විශ්වාසභංගයට පක්ෂ වුණ අය එළියට යන්න ඕන | දිනමිණ

විශ්වාසභංගයට පක්ෂ වුණ අය එළියට යන්න ඕන

දුමින්ද සම්පත්
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන

විශ්වාසභංගය, වසර තුනක යහපාලනය, පුංචි ඡන්දය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ආණ්ඩුවේ ඇතුළත ගැටුම ආදිය පිළිබඳ අවධානය යොමුකරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැති හමුවට එක්වේ.

* තොරණ එපා කතාව මාධ්‍ය හදපු එකක්
* අලුත් ඡන්ද ක්‍රමය ජාතික අපරාධයක්
* පාරෙ කුණුබක්කියටත් උද්ඝෝෂණය කරනවා

විශ්වාසභංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කිරීමත් එක්ක ආණ්ඩුවේ ඊළඟ තීන්දුව මොකක්ද?

වි‍ශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමා‍ජිකයින් ලක්ෂ 8කගෙ මූලික අයිතිවාසිකම් මේ වෙන කොට කඩවෙලා. ඒ සඳහා විධිමත් සැලැස්මක් එක්සත් ජාතික පක්ෂ නායකතුමන් ඇතුළු පක්ෂය මේ වනවිට සකසමින් ඉන්නෙ. ඒකට ප්‍රමුඛත්වය දිය යුතුයි.

මම ඇහුවෙ ආණ්ඩුවෙ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා.

ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා. ස්ථාවර වුණා.

ආණ්ඩුවෙ ඇමතිවරුන්ම විශ්වාස භංගයට පක්ෂව, ඡන්දය දුන්නා?

ඔවුන් කියන්නෙ කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නැහැ කියල. එහෙනම් ඒ අයට එතන ඉන්න බැහැ. ස්වභාවික නීතියට අනුව ඒ කැබිනට් ධුරය අහෝසි වෙන්න ඕන. ලෝකෙම පිළිගත් ස්වභාවික නීතිය ඒක. කැබිනට් මණ්ඩලයෙ සාමුහික ඒකඟතාව කියන්නෙ ඕක නෙවෙයි.

දයාසිරි ජයසේකර ඇමතිවරයා කියනවා ජනාධිපතිවරයයි ඔවුන්ගෙ කැබිනට් අමාත්‍ය ධුරය ගැන තීන්දු ගන්නෙ කියල

එහෙනම් ඔවුන් කැබිනට් මණ්ඩලය විශ්වාසයි කියල නැවත කියන්න ඕන. ඒ අය කැබිනට් මණ්ඩලයෙ සාමුහික වගකීම කැඩුවා.

විශ්වාසභංගයෙන් පස්සෙ අලුත් කැබිනට් මණ්ඩලයක් ගැන කතා වුණා?‍‍

ඒ ගැන මට තීරණය කරන්න බැහැ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දු ගනියි.

යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් ගතවෙලා. 2015 අගෝස්තු මාසෙ වෙච්ච පොරොන්දු තවමත් ඉටුකරන්න බැරිවෙලා නේද?

ඕක සම්පූර්ණ වැරදි ප්‍රශ්නයක්. එදා ආණ්ඩුව වෙනස්වීමෙන්ම රටේ වෙන්න ඕන වෙනස ඇතිවුණා. මහජනතාවට පේන්නෙ නැත්තෙත් මේක. ජනවාරි 08 වැනිදා පළමුටික වුණා. ඉතිරි ටික අගෝස්තු 14 වෙනිදා වුණා. ඒ පාලනය වෙනස්වීම තුළම ජනතා පරමාධිපත්‍යය ඇතිවුණා. ඔබට මාධ්‍ය නිදහස ලැබුණා. ඔබ දැන් කතා කරනවා. විෂයන් හැටියට සමහර තැන්වල අඩුපාඩු ඇති. ඒවා නිවැරදි කරගත යුතුයි. වල්බූරු විදියට නිදහස භුක්ති විඳිනවා. ඒවා නැවැත්විය යුතුයි. සමහරු කියනවා හොරු ඇල්ලුවෙ නැහැ කියලා. හොරකම නතර කරපු එකම ඇතිනෙ. ඒ හරහා රටට ලොකු මුදලක් ඉතිරිවුණා.

හොරකම නතර වුණා කිව්වත්, මහ බැංකු වංචාව වුණා නේද?

ඒක සමාජගත කරපු සම්පූර්ණ වැරදි මතයක්. බැංකු එන්නත් කලින් රජ කාලෙත් ගමේ තිබුණු ක්‍රමයක් තමයි සීට්ටු ක්‍රමය. වෙන්දේසි ක්‍රමයේදී ඉල්ලුම්කරුවො ඉල්ලනවා. මහ බැංකුවෙත් තියෙන්නෙ මේ ක්‍රමය තමයි. තෝරාගත් බැංකු ක්‍රමයෙන් 2008 ඉඳන් 2015 වෙනකන් මහ බැංකුව ගනුදෙනු කළා. ජනතාවට පොරොන්දු වුණා ‍වගේ අපි 2015 මහ බැංකුව ලෝකයට විවෘත කළා. පැරණි ක්‍රමයට නීති තිබුණෙත් නැහැ. අලුත් ක්‍රමයට නීති තිබුණෙත් නැහැ. නීති නැති තැන ලාභ ලැබුවා. වෙන්දේසි ක්‍රමයේදී ඔත්තු දෙන එක වැරදියි. මහ බැංකුවෙ කවුරු හරි එහෙම ලංසු ගැන ඔත්තු දීලා තියෙනවා නම් ඒ අය දඬුවම් ලබන්න ඕන. ප්‍රථම වතාවට මහ බැංකුවෙන් ගත්තු ලාභයට රුපියල් බිලියන ගණනකට සීල් තියලා තියෙන්නෙ. ගත්ත ලාභය වැඩියි කියලා ආණ්ඩුව නැවත ඒ මුදල් ඉල්ලනවා. ජනාධිපති කොමිසමෙන් කියනවා කිසිම දේශපාලනඥයෙක් මේකට සම්බන්ධ නැහැ කියලා.

විවිධ කාලවලදී ආණ්ඩුව විසින්ම අලුත් ප්‍රශ්න ඇතිකරගන්නවා නේද? අලුත්ම ප්‍රශ්නෙ වෙසක් දවසට තොරණ එපා කියපු එක?

ඔය මාධ්‍ය හදන විකෘති. කාටද මොළේ අමාරුවක් තියෙන්නෙ තොරණ නවත්වන්න. පෝය දවසට දාන, සීල, භාවනා වැඩසටහන්වලට මූලිකත්වය දිය යුතුයි කියලා. ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේලා විශ්වාස කරනවා. මේ දවස තොරණ, සැණිකෙළිවලට යන්න එපා කියන එක මහා සංඝයා වහන්සේලාගේ ඉල්ලීමක්. බෞද්ධ දර්ශනය මොකක්ද කියලා මුලින්ම හිතන්න ඕන. බෞද්ධාගම ගැන කතා කරන අය දර්ශනය දන්නෙ නැහැනෙ. ඒ අය හිතන්නෙ තොරණක් ගහලා බෙරයක් ගහල පාර දිගේ නටන එක බෞද්ධකම කියලනෙ. මහජනයාට විනෝදාංශ නැහැ. පෝයට ඒ අය විනෝද වෙනවා. රටේ මුලින්ම විනෝදාංශ ඇතිකරන්න ඕන.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉතිරි කරලා ගිය පෝට්සිටිය, සයිටම් හම්බන්තොට වරාය වගේ ගැටලුවලට විසඳුම් හොයනව මිසක් මේ ආණ්ඩුවට අලුතින් යමක් කරන්න බැරිවුණා නේද?

ඕකත් ඔය මාධ්‍ය ඇති කරලා තියෙන මතයක්නෙ. දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බෙ 2002 දී. පාරෙ අයිතිකාරයා වෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා. චන්ද්‍රිකා ජනාධිපතිතුමියගෙ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙ ආණ්ඩුවෙත්, 2004 වෙනකොට අධිවේගී මාර්ගෙ වැඩ පටන් ගන්න තිබුණෙ. ඒ මුල්ගල හංගල අලුත් ගලක් කියල විවෘත කළාම මහින්ද චින්තනය වුණා. ඉතින් මිනිස්සුත් මැජික් වගේ කට ඇ‍රං බලන් ඉන්නවනෙ. මේ කාලෙ අපි මහා ව්‍යාපෘති රැසක් ආරම්භ කරන්න අක්කර දහස් ගණනක් වෙන්කරලා ඉවරයි. නුවර පාර විතරක් නෙවෙයි, ගිංතොට, බෙන්තොට, අකුරල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුවෙ මේ ව්‍යාපෘති හැදෙනවා.

ඔබ ඔය කියන සංවර්ධන වැඩපිළිවෙළ ගැන, ජනතාව දැනුවත් කරන්න, ආණ්ඩුවෙ යාන්ත්‍රණය ශක්තිමත් නැහැ නේද?

එතන දුර්වලතාවක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. රුපියල් ලක්ෂ 10 වැඩසටහන් ග්‍රාමීය මට්ටමෙන් 2015 දී 14000 ක් ක්‍රියාත්මක වුණා. 2016 දී 14000 ක් 2017 රුපියල් ලක්ෂ 5 වැඩසටහන් 14000 ක් ක්‍රියාත්මක වුණා. මේ සංවර්ධනය මාධ්‍යයට නොයාම බරපතල වරදක්.

යහපාලන ආණ්ඩුව හැටියට බොහෝ දෙනෙක් දැක්කෙ එ.ජා.පක්ෂයයි. ශ්‍රී.ල.නි.පක්ෂයයි කුලල් කාගැනීමයි. එකට ගමනක් යන්න බැරිවුණේ ඇයි?

නොගැළපෙන කණ්ඩායම් දෙකක් එකට එකතුවුණාම ගැටුම් ඇතිවෙනවා. ඒක ස්වභාවිකයි. ගැටුම් නිරාකරණය කර ගැනීම වැදගත්. මේ නායකයො දෙන්න ගැටුම් නිරාකරණයට දක්ෂයි. ඒ නිසා මේ ගැටුම් නිරාකරණය කරගනිමින් අපි ඉදිරියට යනවා.

එක්සත් ජාතික පක්ෂයෙම සමහරු ආණ්ඩුවට බනිනවා. මේ ගැන මොකද කියන්නෙ?

කවුරුත් මනුෂ්‍යයොනෙ. ඒ නිසා මේ තත්ත්ව ස්වභාවිකයි. එක එක්කෙනාගෙ දැනුමෙ ප්‍රමාණ වෙනස්. ඒ හින්ද වැඩිය කලබල වෙන්න හොඳ නැහැ.

එක්සත් ජාතික පක්ෂයෙ දක්ෂයන්ට තැනක් නොදීම ගැන බොහෝදෙනෙක් කලකිරිමෙන් නේද ඉන්නෙ?

මේ පක්ෂය 1988 න් පස්සෙ මහා ඛේදවාචකයකට මුහුණ දුන්නා. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහත්තයට අවුරුදු දෙකකට පස්සෙ දෝෂාභියෝගයක් ගෙනාවා. ඒකට මුල්වුණේ එ.ජා.පක්ෂයෙම කොටසක්. ගාමිණි, ලලිත්, ප්‍රේමචන්ද්‍ර පක්ෂයෙන් ගියා. අපේ ඡන්ද ලක්ෂ 10 ක් විතර අරගෙන රාජාලියා පක්ෂය හැදුවා. මෙතනින් ආරම්භ වෙච්ච පක්ෂයෙ කුලල් කා ගැනීම් අපිට බලය අහිමි කළා.

එක්සත් ජාතික පක්ෂයේ ගමේ පොලිස් ඒජන්ට් ඉඳලා ශාඛාවෙ සභාපති දක්වා 8000 ක් ඝාතනය වුණා. මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙච්ච පවුල් ලක්ෂ 8 ක් විතර මේ පක්ෂයේ ඉන්නවා. අපි ජිනීවා ගියේ නැහැ. මම කියන්නෙ ඒ ප්‍රශ්නත් මානව හිමිකම් එකට යන්න ඕන. මේ අය පක්ෂයට, නායකයට විරුද්ධව කෑගහනවා. අපි ඒ අයගෙ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි. මේ ප්‍රශ්නය ගැන පක්ෂය ඇතුළෙ කතාකරලා මම තනිවෙච්ච අවස්ථා තියෙනවා. ඒත් මම ඒ අය වෙනුවෙන් හඬ නඟනවා.

මෙච්චර කල් ඒවට උත්තර හොයන්න ප්‍රමාද වුණේ ඇයි?

තනි බලයක් එක්සත් ජාතික පක්ෂයට ලැබුණෙ නැහැ. තනි බලයක් නැතුව උත්තර හොයන්න බැහැ. විරුද්ධ පක්ෂයට ගියත් තනි බලයක් ගොඩ නැඟිය යුතුයි.

එ.ජා.පක්ෂය පළාත් පාලන මැතිවරණයට යන්නෙ තනි බලයක් ගොඩනඟන්න. ඒ බලාපොරොත්තුවට මොකද වුණේ?

කල්වේලාව ඇතිව ජනතාව අපිට කහ එළියක් දුන්නා. දැන් කොළ එළියට යන්න අපි වැඩ කළ යුතුයි. අපිට කරන්න බැරි වෙච්ච වැඩ ටික ඉක්මන් කළ යුතුයි.

ජනතාව කොළ එළිය දිපූ පළාත් පාලන ආයතනවල බලයත් පොහොට්ටුවට යනවා?

සම්පූර්ණ අපේ වැරැද්දනෙ. මේ ගෙනාපු පළාත් පාලන ක්‍රමය ජාතික අපරාධයක්. පාර්ලිමේන්තුවෙ ඉන්න 224 දෙනෙක් මේකට වගකියන්න ඕන. විජේදාස රාජපක්ෂ මහත්තය මේකට ඡන්දෙ පාවිච්චි කළේ නැහැ. මේ කතාකරන මමත් ඒ අපරාධයෙ කොටස්කාරයෙක්. මේකෙ මූලික සාකච්ඡාවලදී මම මේ ක්‍රමයට විරුද්ධ වුණා. ඒත් මට ක්‍රමය වෙනස් කරන්න බැරිවුණා.

පළාත් සභා මැතිවරණය ළඟ ළඟම එනවා. ඒ මැතිවරණය කොහොම වෙයිද?

දැන්ම කේන්දර බලන්න එපා. තවකල් තියෙනවනෙ. කේන්දරේ එතකොට හදමු.

උද්ඝෝෂණ, පිකටිං, වැඩවර්ජන රැසක් පසුගිය කාලෙ ඇතිවුණා. මේවාට කඩිනම් විසඳුම් දෙනව වෙනුවට ආණ්ඩුව කල්මැරීම තමයි කළේ?

නෑ.... නෑ.... ඔබට තේරෙන්නෙ නැහැනෙ. ඔබ අවුරුදු 20 ක් පුරුදු වෙලා හිටියේ පිකටිං, විරෝධතා උද්ඝෝෂණ නොකරන්න. කුණුබක්කියක් පාරෙ තිබුණත් මිනිස්සු දැන් පාරෙ වාඩිවෙනවා. ඇයි? නිදහස තියෙනවනෙ. මම හිතන්නෙ මේ වල්බූරු නිදහස පාලනය කළ යුතුයි.

එක් අතකින් ජිවන බර අනෙක් අතින් බදු බර ජනතාව මත පැටවෙමින් තිබෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

රජ කාලෙ ඉඳලම බදු තිබුණා. ඒ හින්දනෙ මහා සෑයවල් ඉදිවුණේ. බදු අඩු වැඩි වශයෙන් තියෙනවා. බදු බර ජනතාව මත පටවන්න කිසිම ආණ්ඩුවක් ක්‍රියාකරන්නෙ නැහැ. බදු මුදල් හරියාකාරව එකතු කරගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. බදු මුදල් මහජනයා වෙනුවෙන් වෙන් වෙන්නෙ. මහජනතාවට බදු කරදරයක් නම් ඒවා වෙනස් කරන්න පුළුවන්.

රාජ්‍ය ආයතන විකුණා දැමීමට මේ ආණ්ඩුව සැරසෙන බවටත් ‍චෝදනා එල්ල වෙනවා?

ඕව වාමාංශිකයන්ගෙ ගොන් කතා. ලෝකයේ දියුණු රටවල් ගිය තැන අපි බලන්න ඕන. මැලේසියාව, සිංගප්පූරුව ගැන කතා කළාට වැඩක් නැහැ. ඒ ක්‍රම අපි ක්‍රියාත්මක කරන්න ඕන. රාජ්‍ය ආයතන මානසිකත්වය තියෙන්නෙ විශ්‍රාම වැටුප හින්ද. ඒකට ඉදිරියේදී විසඳුමක් අවශ්‍යයි.

නව අදහස දක්වන්න