ඇස් වසා විකුණන වස විස පළතුරු | දිනමිණ

ඇස් වසා විකුණන වස විස පළතුරු

අසේල කුරුළුවංශ

පලතුරු ආහාරයට ගැනීමට ලොකු කුඩා කවුරුත් දක්වන්නේ උනන්දුවකි.වෛද්‍යවරුන් පවා අඩුම තරමින් දිනකට පලතුරු ග්‍රෑම් 80 ක පමණ ප්‍රමාණයක් හෝ ආහාරයට ගැනීම මනා සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමට හේතුවන බව ප්‍රකාශ කරති. කාර්ය බහුලත්වය නිසාම ක්ෂණික ආහාර හෝ කඩ කෑමවලට යොමුවී සිටින ජනතාව සිතේ සතුටින් අගුණයක් නොමැති කෑමක් ලෙස විශ්වාසයෙන් ආහාරයට ගන්නේ පලතුරුය.හොඳින් ඉදුණු අඹ,කෙසෙල්,පැපොල් ගෙඩියක මිහිර හා ගුණය දන්නා මව්පියන් තමන්ගේ වැඩෙන දරුවාට ලැබෙන හැම විටම පලතුරක රස බලන්නට අවකාශ ලබා දෙන්නේ ඉන් කිසිදු අගුණක් ශරීරයට සිදු නොවන බව දන්නා නිසාය.මේ නිසා ටොෆි,චොකලට් වැඩිපුර කනවාට විරුද්ධ වන මව්පියන් පලතුරු නම් ඇති තරම් තමන්ගේ දරුවන්ට දෙන්නට කැමතිය.තරුණ කතුන් රුව හැඩ ගන්වා ගැනීම පිණිස පැපොල් වැනි පලතුරු මුහුණේ ආලේප කරන අවස්ථාද තිබේ.උපදින දරුවාට හොඳ පෝෂණයක් මෙන්ම ලස්සන රුවක් ලැබෙතැයි විශ්වාස කර මව් වරුද ගැබිණි සමයේ පලතුරු රස බලන්නට අමතක නොකරති.විටමින් වර්ග ගණනාවක් පලතුරු ආහාරයට ගැනීම තුළින් ශරීරයට හිමිවන අතර මළ බද්ධය වැනි රෝග තත්ත්වයන්ටද ඉන් පිළියම් ලැබේ.මේ ආකාර ගුණ සමුදායක් තිබෙන බැවින් පලතුරුවලට ලොව කොතනැත් ඇත්තේ හොඳ ඉල්ලුමකි.මෙම ඉල්ලුම නිසා පලතුරු ව්‍යාපාරිකයින් රැසක් බිහිව තිබේ.මහ පරිමාණ,මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ ලෙස වර්ග කර තිබෙන මෙම ව්‍යාපාර ජාලය තුළ යහපත් මෙන්ම අයහපත් වෙළෙඳුන්ද සිටිති.ලාභ පමණක් ඉලක්ක කොට යහපත් ගුණ ධර්ම සියල්ල පොඩි පට්ටම් කරමින් ව්‍යාපාර කරන පිරිස මෙරට එන්න එන්නම වැඩි වෙමින් තිබීම කණගාටුවට කරුණකි.අධික මිල ගණන්වලට පලතුරු අළෙවි කර පාරිභෝගිකයින් කොල්ලකන අතරම මොවුන් පලතුරු කල්තබා ගැනීමට හා ඉක්මනින් ඉද වීමට නීත්‍යාකූළ නොවන නොයෙක් රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ පාරිභෝකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් නොකරය.

එවැනි වෙළෙන්දකුට පසුගියදා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා විසින් ලබාදුන් දඬුවමක් මෙසේ පලතුරු සම්බන්ධ කතා කරන්නට හේතු විය.පේරාදණිය ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ සලක භාරකරුවෙ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මාස හයක සිර දණ්ඩනයට යටත් කළ අතර ඊට අමතරව ඔහුට රුපියල් දස දහසක දඩයක්ද නියම විය.මේ සියල්ලට හේතු වූයේ පලතුරු කෘත්‍රිමව ඉදිවීම සඳහා රජයේ අනුමත රසායනිකයක් අවභාවිත කිරීමය.එත්‍රල් (Ethereal) නැමැති රසායනිකය ජලයේ දියකර කෙසෙල් කැන්වලට ස්ප්‍රේ කිරීම මොහුට එල්ලවූ චෝදනාව විය.පේරාදෙණිය මහකන්ද හා අම්පිටිය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අදාළ රසායනික ද්‍රව්‍යය සහ ඒවා කෙසෙල් කැන්වලට ස්ප්‍රේ කරන්නට යොදා ගත් විදින යන්ත්‍රද සමඟිනි.පාරිභෝගික පනත යටතේ මෙම වරද සම්බන්ධයෙන් මාස හයේ සිට වසර තුනක් දක්වාවූ සිර දඬුවමක්ද රුපියල් දස දහසක දඩයක්ද නැතහොත් එම දඬුවම් දෙකමද නියම කිරීමේ බලය අධිකරණයට ඇත.පලතුරු වෙළෙන්දන්ට එරෙහිව මහජන පරිභෝජනයට නුසුදුසු පලතුරු අළෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන අවස්ථා බොහෝ අඩුය.මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු මෙවැනි දේ අසුවූ විට බහුලව කරන්නේ ඒවා විනාශ කර දමා යළිත් එවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කිරීමය.අධිකරණයට ඉදිරිපත් කළත් බොහෝ විට සිදු වන්නේ මෙවැනි වරදකට රුපියල් තුන් දහසක පමණ දඩයක් නියම කිරීමය.එහෙත් මෙවර සිදුවූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා සිතා ගත නොහැකි දෙයකි.කෘතිමව පලතුරු ඉදිවීම පිණිස රසායනික ස්ප්‍රේ කිරීමේ වරදට මේ ආකර සිර දඬුවමක් නියම වූයේ ලංකාවේ ප්‍රථම වතාවටය.මෙම දඬුවමත් සමග මෙරට පලතුරු අළෙවිකරුවන් 60 % ක පමණ පිරිසක් බියට පත්වූ බව නොඅනුමානය.ඒ ඔවුන් සැම මෙම ක්‍රියාව කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේ සිදුකරන නිසාවෙනි.

“රජයේ නිර්දේශිත පලතුරු ඉදවුම් කාරක තිබෙනවා.මුලින් මේ සඳහා භාවිත කළේ අපි කවුරුත් අසා තිබෙන කාබයිට්.මේක කුඩු විශේෂයක්.ජලය සමඟ කාබයිට් මිශ්‍ර කළාම ඇසිටලීන් වායුව නිෂ්පාදනය වෙනවා. මේ මිශ්‍රනය සංවෘත කාමරයක පලතුරු සමඟ තිබ්බම ඉන් නිකුත් වන ඇසිටලීන් වායුව මගින් පලතුරු ඉදීමේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා.කැල්සියම් කාබයිට් ජලය සමඟ මිශ්‍ර කළාම නිකුත් වන ඇසිටලීන් වායුව තමයි සාරවිට අළෙවි කරුවන් රාත්‍රී කාලයේ සාරවිට තට්ටුව ආලෝකමත් කරන්න ගිනි දැල්ලක් විදිහට පාවිච්චි කරන්නේ.පලතුරු ඉදිමේ ක්‍රියාවලිය උත්තේජනය කරන ඇසිටලීන් වලට අමතරව කාබයිට්වල කැඩ්මියම්,ආසනික් වගේ අහිතකර බැර ලෝහ තිබෙනවා.සුළු ප්‍රමාණ වලින් තිබුණත් මේවායින් වන බලපෑම කොයි ආකාරද කියලා තීරණය වන්නේ අප ඒවා භාවිත කරන පිළිවෙළ හා කාලය අනුවයි.පලතුරු ඉතා ඉක්මනින් ඉදවා ගන්න අපේ වෙළෙන්දෝ කාබයිට් වතුරේ දිය කරලා කෙසෙල්,පැපොල්,අඹ වගේ පලතුරු වලට ස්ප්‍රේ කරන්න ගත්තා.කාබයිට් අවභාවිතය නිසා 2011 දී මැයි මාසයේදී ලංකාවේ කාබයිට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළා.ඉන් පසුව තමයි මේ එත්‍රල් භාවිතය ආරම්භ වුණේ.එත්‍රල් ජලයේ දිය කළාම එතිලීන් වායුව නිෂ්පාදනය වෙනවා.පලතුරු ඉදෙන්න පටන් ගන්නකොට ගෙඩිය තුළම මේ එතිලීන් ස්භාවිකව නිෂ්පාදනය වෙනවා.එමගින් තමයි ඉදීම වේගවත් වන්නේ.කෙසෙල් කැනක එක ඇවරියක් ඉදුනම අනෙක් ඒවා ඊට පසු ඉක්මනින් ඉදෙන්න ගන්නේ මේ එතිලීන් එහි නිපදවෙන නිසයි.අපි මෙතනදී කරන්නේ පලතුරු ඉක්මනින් ඉදවන්න එතිලීන් භාහිරින් දෙන එකයි.ඇත්තෙන්ම මේක අහිතකර නැහැ.මොකද ස්භාවිකව පලතුරු ගෙඩිය ඇතුළත ඉදිමේ ක්‍රියාවලිය සිදු වන්නේත් එතිලීන් මගිනුයි.ප්‍රශ්නය තිබෙන්නේ අපේ වෙළෙන්දෝ නියමිත නිර්දේශ තුට්ටුවකට ගණන් නොගෙන මේවා භාවති කිරීමයි.රටේ නිති ක්‍රියාත්මක වීමේදී පවතින බරපතල අඩුපාඩු කම් මේ කූඨ වෙළෙන්දෝ තමන්ගේ වාසියට පාවිච්චි කරනවා....පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.

“ජලය ලීටර් 01 කට එත්‍රල් මිලි ලීටර එකක් මිශ්‍ර කරන එක තමයි රජයේ නිර්දේශය.මේ මිශ්‍රනයේ මිලි ලීටර තුනත් පහත් අතර ප්‍රමාණයක් වර්ග අඩියක් තුළ තියන්න පුළුවන්. ඉදවන්න අවශ්‍ය පලතුරු ළගින් සංවෘත කාමරයක මේවා තැබීම තුළින් පලතුරු ඉදිමේ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා.පැය 24 ක් තැබීම තමයි රජයේ නිර්දේශය. රජය කිසිම අවස්ථාවක මේ රසායනිකය පලතුරු වලට කෙලින්ම ස්ප්‍රේ කරන්න නිර්දේශ කරලා නැහැ.ඒක නීතියෙන් වරදක්.කෙසෙල්,අඹ,පැපොල්,පෙයාස්,අලිපේර වගේ පලතුරු වලට තමයි මේක නිර්දේශ කරලා තිබෙන්නේ.අන්නාසි,මිදි,කාමරංගා,ස්ට්‍රෝබෙරි වගේ පලතුරු වලට මේ ක්‍රමය යොදා ගන්න බැහැ.පලතුරු ගෙඩිය ගහෙන් කඩාගත් පසු තව දුරටත් ඉදෙනවා නම් එවැනි පලතුරු වලට තමයි මේ එත්‍රල් භාවිත කරන්න පුළුවන්.මිදි,ස්ට්‍රෝබෙරි,දොඩම් = වගේ පලතුරු අපි ගහෙන් කඩා ගන්නේ ඉදුණු පසුයි.කඩාගත් පසු මේවා තවදුරටත් ඉදෙන්නේ නැහැ.කල් යනකොට සිදු වන්නේ කුණු වෙන එකයි.අන්නාසි වල පොත්ත මේ ක්‍රමය මගින් කහ පාටට හැරුණත් එහි ඇතුළ ඉදෙන්නේ නැති නිසා එත්‍රල් අන්නාසිවලට යොදා ගන්නත් බැහැ.ඒත් පලතුරු වෙළෙන්දෝ අන්නාසි ඉදවන්නත් මේ ක්‍රමයට . අඹ ගෙඩියක් සල්ලි දීලා ගෙදර අරන් ගිහින් කැපුවම අඹ ගෙඩියේ අටෙත් කැපෙනවා.ගැට ඉදවලා විකුණනවා.මේක තමයි තත්ත්වය.වෙන රටවල පලතුරු වගා වතු වලින් අස්වැන්න නෙළන්නේ විධිමත් ක්‍රමයකටයි.කෙසෙල් කැන් කපන්නේ හොඳින් පැහුණු පසුයි.අඹ කඩන්නේත් එහෙමයි.ඒවා ස්භාවිකව ඉදෙන කොට සුවඳ වගේම රසත් තිබෙනවා.පැහුණු ගෙඩි වල ඉදීමේ ක්‍රියාවලිය උත්තේජනය කරන්න එත්‍රල් නියමිත නිර්දේශ අනුව යොදා ගැනීම කිසිදු වරදක් නැහැ.එමඟින් පලතුරේ රසයට හා ගුණයට හානියක් වෙන්නේ නැහැ.බෙහෙත් ගහපු ගැට පලතුරු වල පාට තිබ්බට සුවදයි ගුණයි නැහැ..සමහර වෙළෙන්දෝ එත්‍රල් භාජන වල දියකරලා ඒවගේ කෙසෙල් කැන් ගිල්ලවනවා.මේවායින් ශරීරයට අහිතකර බලපෑම් එල්ල වන බවට කිසිම සැකයක් නැහැ.“..හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහනුවර දිස්ත්‍රික් සංගමයේ ලේකම් අසංක රාජපක්ෂ මහතා...“ගොඩක් වෙළෙන්දෝ අනුමත නිර්දේශවලට පිටින් පලතුරු ඉදවන්න එත්‍රල් යොදා ගන්නවා.මේක කරන අවස්ථාවේ අල්ල ගැනීම අසීරුයි. මේවා ස්ප්‍රේ කළාට පස්සේ හොයා ගන්නත් අමාරුයි.වෙළෙන්දෝ මේක දන්නවා.මේ අවුරුදු කාලේ කෙසෙල් වලට වැඩි ඉල්ලුමක් තිබෙනවා.ඉල්ලුම වැඩි නිසා මිලත් ඉහළයි.මේ වගේ වෙලාවට පැහිච්ච නැති කෙසෙල් කැන් පවා විකුණගන්න තමයි බලන්නේ.කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේශ අනුව පලතුරු ඉදවන්න ගියොත් ඒ සඳහා සංවෘත කාමරයක් අවශ්‍ය වෙනවා.අනෙක් කාරනය ඒ මාත්‍රාව අනුව පලතුරු ඉදිම ක්‍රමානුකූළව තරමක් සෙමින් සිදු වන්නේ. මාත්‍රාව වැඩි කරලා ගෙඩි වලටම ස්ප්‍රේ කළාම පැය ගානකින් ඉදෙනවා.මේ ලබාදුන් දඬුවම තුළින් මේ වරද මොන තරම් බරපතළද කියන එක තේරුම් ගන්න පුළුවන්.වැඩි මිලට විකිණීම්,අඩු බරට කිරීම් වලදී පාරිභෝගිකයාගේ මුදලට තමයි හානි වන්නේ.ඒත් මේ වගේ වැඩ වලදී හානි වන්නේ පාරිභෝගිකයාගේ සෞඛ්‍යයටයි.තමන්ගේ දරුවන්ට මේ බෙහෙත් ගහපු පලතුරු කන්න දෙනවාද කියන එක වෙළෙන්දෝ මුලින් හිතලා බල්නන ඕන.ඒ අයට ස්භාවිකව ඉදෙන හොඳ පලතුරු දීලා රටේ අනෙක් ජනතාවගේ දරුවන්ට විස විෂ කවන එක හොඳද.පලතුරු කෘතිමව ඉදවා ගැනීම සම්බන්ධව ගොවීන් දැනුවත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින්.ඔවුන් නියමිත නිර්දේශ අනුගමනය නොකර ඒ වැඩේ කරන කොට ඉන් සමාජයට වන අයහපත් බලපෑම වලක්වන් කටයුතු කරන්නේ සෞඛ්‍යය දෙපාර්තුමේන්තුව.මම හිතන්නේ මෙතනදී මේ ආයතන දෙක ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත්.

මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා ...පලතුරු ඉදෙන සාමාන්‍යය ක්‍රමවේදයක් තිබෙනවා.අපේ ශරීරයත් මේ ස්භාවිකව ඉදෙන පලතුරු පරිභෝජනයට හුරුවෙලා තිබෙන්නේ.ඒකයි ඒවා කෑමව කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන්නේ.පලතුරු ඉදවන්න නිර්දේශිත නොවන ක්‍රම අනුගමනය කිරීම කාලයක පටන් කරන දෙයක්.මේව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ හරිම මන්දගාමිවයි.නීති ක්‍රියාත්මක වීම මන්දගාමී වීම වැරදි කරන අයට උත්තේජනයක්..මේ වගේ රසායනික ද්‍රව්‍යය නිර්දේශ ඉක්මවා යොදලා ඉදවපු පලතුරු ආහාරයට ගැනීමෙන් ක්ෂණිකව ශරීරය තුළ අයහපත් දේ සිදු වෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි.බලපෑම තිබෙන්නේ දීර්ඝ කාලීනවයි.මේ විෂ රසායන රුධිරයට එකතුවී පටක වල තැන්පත් වෙන්න පුළුවන්.ශරීරයේ විෂ හරනය කරන ප්‍රධාන අවයවය අක්මාවයි.දීර්ඝ කාලීනව මේවා අක්මාවට හා වකුගඩු වලට අයහපත් ලෙස බලපාන්න වැඩි ඉඩක් තිබෙනවා.විශේෂයෙන් ගර්භනී සමයේ මව්වරු වැඩිපුර පලතුරු ආහාරයට පෙළඹෙනවා.දරුවන්ගේ තිබෙන්නේ වැඩෙන පටක.ඒවාට විශාල බලපෑමක් මේ නිසා එල්ල වෙන්න පුළුවන්.මේ නිසා ආහාර වලට අනවශ්‍යය ලෙස විෂ රසායන එකතු කිරීම සම්බන්ධව නීති දැඩි කළ යුතුයි.මේවාහි අයහපත් ප්‍රතිඵල දීර්ඝ කාලීන දකින්න ලැබෙන නිසා අපේ මිනිස්සු මේ ගැන දක්වන උනන්දුව අඩුවීම තමයි ප්‍රශ්නය.ජනතාවටත් මෙතනදී වගකීමක් තිබෙනවා.මෙවැනි දේ දුටුව හොත් අඩු තරමේ පැමිණිල්ලක් හරි කරන්න.“

පලතුරු ඉදවීම සඳහා මෙම රසායනික ද්‍රව්‍යය භාවිත කරන කටුගස්තොට වෙළෙන්දෙකු අප හා පැවසුවේ මේ ආකාරයට පලතුරු නොඉඳවා අළෙවියෙන් ලාබ ලැබිය නොහැකි බවකි. ඔහු පාරිභෝකයින්ටද චෝදනාවක් එල්ල කරන්නට ඔහු අමතක නොකළේය....මහත්තයා මිනිස්සුම තමයි අපිට කියන්නේ දාන ගෙයක් මළ ගෙයක් තියෙනවා ඉදිච්චි කෙසෙල් කැන් දෙක තුනක් ඕන කියලා.හෙට ඕන වුණාම අද කියන්නේ.බෙහෙත් ගහලා හරි කමක් නැහැ කියලා ඒ අයමයි කියන්නේ.ඉතින් අපි බෙහෙත් ගහලා බඩු දීලා බිස්නස් එක කරනවා.අනිත් එක මිනිස්සු ඉල්ලන කොට ඉදිච්චි පලතුරු දෙන්න තියෙන්න ඕන.නැත්තං වෙන කඩේකට යනවා.පලතුරු ඉදෙන්න ගත්තම ඔක්කොම එකවර ඉදෙන්න ගන්නවා.භාගයක් විතර විසි කරන්න වෙනවා.මේ හින්දා බෙහෙත් ගහලා ඕන ටික ඉදව ගෙන විකුණන එක තමයි කරන්න තියෙන එකම දේ.ලංකාවේ බෙහෙත් ගහලා පලතුරු ඉදවන්නේ නැති එකම වෙළෙන්දෙක් වත් නැහැ කියලා මම හිතන්නේ.මම දන්න ඔක්කොමලා බෙහෙත් ගහනවා.හැබැයි මේ අය එයාලගේ ගෙවල් වලට ගෙනි යන්න හොඳ බඩු වෙනම අයින් කර ගන්නවා.මහත්තයා දන්නවාද ඇඹිලිපිටිය පැත්තෙන් කෙසෙල් පටවන කොට සමහර ලොරි වලට එතනදීම බෙහෙත් ගහනවා කියලා.මෙහේට බඩු ආවම මිනිස්සු බෙහෙත් ගහලා නැහැ කියලා අමු කැන් අරන් යනවා.ගෙදර ගිහින් දවසෙන් දෙකෙන් ඒවා ඉදෙනවා.මේක නතර කරන්න හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන නීතියක් ගේන්න ඕන.අපේ රටේ සාමාන්‍යෙයන් සිද්ධ වෙන්නේ පොඩි මිනිහට එක හැන්දකිනුයි ලොකු මිනිහට තවත් හැන්දකිනුයි බෙදන එකනේ.ඉස්සරවෙලා මහ පරිමාණයෙන් කරන අය කරන වැරදි වලක්වන්න ඕන....ඔහු එසේ පැවසුවේ නීති ඇති පදම් ඇතිමුත් ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවීම පිළිබඳ අත්දැකීම් සමුදායක් සමඟිනි.

නව අදහස දක්වන්න