පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය ගැන වහාම වාර්තාවක් ලබාදෙන්න | දිනමිණ

පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය ගැන වහාම වාර්තාවක් ලබාදෙන්න

පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දෙයි.

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය.

දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වියළි කාලගුණික තත්ත්වය මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 09කට පමණ බලපා ඇති අතර කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මන්නාරම, යාපනය,

වව්නියාව යන දිස්ත්‍රික්කවල පවුල් 143,235ක් පමණ ඉන් පීඩාවට පත්ව සිටී.

ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සෙසු ජල පහසුකම් සපයාදීම, වියළි සලාක ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ජලය ලබාගත හැකි මූලාශ්‍ර ප්‍රමාණාත්මකව සීමාසහිත වීම සහ ඒවායේ ජලධාරිතාවන් අවම මට්ටමක පැවතීම, වන සතුන්ගේ ජල අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් ජලය නොලැබීම සහ වනසතුන්ගෙන් ජනතාවට හා දේපළවලට සිදුවන හානි වැඩිවීම, විදුලි උත්පාදනය සඳහා වන බලපෑම,

ආහාර සුරක්ෂිතතාවට ඇතිවිය හැකි බලපෑම් යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අදාළ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති නළ ළිං අළුත්වැඩියා කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලයඅරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව දැනුවත් කිරීම වැනි කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික කම්කරු පවුල්වල ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක නියං සහනාධාර වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.

ඇමැතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද, වයඹ පළාත් මහ ඇමැති ධර්මසිරි දසනායක මහත්වරුන්ද මැති ඇමැතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරුන්ද අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න