මේ අජූත සංස්කෘතිය වනසමු | දිනමිණ

මේ අජූත සංස්කෘතිය වනසමු

පොරොන්දම් හත ම ගලපලා, පය තියන මහ පොළොවට එහා ගිහිං ග්‍රහ වළල්ලත් ටක්කෙට ම ගලපලා යසට කැපිච්චි හැඩකාරිව මහ ඉහළින් දවස් හතක් තිස්සෙ මඟුල් කාලා, ගෙදරට කැන්දන් ඇවිත් පවුල් ජීවිත ගත කරන දෙන්නා දෙමහල්ලන්ට තමයි අද මේ කතා කරන්නෙ.

අපේ පුරුෂ පාර්ශ්වය ඉතිං හත්අවලමේ ගිහිං දඩාවතේ ගෙවන ජීවිතයට තිත තියලා, එක්තැන් වෙන්න හොයන්නේ නිය තුඩකින්වත් හානියක් නොවිච්චි පරම පවිත්‍ර ස්ත්‍රී පරාණ බව ඉතිං අමුතුවෙන් කියන්නත් ඕනෙ නෑ.

පුරුෂාධිපත්‍යය පරමාධිපත්‍යය වුණු අපේ රටේ පිරිමින්ට දඩාවතේ ගියාම ඒක මහා ගාම්භීර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක එක් පුරුකක් ලෙස හඟින අපූරු සංස්කෘතියක් තමයි තියෙන්නෙ.

ඒ දඩාවතේ ගියපු සුනඛ පුත්තු පිරිසිඳු කරන්න එක ම එක කහවතුර බේසමක් පමණක් ඇති බව මහා උජාරුවට කියන අම්මණ්ඩිලාත් නොදෝකිං කියලා ඕන තරම් අපේ රටේ ඉන්න බවත් අපි දන්නවා.

ඒ දඩාවතේ යන එකෙක්ට අහුවෙලා කන්‍යාභාවය කියන කෙහෙල්මල්, අජූත පටලේ සුන්නද්දූලි වෙලා ගියාම ඒ අසරණී වනචරියක් කියලා හංවඩු ගහන්නෙත්, බඳින්න තියා ගෙදරකට පය තියනවටවත් අකමැති වෙන්නෙත් අන්න අර කියන අම්මණ්ඩිලා ම තමයි.

කිරි දියරෙන් නාවලා නෙළුම් මලේ සතපලා හදන අර දඩාවතේ ගිය පාඩද පුත්තුන්ට සත්ගුණවත්, සුපිරිසිඳු, පිරිමි දිහා ඇහැක් ඇරලා නොබලපු ලමිස්සියෝ හොයන විකාරරූපී සමාජයක ගැහැනියට ඉන්න වෙලා තියෙන්නේ යකඩින් හදපු යට ඇඳුමක් හැඳන් බවයි මගේ විශ්වාසය. ඒ විතරක් මදි.

ඒ යකඩ යට ඇඳුමට ඉබ්බෙක් දාලා යතුරු ඉබි කටේ ම තියෙද්දි කඩලා දාලා තියන්නත් වෙනවා. අන්න එතකොට අර සල්ලාලයන්ගේ කෙළිබඩුවක් නොවී සුපිරිසිඳු භාවයත් රැකගෙන අපූරුවට දීගෙක යන්න අපේ රටේ ළමිස්සියන්ට පුළුවන් වේවි. තාරුණ්‍යයේ හැඟීම්වලට නොවී ඉන්න තරුණියන් අපේ රටේ නෑ කියලා කියන්නේ නෑ.

ඒත් පිරිමියෙක් එක්ක ආදරයෙන් වෙලෙන ඕන ම ගැහැනු ළමයෙක් හිතන්නෙ නෑ මට මේ මිනිහා බඳින්න නම් බෑ කියලා. ජීවිතයේ අපූරු සිහින මාළිඟාවක් අහස උසට ගෑවෙන්න හදන මේ ගෑනු ළමයි ඒ තරුණයා තමාගේ එක ම සහකරුවා, ප්‍රේමවන්තයා ලෙස හිතලයි ආදරය කරන්නේ.

ඒත් මේ විදිහට නොහිතන පිරිමින් ගෑනු කියන්නේ සුරාන්තය ලබන ලිංගික කෙළිබඩුවක් විදිහට හිතලා, පාවිච්චි කරලා, විසිකරලා දාන්න දෙවතාවක් හිතන්නේ නෑ. හැමෝම මේ මිම්මෙන් මනින්න බැරි වුණත් ගොඩක් පුරුෂලිංගධාරීන්ගේ පැටිකිරියෙ ඔයිට වඩා වෙනසක් නෑ.

ඉතිං ඒ වගේ මහ හයියෙන් අඬබෙර ගහලා, කසාද බැඳලා, සුදු රෙද්දේ ලප හොයන මව්වරු සිටින රටක ලපේ නොතිබුණොත් හපේ වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ. ඉන්පස්සේ එක්කෝ සදාකල් ම අර ගෑනු ළමයට වෙන්නේ නින්දා විඳින්නයි. නැත්නම් දීගෙට තිත තියලා ආයෙමත් තමන්ගේ ගෙදරට ම යන්නයි.

"ඒ වනචර ගෑනි මගේ පුතාගේ ජීවිතේ කෑවා." මෙහෙම කියන අම්මලා හිතන්නෙ නෑ ඒ වනචරී කියන එකීගේ ජීවිතේ කෑවෙත් තමාගේ ම පුතා වගේ පරමශුද්ධ පුත්‍රරත්නයක් ම බව.

මේ මංඤ්ඤං සමාජය ගැහැනිය පෙළද්දී ඒකේ පෙරමුණ ගන්නෙත් ගැහැනියක් ම තමයි. නැන්දම්මා, නැන්දා, නෑනා ඔය එක එක වේෂවලින් ඇවිත් තවත් ගැහැනියකගේ ජීවිතය ම අපායක් කරන ඒ ගැහැනිය හිතන්නේ නෑ තමන්ටත් ඒ වගේ දෙයක් සිදු වුණොත් අත්වෙන ඉරණම ගැන.

නැන්දම්මලාට නම් විශේෂයෙන් එයාලගේ තරුණ කාලේ අමතක ම වෙලා යන එක ස්වාභාවික සංසිද්ධියක් වෙලා. කොල්ලෝ හතඅටක් එක්ක යාළු වෙච්ච, ළිඳ ළඟදි සල්ලං වෙච්චි අන්දම, මාමණ්ඩිට හොරා ඇස් නටවලා, කොල්ලෝ පිස්සු වට්ටපු ඒ අතීතය අමතක වෙච්චි නැන්දම්මලා හිතන්නේ තමන් පිරිමි සනුහරේ පිටසක්වල ජීවීන් ලෙස කිසිදා නොදැකපු ජීවිතයක් ගෙව්ව බවයි තරුණ කාලෙදී.

අනේ ඉතිං කතා කරන්න පුළුවන් කටට අමතර ව අනිත් අංගෝපාංගයන්ටත් ඒ හැකියාව තිබ්බනං දැනගන්න තිබ්බා ඒවගේ රඟ.

බැඳලා මාස නමයෙන් ලේලිට දරුවෙක් නොලැබුණොත් එතන ඉඳන් ආඬපාලි කියන්න පටන් ගන්න නැන්දම්මලා කරුමෙටවත් බැඳලා හයහත් මාසෙකින් බඩ ගෙඩිය ඉස්සරහට ආවොත් ඉතිං ඒ ගෑනු කෙනාට අබ සරණ ම තමයි.

ඉතිං පිරිමි එක්ක ආදරය කිරිල්ලයි කසාද බැඳිල්ලයි කියන්නේ දැලි පිහියෙන් කිරි කනවටත් වඩා අවදානම් වැඩක්. මොකද නැන්දම්මලාට එහා ගිය පිරිමි ටිකක් ඉන්න මේ රටේ උනුත් බලාපොරොත්තු වෙන්නේ මලින් උපන් කුමාරියක් තමන්ගේ බාරි කරගන්න.

ඉතිං ඒ මල මීට කලින් තැලිච්ච එකක් කියලා ඉව වැටුණොත් මළ පූදගන්න ඒ උත්තමයන් ඒ ගෑනි නොමරා මර මරා ආයෙමත් මරණ බව අපි නොදන්න දෙයක් නෙවෙයි. තමන්ගේ ගෑනිට හොරා අල්ලපු ගෙදර ගෑනිට ඉඟි කරන මේ මිනිස්සු ම තමන්ගේ ගෑනි වැරදිලාවත් අල්ලපු ගෙදර මිනිහා දිහා බැලුවොත් මගේ අම්මේ එතනින් ම දීගෙත් ඉවරයි. ඉතිං මේ වගේ අඳබාල සමාජයක් වෙනස් කරන එක ලේසි නෑ.

ඒ නිසා බඩගෙඩි පුරවන්න කලියෙන් ඔළුගෙඩි පුරවන්න ඕනෙ. අමාරුම කර්තව්‍යය තමයි අපේ සමාජයට උරුම වෙලා තියෙන්නෙ. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.

ගැහැනිය කෙළිබඩුවක් නෙවෙයි කියලා දරුවන්ට ඒත්තු ගන්නන එක බහතෝරන වයසේ අකුරු සාත්තරේටත් වඩා වටින සාත්තරයක් කියලයි මට හැඟෙන්නේ. උණහපුළුවාගේ පැටවුන් උණහපුළුවොමයි කිව්වා වගේ මුලින් ම දරුවන් හදන්න කලියෙන් තමන් හැදිලා ඉඳීම තමයි වඩාත් ම වැදගත්.

මොකද ඉස්සගේ ඔළුවෙ තියෙන අසූචි වගේ අපේ ඔළුගෙඩි ඇතුළෙත් තියෙන අසූචි කන්ද මුලින් හෝදලා, පිරිසිඳු කරන්න ඕනෙ. අභිසාරිකාවකගේ ඉදිරියේ හඳ පෑව්වම දණින් වැටෙන පිරිමි, ඉර පෑව්වම කෙළ ගහන රටක ඒ ගැහැනිය ඇටමස්, ලේ, නහරවලින් හැදිච්ච අපි වගේ ම හැඟීම් දැනීම් ඇති එකියක් බව හිතන්න එකෙකුට හරි පුළුවන්නම්...

එහෙම හිතන්න පුරුදු කරන්න පුළුවන්නම්... අන්න ඒක පන්සල්,කෝවිල්, පල්ලි සීයකට ගිහින් වැන්දටත් වඩා වටිනා කියන කුසල කර්මයක් බවයි මට හැඟෙන්නේ. ඉතිං ඒ නිසා ගැහැනියට නිසි ගෞරවය දෙන සමාජයක් හදන්න, හිතේ බයක් නැතිව දීගෙක යන්න පුළුවන් රටක් බවට අපේ මේ බෙලහීන සමාජය කණපිට පෙරළන්න ඔයාලට පුළුවන් වුණොත් ඒක මහා විශාල ජයග්‍රහණයක්.

අපි නොදකින් කියලා කෙළගහන බටහිරි සංස්කෘතිය අපේ මේ අඳබාල සංස්කෘතියට වඩා ගව්ගාණක් ඉස්සරහින් තියෙන්නේ අන්න ඒ වෙනස නිසා බව ඔයාලට තේරුම් ගියොත් ඒකත් හරි අපූරු දෙයක්.

(ප්‍රබුද්ධි රණසිංහ සංස්කාරක)


නව අදහස දක්වන්න

Or log in with...