැවැති ව්‍යාධියක් බවයි. මේ මොහොතේ සිදුවූයේ එම ලෙඩේ එළියට පැමිණීමයි.

කෙසේ වෙතත් මෙලෙස මෙම ප්‍රශ්නය මතුපිටට පැමිණීම එක් අතෙකින් සුබදායකය. එයින් ප්‍රශ්නයේ හැබෑ තත්ත්වය සියලුදෙනාට දැනගන්නට, දැකගන්නට ලැබිණි. හැමෝම කිව්වේ මේ විදිහට මේ ගමන ඉදිරියට යන්නට බැරි බවයි. සියල්ලේ අලුත් වෙනසක් අවශ්‍ය බවයි. අලුත් ගමනක් ආරම්භ කළ යුතු බවයි. එහිදී මෙතෙක් තිබූ ප්‍රශ්න නැතැයි සිතා ඉදිරියට යාමක් ගැන සිතිය නොහැකිය. ඉදිරියට යන්නට වන්නේ තිබෙන ප්‍රශ්න විසඳා ගනිමිනි. ඒ සඳහා අවස්ථාවක් නිර්මාණයවීම අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසා රට ලැබූ ජයග්‍රහණයකි.‍

සී. ජේ. අමරතුංග


නව අදහස දක්වන්න

Or log in with...