ග්ලයිෆොසෙට් කල්පනාවෙන් ඇසුරු කරන්න | දිනමිණ

ග්ලයිෆොසෙට් කල්පනාවෙන් ඇසුරු කරන්න

 ග්ලයිෆොසෙට් භාවිතයට අවසරය ලබා දීම සම්බන්ධයෙන් මෙරට තුළ නැවතත් කතාබහක් ඇති වී තිබේ. ග්ලයිෆොසෙට් මිනිස් ශරීරවලට අහිතකර බව විද්වත්හු පෙන්වා දෙති. එසේ වුවත් දේශපාලනඥයන් පවසන්නේ මිනිස් ජීවිතවලට අන්තරාකාරී යැයි තහවුරුව නැති බැවින් ග්ලයිෆොසෙට් තහනමක් පනවා ආර්ථික අවාසි අත්පත් කරගන්නේ කුමකටදැයි කියාය. ආර්ථික වර්ධනයක් අවශ්‍යම වෙලාවක ග්ලයිෆොසෙට් තහනම තව දුරටත් පවත්වාගෙන යා හැකිද? අනෙක් අතට, මිනිස් ජීවිත අගාධයට ඇද දමමින් අත්පත් කරගන්නා ආර්ථික වර්ධනයක් කුමටද? මෙවැනි ගැටලු නිසා ග්ලයිෆොසෙට් භාවිතයට අවසර දීම පිළිබඳ කතිකාවත දැඩි විවේචනාත්මක තැනෙක පවතී.

ග්ලයිෆොසෙට් භාවිතයේ ආදීනව කතා කරන්නට ආදර්ශයට ගත හැකි හොඳම රට, ආර්ජන්ටිනාවයි. ජාන වෙනස් කළ බෝග වැවීම සඳහා ඉඩම් හෙක්ටාර මිලියන 17ක් එරට බලධාරීන් වෙන් කළේ 2006 වසරේදීය. වෙන් කරන ලද එම භූමි ප්‍රමාණය දෙවැනි වූෙය් අමෙරිකා එක්සත් ජනපදය එවැනි බෝග වැවීමට වෙන් කරන ලද භූමි ප්‍රමාණයට පමණි. ආවේණිය වෙනස් කළ බෝග වගාවන්ට ආර්ජන්ටිනාව යෙද වූ ඉඩම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක සෝයා වවනු ලැබිණ. දස වසරක කාලපරිච්ඡේදයක් තුළ සෑම වසරක් පාසාම ග්ලයිෆොසෙට් ලීටර මිලියන 200 බැගින් මේ වගාවන්ට ඉසින ලදී. ඉන් වැඩි ප්‍රමාණයක් ඉසිනු ලැබුවේ ගුවන් මඟිනි.

එසේ භාවිත කෙරුණු ග්ලයිෆොසෙට්වලින් දරුණුතම බලපෑම එල්ල වූයේ ආර්ජන්ටිනාවේ අන්ත දිළිඳු ගැමියන් පිරිසකටයි. ඔවුන් ප්ලාස්ටික්, පොසිල ඉන්ධන, රසායනිකයන් මෙන්ම සේදුම් කුඩු වැනි ද්‍රව්‍ය පවා ඉතාමත් අල්ප වශයෙන් භාවිතයට ගත්ත පිරිසකි. මේ පිරිස පරිහරණය කරන ආහාරවලත්, ජලයේත්, පසේත් ආශ්වාස කරන වාතයේත් ග්ලයිෆොසෙට් අංශු විශාල වශයෙන් අඩංගුව තිබිණ. දස වසරක් පුරා සෑම මොහොතකම ඔවුන් ආශ්වාසයට ගත්තේ ග්ලයිෆොසෙට් මුසුවුණු වාතයයි. අඩුම තරමින් දවසට දෙවරක්වත් ඔවුන්ගේ ශරීර උකහා ගත්තේ ග්ලයිෆොසෙට් සහිත ආහාරයි; දවසට හතර වරක්වත් ග්ලයිෆොසෙට්, ජලය සමඟ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයට පිවිසියේය.

ග්ලයිෆොසෙට්වල බලපෑම් නිසා මේ ගැමියන්ගේ සමේ සහ අක්ෂිවල ආබාධ මතු විණ; පාචන තත්ත්ව ඇති විය; ගබ්සා වීම් සහ මළ දැරූ උපත් ඒ ප්‍රදේශවල බහුල විණ. වල් නාශකයේ අඩංගු රසායනික ද්‍රව්‍යය අලුත උපදින දරුවන්ගේ දේහයන්හි පවා දක්නට ලැබුණේය. රසායනික ඉහළ ප්‍රමාණයක් ශරීරගත වූ දරුවෝ දිගු කලක් ජීවත් නොවූහ. ඉන්මතු ඒ ප්‍රදේශවල පරිසර සමතුලිතතාවත් බිඳ වැටිණ. සමහර කුඩා මත්ස්‍යය සහ උභය ජීවී විශේෂ පරිසරයෙන් වඳ වී ගියේය. ග්ලයිෆොසෙට් නිසා ආර්ජන්ටිනාවට මුහුණ දෙන්නට සිදුවුණු ඛේදවාචකය සුළු පටු නැත. එපමණක් නොව ග්ලයිෆොසෙට් නිසා එහි සිදු වූ වරද නැවත කිසිදාක ආපස්සට හැරවිය නොහැකි මට්ටමක ද පවතී. කෘෂි රසායන නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ නමැති අමෙරිකා බහුජාතික සමාගම ගෝලීය මට්ටමෙන් රවුන්ඩප් (ග්ලයිෆොසෙට්හි වෙළෙඳ නාමය) බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වරක් ඇරඹීය. ආරම්භයේදී පුදුම හිතෙන තරමට ආර්ජන්ටිනාවේ සහය ඊට ලැබිණ. එසේ වුවත් ග්ලයිෆොසෙට්වලින් රටට සිදු වුණු හානිය දුටු විට ආර්ජන්ටිනා රජය ව්‍යාපෘතියට සහය ලබාදීම වහාම නවතා දැමුවේය. ග්ලයිෆොසෙට්වලින් ආර්ජන්ටිනාවට සිදු වුණු විනාශය අවබෝධ කරගන්නා ඕනෑම වගකිව යුතු පුද්ගලයකුට ග්ලයිෆොසෙට් තහනම් කිරීමේ තීරණයට එළඹීම අපහසු නැත.

පසුගිය කාලයේදී, ග්ලයිෆොසෙට් මෙරට තහනම් කර තිබුණ ද ඒ තීරණය ගැන පැවැතියේ දෙකට දෙවාරණ පිළිවෙතකි. මෙරට ව්‍යාප්තව යන වකුගඩු රෝගයට ග්ලයිෆොසෙට් හේතුවක් බව පර්යේෂකයෝ කීහ. මේ තත්ත්වය විමසා බැලූ “විද්වත් මණ්ඩලයක්”නිර්දේශ කළේ ග්ලයිෆොසෙට් තහනම වකුගඩු රෝගය පවත්නා ප්‍රදේශවලට පමණක් සීමා කිරීම ප්‍රමාණවත් බවකි. ඒ හැරුණු විට රට තුළ ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීම ද ඒ “විද්වත් මණ්ඩලය”විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ආර්ථිකය සහ මුදල් මත පදනම්ව මෙරට මනුෂ්‍ය ජීවිතවලට එරෙහිව දෙන ලද නිර්දේශයක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන. ඒ අවස්ථාව වන විට වකුගඩු රෝගය හේතුවෙන් පුද්ගලයෝ 20,000ක් ජීවිතක්ෂයට පත්ව සිටියහ. තවත් පුද්ගලයෝ හාර ලක්ෂයකට ආසන්න පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව මරණය පෙනි පෙනී දිවි ගෙවූහ. රසදිය නිසා සිදු වන දූෂණය හේතු කරගෙන ජපානයේ මිනමාටාහිත්, නීගතාහිත් ඇති වුණු මිනමා රෝගයට එහා ගිය තත්ත්වයක් ලෙස මෙරට වකුගඩු රෝගය හඳුන්වන්නට පුළුවන. එමෙන්ම එය, කැඩ්මියම් නිසා සිදු වූ දූෂණය හේතු කරගෙන ජපානයේ ජින්සු ගංගා ද්‍රෝණියේ දැකිය හැකි වුණු ඉටායි - ඉටායි රෝගයට ද එහා ගිය තත්ත්වයකි. මිනමා සහ ඉටායි - ඉටායි රෝග වෙත ගෝලීය අවධානය යොමු විණ. ඒ තත්ත්වයන් මඟහැර ගන්නට ආධාර ආදිය ජපානයට ලැබිණ. මෙරට වකුගඩු රෝගය යට කී රෝග දෙකටම වඩා බරපතල බවක් පෙන්නුම් කරතත් ඒ දෙසට ප්‍රමාණවත් තරමින් ගෝලීය අවධානය යොමු වුණු බවක් පෙනෙන්නට නැත. එවැනි පසුබිමක දේශීය බලධාරුනුත් වගකීමෙන් තොරව ක්‍රියාකිරීම අභාග්‍යසම්පන්නම තත්ත්වයකි.

ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමේ මූලධර්මය යටතේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ගන්නට මෙරට බළධාරීන්ට පුළුවන. එමඟින් සාමාන්‍ය ජනයා අන්තරායකර තත්ත්වයකට මුහුණ දීමෙන් සහ ගොදුරු වීමෙන් මුදා ගන්නට ඉඩ සැලසේ. මේ පියවර වඩාත් උචිත වන්නේ කිසියම් දෙයක් අවදානම් සහගත යැයි කියා තදින් සැක කෙරෙන අවස්ථාවන්හිදී ය. එවැනි ආරක්‍ෂිත පියවරක් අනුගමනය කිරීම, ජෛව සුරක්ෂිතභාවය පිළිබඳ කාටගන් ප්‍රොටෝකෝලහිත් සඳහන්ව ඇත. ශ්‍රී ලංකාව එම ප්‍රොටෝකෝලයට 2000 වසරේ මැයි මාස 24වැනිදා අත්සන් කරනු ලැබිණ. එහි සඳහන් වන්නේ ප්‍රමාණවත් තරමේ සාක්ෂි හෝ නිශ්චිත තීරණයක් හෝ නොමැති අවස්ථාවන්හිදී ආවේණිය වෙනස් කරන ලද බෝග ආනයනය සීමා කිරීමට හෝ තහනම් කිරීමට හෝ යටකී ප්‍රොටොකෝලයේ සාමාජික රටවලට ඉඩකඩ ඇත යනුවෙනි. එකී ආවරණය ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් ද අනුගමනය කිරීමට බාධාවක් නැති බව විද්වත්හු පෙන්වා දෙති.

ග්ලයිෆොසෙට් භාවිතය සඳහා වරණීය තහනමක් පැනවීමත් තේරුමක් නැත. එලෙස තහනම් කරන ලද භාණ්ඩ හොර ජාවාරම් හරහා කළු කඩ මුදලාලිලා අතට පත් වීමේ අවදානමක් ඇත. මෙරට මධ්‍යම කඳුකරයේ කෙරෙන වගාවන්ට පමණක් ග්ලයිෆොසෙට් යෙදීමට අවසර දීම, ග්ලයිෆොසෙට්වල අහිතකර බලපෑම මැඩලීම සම්බන්ධයෙන් ඵල රහිත තීරණයකි. ඒ, මධ්‍යම කඳුකරයේ තේ වතු ද එළවලු වගාවන් ද පිස ගලාගෙන එන ජලය මහවැලි ගඟට එකතු වී කන්ඩලම, කලා වැව, ජය ගඟ හරහා වකුගඩු රෝගීන් සිටින ප්‍රදේශවලට ළඟා වන බැවිනි. එවිට එය සමකළ හැකි වන්නේ ආර්ජන්ටිනාවට සිදුවුණු දෙයහිම ප්‍රත්‍යාවර්තයක් හැටියටය.

මෙරට පර්යේෂකයන් පවසන අන්දමට මහවැලි ගඟේ අතු ගංඟා හතෙන් හයක්ම, කැඩ්මියම් සහ පොස්ෆේට් අඩංගු පොහොර වර්ග නිසා ඉතාමත් භයානක අන්දමින් දූෂ්‍යය වී ඇත. කැඩ්මියම්, වකුගඩුවලට වසක් බව තහවුරුව තිබේ. ප්‍රතික්‍රියා නොකළ ග්ලයිෆොසෙට් විශාල ප්‍රමාණයක් මහවැලි ගඟ දිගේ ගසාගෙන යන මුත් ඉන් සිදුවන හානිය ගැන අවාසනාවකට කිසිවකුත් කතා නොකරති. මහවැලි ජලය පානයට ගන්නා ජනයා අඩුම තරමින් දිනකට හතර වරක්වත් ජල පානය සමඟ ග්ලයිෆොසෙට් ශරීර ගත කර ගන්නෝය. මේ තත්ත්වය වසර ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව සිදුවන විට එයට භාජනය වන මිනිසුන්ට කුමන ඉරණමක් අත්වේද?

ඩෙන්මාර්කය 2003 වසරේදී එරට තුළ ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කළ අන්දම ද මෙහිදී මතක් කර යුතුව ඇත. ඩෙන්මාර්කය එම තීරණයට එළැඹියේ ග්ලයිෆොසෙට් පසෙහිදී වියෝජනයකට (බිඳ වැටීමකට) ලක් නොවන බව ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ සමාගම පැවසීමත් සමඟයි. ග්ලයිෆොසෙට් වියෝජනය නොවන නිසා ප්‍රතික්‍රියා නොකළ ග්ලයිෆොසෙට් සැලකිය යුතු ප්‍රමාණයක් පස මතු පිට සිට අඩි පහක් ගැඹුරින් තිබෙනු දක්නට පුළුවන. පස තුළ මෙන්ම භූගත ජලයේත් ප්‍රතික්‍රියා නොකළ ග්ලයිෆොසෙට් තැන්පත් වේ. ෙමය තේරුම් ගැනීමට අපේ රටේ බලධාරීන් තවත් කල් මැරිය යුතු නැත.

ග්ලයිෆොසෙට් භාවිතය පෙරට වඩින්නේ තේ වගාවට කම්කරු ශ්‍රමය හිඟයැයි කියන තර්කයත් සමඟය. කම්කරුවන් හිඟවීම සහ ඔවුන්ට ඉහළ වැටුප් ගෙවන්නට සිදුවීම නිසා කම්කරුවන් යොදා අතින් වල් පැළෑටි විනාශ කිරීම වතු වගා ක්ෂේත්‍රයට දැන් අසීරු කර්තව්‍යක් වී ඇත. මේ තත්ත්වය මැඩීමට වතු වගාවන්ට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දීම කඩිනමින් සිදුවිය යුතුව තිබේ. අනෙක් අතට තේ කර්මාන්තය ග්ල්යිෆොසෙට් නිසා විනාශ වී යන්නට ද ඉඩ දිය යුතු නැත. තමන් පානයට ගන්නා තේ කෝප්පය ග්ලයිෆොසෙට්වලින් තොර එකක් දැයි කියා පාරිභෝගිකයන් විමසන දිනයක් නුදුරු අනාගතයෙහිදී පැමිණෙනු ඇත. ග්ලයිෆොසෙට්වලින් තොර ආහාර සහ පාන දැනටමත් වෙළෙඳපොලට පැමිණ තිබේ. ග්ලයිෆොසෙට්වලින් තොර දෑ පරිහරණය ගැන ෆේස්බුක්, ට්විටර් ආදී සමාජ මාධ්‍ය තුළ දැන් සාකච්ඡා කෙරේ.

අපේ වතු ක්ෂේත්‍රයේ නිෂ්පාදිත, ග්ලයිෆොසෙට් පිළිකුල් කරන්නන් අතින් ප්‍රතික්ෂේප නොවීමට වැඩ පිළිවෙලක් දැන් දැන්ම ආරම්භ විය යුතුව ඇත.

ඉදිරියේදී ආහාර මිල ඉතාමත් තියුණු අන්දමට ඉහළ යනු ඇතැයි කියා ද, අපට හාල් ආනයනය කරන්නට සිදු වනු ඇතැයි කියා ද අනාවැකි පළ වේ. මෙය, ආර්ථිකමය වශයෙන් ස්ථාවර තත්ත්වයක් නොවේ. සත්‍යය එය වුවත් වගාවන් සාර්ථක තැනකට පමුණුවා ගැනීමෙහි අරමුණෙන් පමණක්ම මෙරට ජනයා වකුගඩු රෝගය වැළඳීමේ අවදානමකට ඇද දැමිය යුතුද? එනිසා මෙරට කෘෂිකර්මාන්තය බහුජාතික සමාගම්වල ව්‍යාපාරික වුවමණාවන්ගෙන් වියුක්තව ගොඩනැඟීමේ දැඩි අවශ්‍යතාව දැන් මතුව ඇත. එහිලා වඩාත් වැදගත් වන්නේ කාබනික වගාවන්ට දිරි දීමය. එවැනි වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව සාර්ථක මට්ටමෙන් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම අපේ අත පොවන මානයට තවමත් දුරය.

වල් නාශක නිසා රසායනිකයන්ට ප්‍රතිරෝධී වල් පැළෑටි ඇති විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ හැරුණු විට නව බැක්ටීරියා, දිලීර සහ වෛරස මාදිලි ඇති වන්නටත් පුළුවන. එම මාදිලිවල බලපෑම නිසා සුව කළ නොහැකි රෝගාබාධා මිනිසාට වැළඳෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මේ තත්ත්වය ග්ලයිෆොසෙට් භාවිතයට ගන්නට යන වතු වගාවන් ආශ්‍රිතව වුවත් දැකිය හැකි දවසක් උදාවනු නිසැකය. එහි අදහස ග්ලයිෆොසෙට් භාවිතයත් සමඟ අවිනිශ්චිත අනාගතයක් කරා අප පියමං කරමින් සිටින බවක් නොවේද?

මේ නිසා දේශපාලන සහ ව්‍යාපාරික ආදී අභිප්‍රේරණවලින් තොරව ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නට කාලය එළඹ තිබේ. අනෙක් අතට, දේශීය උගතුන් ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් කළ පර්යේෂණ සහ පෙන්වාදීම් ඡන්ද පදනම, ලාභය වැනි පටු අරමුණු වෙනුවෙන් තුට්ටුවට දැමීම ද නොකළ යුතුව ඇත.

2017 ජුලි 24 වැනිදා “ඩේලි නිවුස්”පුවත්පතට අමල් විමලසේන ලියු ලිපියේ සිංහල අනුවාදයකි.

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න