විශ්වාසභංගය ගැන එදා කතා සහ මෙදා කතා | දිනමිණ

විශ්වාසභංගය ගැන එදා කතා සහ මෙදා කතා

* ගම්මන්පිලට, විමල්ට රනිල්ගෙන් ඇමැතිකම්!
* නවීන්-සජිත් කී එකම කතාව
* ලැබූ ජය ජරාජයක් කරගත් ඒකාබද්ධය

තමන් වගාකරන නැතහොත් පදිංචිව සිටින ඉඩම්වලට පිළිගත් ඔප්පු නොමැතිවීම මෙරට ග්‍රාමීය ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ උ‍පදෙස් මත ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ එම ප්‍රශ්නයට විසඳුම් දීම සඳහාය. ඒ යටතේ ඉඩම් ඔප්පු දහසක් බෙදාදීම පසුගියදා පොළොන්නරුවේදී සිදුවුණා. එහිදී ප්‍රදේශයේ ගොවි ජනතාවට මෙන්ම වකුගඩු රෝහල ඉදිකිරීමටත් ඉඩම් ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථාන තුනකටත්, මුස්ලිම් පල්ලියකටත් ඔප්පු ලබාදීම විශේෂත්වයක් වුණා. ප්‍රදේශයේ පාසල් ඉඩම් ගණනාවක් සඳහා ද ඔප්පු ලබා දුන්නා.

එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ නිලධාරීන් හා ආයතන පිළිබඳව මහජනයාගේ ප්‍රසාදයක් නැති බවයි. එය දිගු කලක් තිස්සේ පවතින ප්‍රශ්නයක් බව ජනාධිපතිතුමා කීවා. නිලධාරීන් රුපියල් සතවලට වහල් වී දූෂිත, අවිනීත ආකාරයෙන් ක්‍රියාකරනවා නම් රජය කුමන ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළත් ප්‍රයෝජනයක් නොවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ‍

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාවේ පිහිටි සටන් පුහුණු පාසලේ වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය සඳුදා සිදුවුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සටන් පුහුණුව ලබා විසිර යන ගුවන් හමුදා භටයන්ට වර්ණ ප්‍රදානය මෙහිදී සිදුකළා. එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ ගුවන් හමුදාවට අවශ්‍ය තාක්ෂණික හා වෙනත් සියලු කුසලතා ප්‍රගුණ කර ගැනීමට රජයේ පූර්ණ සහාය දෙන බවයි. ‍

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කොට තිබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ගන්නා ස්ථාවරය පිළිබඳව තීරණය කිරීමට එම පක්ෂයේ කණ්ඩායම පසුගිය දිනවල අවස්ථා කිහිපයක රැස්වුවත් එම රැස්වීම් උණුසුම් වූයේ කණ්ඩායම තුළ මත ගැටුමක් ඇතිවීම හේතුවෙන්. එක් කණ්ඩායමක් විශ්වාසභංගයට පක්ෂව දැඩි ලෙස පෙනී සිටිද්දී තවත් පිරිසක් එයට විරුද්ධව සිටීම ජනාධිපතිවරයාට ද බරපතළ ප්‍රශ්නයක් වුණා. කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිතුමා කීවේ ශ්‍රීලනිපය - එජනිසය ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවයි. එසේ වුවද සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් තදින්ම කියා සිටියේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය යුතු බවයි. අවසානයේ ඔවුන්ට කැමැති ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දීමට ජනාධිපතිතුමා තීරණය කළා. ඒ අනුව ඔවුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අතර, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක, එජනිස මහලේකම් මහින්ද අමරවීර ඇතුළු බහුතරය ඡන්දය දීමට පැමිණියේ නැහැ.

පසුගිය 04 උදයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන තෙක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාපය මැති ඇමතිවරු කාර්යාලයේ රැඳී සිටි අතර සභාව ආරම්භ කරන අවස්ථාවට එක් වූ අගමැතිවරයා යළිත් කාර්යාලයට පැමිණියා.විශ්වාසභංගයට මුහුණ නොදී ඉල්ලා අස්වන ලෙස ශ්‍රීලනිපය හා සෙසු පාර්ශ්ව මෙන්ම ඇතැම් ජනමාධ්‍ය ඔහුට බල කළද ඊට මුහුණ දී ජය ගන්නා බව ඔහු කීවේ දැඩි අධිෂ්ඨානයකින්. විටින් විට සභා ගැබ හා සිය කාර්යාලය අතර එහා මෙහා ගිය අගමැතිවරයා විශ්වාසභංගය ජය ගැනීමේ මෙහෙයුම තව දුරටත් දියත් කළා. ශ්‍රීලනිප මැති ඇමතිවරු පිරිසක්ද විටින් විට පැමිණ අගමැතිවරයා හමු වුණා.

“බැඳුම්කරය ගැන පරීක්ෂණ කීපයක් පැවැත්වූවා.එහිදී පැමිණි නිර්දේශවල අගමැතිවරයා ඊට සම්බන්ධ බවට වාර්තා වී නැහැ.මේ විශ්වාසභංගය ආණ්ඩුව පෙරලා ඉක්මනින් බලය ලබාගෙන තමන්ට එරෙහිව පවතින නඩුවලින් ගැලවීමට ඒකාබද්ධය හා ශ්‍රීලනිප ඇතැමුන් යෙදූ උපක්‍රමයක්. අපි ඒකට යට වෙන්නෙ නෑ” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා‍. එදින දහවල වනවිට එජාප ජය නියත බවත් ඡන්ද 120 කට වඩා අගමැතිට පක්ෂව ලැබෙන බවත් ප්‍රති පාර්ෂවයට ඡන්ද 75 ක් පමණක් බවට ගණන් හදා තිබුණා.

රාතී 9:30 ට ඡන්ද විමසීම සිදුකළ විට අගමැතිට පක්ෂව ඡන්ද 122ක් හා විපක්ෂව ඡන්ද 76ක් ලැබී තිබුණා. සෙසු එජාප මැති ඇමතිවරු උදම් අනද්දී අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටවී කෙලින්ම ගියේ ගංගාරාම විහාරයේ ආගමික කටයුතු වලටයි. එය නිමකළ අගමැතිවරයා නිවසට ගොස් නින්දට වැටුනේ වෙනදා නොබලන ටී.වී. චැනල් පවා කිහිපයක් නැරඹී­‍ෙමන් පසුවයි. සුභ පැතුම් රට හැමතැනින්ම පැමිණි අතර රට පුරා එජාප පිරිස් ප්‍රීතිය පළ කළේ රතිඤ්ඤා පත්තු කරමින් ඔල්වරසන් දෙමින් හා නර්තන ඉදිරිපත් කරමින්.

බ්‍රහස්පතින්දා උදේම සුපුරුදු පරිදි අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සමීප මාධ්‍යකරුවන් දෙදෙනෙකු සමඟ සිරිකොත ගියේ එහි සූදානම්ව තිබූ පිළිගැනීමේ සාදකටයි. එය අවසන් කළ ඔහු පාර්ලිමේන්තු ගියේ එදිනට නියමිතව තිබූ අලුත් මහාධිකරණ පිහිටුවීමේ පණතට අදාළ විවාදයට එක්වීමටයි. ඔහු මුලින්ම ගියේ සිය කාර්‍යාලයටයි. එහි සිටි මැති ඇමතිවරුද අගමැති පිළීගත්තේ උණුසුම් ලෙසින්.

"මේ ජයග්‍රහණයෙන් එජාපයට ලොකු ගැම්මක් ලැබුණා. මේ ගැම්ම දිගටම පවත්වාගෙන යන්න ඕනෑ. මීට වඩා ශක්තිමත් ජනමාධ්‍ය මෙහෙයුමක් අපට අවශ්‍යයි" එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කිව්වා.

" ඒකාබද්ධය පළාත් පාලන ඡන්දයෙන් ගත්ත ගැම්ම එයාලම විශ්වාසභංගය හරහා වළලා දැම්මා කියලයි ජනතාව දැන් කියන්නේ.විශ්වාසභංගය එක්ක ශ්‍රීලනිපය ඉවරෙට ඉවරයි. පොහොට්ටුව පරවුණා. එජාපය පිබිදුණා. මේක අගමැතිතුමාට හා එජාපයට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා" " නවීන් දිසානායක කිව්වා.

"පක්ෂ ප්‍රතිසංවිධානයත් කඩිනම් කළ යුතුයි. ඒ වගේම ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න ගැනත් මූලිකත්වය දෙන්න ඕනෑ" අගමැතිවරයා කිව්වා.

"විශ්වාසභංහය බාරදී දින 14ක් තුළ එය ඡන්දයට ගැනීමෙන් ඔබතුමා තුළ තිබූ ශක්තිය රටට පෙන්නුවා. ඒකාබද්ධය හැදුවේ මේක කල්දාල ඇඟ බේරගන්නයි" දයා ගමගේ කිව්වා.

" භේද පසෙකලා පක්ෂය කා ආණ්ඩුව වෙනුවෙන් සියලුදෙනාම මෙතනදි කැපවීම අපි ලැබූ ලොකුම ජයයි" අගමැති කීවා.

"සියලු ජාතීන්, සියලු ආගම්, සියලු කුල ගෝත්‍රවල අය මේ විශ්වාසභංගයේදී ඔබතුමා එක්කයි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ හරය යළිත් සනාථ වුණා. වසර 03කට පසු ඡන්ද 122 ක් ලැබීම විශාල ජයක්" නවීන් දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාස කීවේ එකම කතාවක්.

"කෙහෙලියට ගම්මන්පිලට පාර්ලිමේන්තු ලොබියේදී මේ විශ්වාසභංගය ගෙනාවට මම ස්තූති කළා. මහින්දත් හමුවුණා. මේ කළ සේවයට ගම්මන්පිලට වීරවංශට ඇමතිකම් දීල කලගුණ සලකන්න මම සූදානම් කියල කිව්වම මහින්ද බඩ අල්ලං හිනා වුණා” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදයි.

“පරාද වුණාම ඒකාබද්ධය කියන්නෙ අපි සල්ලි දීල දිනුවලු. උතුරට රහස් පොරොන්දු දුන්නලු.”දයා ගමගේ කිව්වා.

“ ඒකාබද්ධයේ හා ශ්‍රීලනිප සමහරු නම් මහින්දටත් හොරෙන් සල්ලි ඩීල් දාල කියල කතා යනවා. අපි දිනුවේ ප්‍රතිපත්තිමය පදනමකින් මේ අයට දැන් කියන්නෙ“ගෝවා පාර්ශවය” කියලයි ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදයි.

“ එජාපය බිහි කරපු විශ්වාසභංග බබා අපි නලවන්න ගියා කියල බැසිල් බැනලාලු.ඒකාබද්ධ අය අතර ගුටි බැට හුවමාරුවෙන තත්වයක් ඇතිවෙන්න ගියාලු” රන්ජන් රාමනායක කීවේ ඔහුට ලැබුණු තොරතුරක් මත පදනම්වයි.

“ දෙමළ සංධානයට අපි කිසිම පොරොන්දුවක් දුන්නේ නෑ. 2015 ජනපතිවරණ එකඟතා ඉටු කරන්නැයි ඔවුන් ඉල්ලීම සාධාරණයි.ඊට අමතරව හිරවූ ඉඩම් ගැන බලන්න කියනවා.උතුරේ සංවර්ධනය මීට වඩා වේගවත් කරන්න ඉල්ලනවා. චෝදනා නැතුව රඳවාගෙන ඉන්න දෙමළ අයට චෝදනා දාලා නඩු අහල වැරදිකරුවන් නම් දඬුවම් හෝ නැත්නම් නිදහස් කරන ලෙසත් ඉල්ලනවා.දෙමළ අයට රැකියාත් ඕනලු. ඒවා සාධාරණ ඉල්ලීම් ” අගමැති කීදේ සියලු දෙනා අනුමත කළා.

“ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් අය ඉවත් කරන්නැයි එජාපයේ 33 ක් අත්සන් කළ ලිපියේ පිටපතක් මටත් ලැබුණා. ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා , එස්.බී.,සුසිල්, චන්දිම ඉල්ලා අස්වෙනවලු. ඒ අයට මේ ලණුව දුන්නේ ශ්‍රිලනිපයේ ඉහළින්ම කියලත් ඔවුන් දැන් කියනවලු.දයාසිරි අස්වෙන්න බෑ කියල අඩනවලු.විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් සියලු දෙනා ආණ්ඩුවෙන් යා යුතුයි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා. “ නියෝජ්‍ය කථානායකත් පක්ෂග්‍රාහී නිසා එයාටත් ඉඩ දිය යුතු නෑ.”කිරිඇල්ල වැඩි දුරටත් කීවා.

“ විශ්වාසභංගයට අත්සන් කළ මුතුහෙට්ටිගම දැන් අහනවලු මම අත්සන් කළාද කියල. එයා හා අත්සන් කළ මුස්ලිම් මන්ත්‍රී ඡන්දෙන් වැලකුණේ සුසිල්ලාට කොකා පෙන්නලායි.” පී හැරිසන් කීවේ සිනා මැදයි.

“ ඉදිරි වසර 02 තුළ ජනතාවට සහන, තරුණ පිරිසට රැකියා හා රටට වේගවත් සංවර්ධනයක් ගේන සැලසුමක් අපි දියත් කරමු.” සජිත් ප්‍රේමදාස කළ යෝජනාවට අගමැති ඇතුළු සියලු දෙනා එකගත්වය පල කළා.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අතින් ජනතා අයිතියට පත්වුණු මාතර දිස්ත්‍රික්කයේ පළමු උදා ගම්මානය වූයේ වැලිගම, මිදිගම "යසඉසුරුගම"යි. 51 වැනි උදා ගම්මානය වන "යසඉසුරුගම" විවෘත කිරීමේ උත්සවයට සජිත්, මංගල හා බුද්ධික පැමිණියේ එකම රථයකින්. සජිත් එසේ එද්දී මංගල ඇමැතිවරයා වෙත විශේෂ ස්තූතියක් පළකළේ වත්මන් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් ඉකුත් අය-වැයෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කරමින් දැක් වූ සහයෝගය ගැන සිහිපත් කරමින් මංගල එකවර ඇසුවේ "සජිත් ඔයා උදා ගම්මාන කීයක් හදන්න බලාපොරොත්තු වෙනවද? මොකක්ද ඉලක්කය?" කියායි.

'දැනට ගම්මාන 601 ක් හැදෙමින් පවතිනවා. 2020 වෙනකොට ඉලක්කය ගම්මාන 2500 ක්" සජිත්ගේ ක්ෂණික පිළිතුර වුණා. "මාර ඉලක්කයක්නේ"මංගල කීවේ පුදුමයෙන්. සජිත් කීවේ"අධිෂ්ඨානයයි උත්සාහයයි තියෙනවා නම් මොනවද ඇමතිතුමා කරන්ඩ බැරි... අපේ තාත්තා නාගරික මන්ත්‍රීකමෙන් පටන් අරන් මේ රටේ ජනාධිපති වෙලයි නැවතුණේ" කියායි. "අපි මේ ඉලක්කයට යන්නේ සැලසුම් සහගතවයි. නිලධාරීන් ක්‍රමානුකූලව ‍වේගයෙන් වැඩ කරන පිරිසක්. සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වනවා. මේවා පුද්ගල චරිත පුම්බන්න කරන වැඩ නෙවෙයි. ඒ නිසා ඔබතුමා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් දක්වන සහයෝගය අපට ලොකු ශක්තියක්, සජිත් කීවා. බුද්ධික ගැනත් පුංචි පහේ විවරණයක් කිරීමට සජිත් අමතක කළේ නැහැ. "බුද්ධික වගේ දක්ෂ පක්ෂ හපන්කම් ඇති තරුණයන් කීප දෙනෙක් අපේ අමාත්‍යාංශයෙත් ඉන්නවා. බුද්ධික කියන්නේ ඉඳිකටු සිදුරෙන් හරි රිංගලා ගිහින් ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු නියමෙටම කරන දක්ෂයෙක්"යනුවෙන්.

රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය භාරව සිටින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශය අනිකුත් රේඛීය අමාත්‍යාංශ සියල්ල සමග කටයුතු කරන බැවින් අමාත්‍යවරයා අතිශය කාර්ය බහුලයි. නමුත් පසුගිය සිකුරාදා සිට බදාදා දක්වා ඇමති වජිර තමන් කලින් සැලසුම් කර තිබූ සියලු වැඩසටහන් අවලංගු කළා. ඒ විශ්වාසභංගය පරාජය කිරීමේ මෙහෙයුමේ දී අගමැතිවරයා විසින් භාරදුන් ඉතා වගකීම් සහිත කොටසක් සම්පූර්ණ කිරීම සඳහායි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අතට ගත් ඇමති වජිර සිය නිවසට වී එක් එක් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් විශ්වාසභංගයේ දී කෙසේ හැසිරෙනු ඇත්දැයි පැය කිහිපයක් අධ්‍යයනය කළා. ඉන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව ම කතා කරමින් ඔවුන් සමග විශේෂ හමුවීම් පවත්වන්නට වුණා.

හමුවීම් වැඩි ප්‍රමාණයක් තිබුණේ ග්‍රෙගරි පාරේ පිහිටි වජිර ඇමතිවරයාගේ නිවසේයි. එක් අයකු පැමිණ ගිය විට තවත් අමාත්‍යවරයකු හෝ මන්ත්‍රීවරයකු එහි ආවා. ඇතැම් ඇමතිවරු හා මන්ත්‍රීවරු සමග විටින් විට ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවුණා. නැතිනම් අගමැතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කළා.

විශ්වාසභංගයට සහාය දෙනු ඇතියි සැකයක් තිබූ පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක සමග කිහිප අවස්ථාවක දී ම සාකච්ඡා කරන්නට ඇමති වජිර අමතක කළේ නැහැ. එමෙන් ම විජේදාස රාජපක්ෂ මහතාගේ සහාය ලබාගැනීම සඳහා ද ඔහු සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වූවා.

මේ අතර අඟහරුවාදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවට ද වජිර අබේවර්ධන අමාත්‍යවරයා එක්ව සිටියා. මංගල සමරවීර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරු ද ඒ අවස්ථාවට එක්ව සිටියා.

එහි දී ඇමති වජිර ජනාධිපතිවරයාට 88-89 භීෂණ කාලය සිහිපත් කරමින් කියා සිටියේ පක්ෂයේ නායකයා ඇතුළු 8000ට වැඩි පිරිසක් ආයුධ සන්නද්ධ උතුරේ හා දකුණේ කණ්ඩායම් අතින් ඝාතනය වුව ද මෙතෙක් පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන්ට ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටුවී නැති බවයි.

''අපිට තනි ආණ්ඩුවක් නැති නිසා පාක්ෂිකයන් කලකිරිලා හිටියා. නායකතුමාට දොස් කියන්නේ පක්ෂයේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ලබා නොදීම නිසා. මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ." වජිර එසේ කියන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ ඉතිං ඔයාලම වැඩ පිළිවෙළක් හදලා ක්‍රියාත්මක කරන්න යනුවෙන්.

පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දී ඇමති වජිර මහ පොතක් රැගෙන පැමිණ එය පෙන්වමින් සභාගත කරන බව කීවා.

'' මේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව. මේ පොතේ එක පිටුවක හරි අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ මේ කිමිටුවේ සාක්ෂි දුන් මලික් සමරවික්‍රම මහතා හෝ කබීර් හෂීම් මහතා හෝ වරදකරුවන් කියා සඳහන්ව ඇත්නම් මට පෙන්වන්න. බොරු චෝදනා කරන්න එපා. "

එසේ කියනවාත් සමග බිමල් රත්නායක මන්ත්‍රීවරයාත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් රීති ප්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේ

''මේ වාර්තාව අපිට ලැබුණේ නෑ. ඒක වජිර ඇමතිවරයාට ලැබුණේ කොහොම ද ?" යනුවෙන්.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෝශාභියෝගය පරාජය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුමේ විශාල වැඩ කොටසක් භාරව කටයුතු කළ ඇමති වජිර බදාදා රාත්‍රී ඡන්ද විමසීම අවසන්වනතුරු ද විවේකයක් තිබුණේ නැහැ. ඒ ඒ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් තවදුරටත් විස්වාසභංගයේ පරාජය තහවුරු කරමින් සිටි ඔහු විස්වාසභංගය අවසන් වූ වහාම ගංගාරාම විහාරස්ථානයට ගියා. ඒ අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබූ බෝධිපූජාවකට සහභාගී වීමටයි.

එහි දී වජිර අබේවර්ධන විස්වාසභංගය පරාජය කිරීමට කරන ලද මෙහෙයුමට අගමැතිවරයා ස්තූති කළේ වජිර ගොඩක් මහන්සි වුණා යැයි ද කියමින්.

ඊයේ (බ්‍රහස්පතින්දා) උදෑසන විදේශ කටයුතු අමාත්‍යාංශයත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව විදෙස්ගතවන ලාංකිකයන්ගේ සහතික සත්‍යාපනය කිරීමේ ව්‍යාපෘතිය ගාල්ලෙන් ආරම්භ කිරීමට යොදාගෙන තිබුණ ද එම වැඩසටහනට සහභාගී නොවූ ඇමති වජිර සිරිකොත පක්ෂ මූලස්ථානයට ගියේ පාර්ලිමේන්තුවේ දී විස්වාසභංගය පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය සැමරීමේ අපේක්ෂාවෙන්.

මේ සඳහා මාධ්‍යවේදීන් ද පක්ෂයේ ක්‍රියාකාරිකයන් ද විශාල පිරිසක් සහභාගී වී සිටියා.

අගමැති රනිල් සමග කිරිබත් කෑ වජිර, සජිත්, අකිල, කබීර්, රවී, විජේපාල, ඇතුළු පිරිස බදාදා රාත්‍රී ලැබූ ජයග්‍රහණය සැමරුවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා තැන තැන විවිධ කතා කීවා. වරෙක එතුමා කීවේ තමන් විශ්වාසභංගය භාරදුන් බවත් එයට ශ්‍රීලනිපයේ ඡන්දය ලබාදී ජයග්‍රහණය කරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බවත්ය.

මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පිරිස් වශයෙන් පැමිණෙන්නේ පොහොට්ටුව ලකුණින් තරග කළ පළාත් පාලන ආයතනවලට පත්වූ කණ්ඩායම්වල උදවියයි. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ජයගත් කණ්ඩායමද පසුගියදා කොළඹ විජේරාම පෙදෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණ ඒ මහතා හමුවුණා. එහිදී විශ්වාසභංග යෝජනාව ගැන සඳහන් කළ රාජපක්ෂ මහතා එම කණ්ඩායමට අවවාද කළා. “අගමැතිවරයාට වගේම ඔබලටත් විශ්වාසභංග එන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් කටයුතු කරන්න. මහජනයාගේ විශ්වාස නැතිකර ගන්න එපා.” කියා රාජපක්ෂ මහතා තම පළාත් පාලන නියෝජිතයන්ට අනතුරු ඇඟවීමක් කළා.

කටාන ශ්‍රී වර්ධනාරාමයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරයෙහි සංඝාවාසය හා පුස්තකාලය විවෘත කිරීමේ උළෙලටද මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ විශ්වාසභංගයට මොකද වෙන්නේ කියලා යන හැම තැනකදීම තමන්ගෙන් අහන බවයි. විශ්වාසභංගයට වෙන දේ හැමෝම දන්න නිසා තමන් කිසිවක් නොකියන බව ඒ මහතා කීවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළ විශ්වාසභංග යෝජනාව ගැන උණුසුම් වාද විවාද ඇතිවන බව වාර්තා වනවා. මෙය ඉදිරිපත් කිරීමට විරුද්ධව සිටි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කියන්නේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම මෙයින් සම්පූර්ණයෙන් අහෝසි වී ගිය බවයි. එජාපයටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් ජයග්‍රාහීව නැගී සිටීමට අවස්ථාවක් මෙයින් ලැබුණු බව එම පිරිස පෙන්වා දෙනවා. ඔවුන්ගේ අදහස නම් විශ්වාසභංගයක් ඉදිරිපත්කොට ඒකාබද්ධ විපක්ෂය කරගත්තේ මෝඩකමක් බවයි.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා කීවේ විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියාය. ඔවුන්ට ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට හා ඉන් කොටසක් ඉවත් කරගැනීමට හැකිවීම නිසා ගම්මන්පිල එය ජයග්‍රහණයක් යයි කියන්නේ යෝජනාව පරාජය වී තිබියදීයි.

විමල් වීරවංශ මහතා අවසන් මොහොත දක්වා කීවේ විශ්වාසභංගය දිනන බවයි. කඩුවෙල දිනාගත් පරිදිම රනිල් ගෙදර යැවීමද ස්ථිර බව ඒ මහතා අන්තිම මොහොතේදීත් කියා සිටියා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී වීරවංශ මහතා කීවේ ආණ්ඩුව අර්බුදයට යැවීම මිස විශ්වාසභංග යෝජනාව ජයගැනීමේ අරමුණක් නොතිබූ බවයි.

නව අදහස දක්වන්න