ගීත කලාවේ ඇත්ත පැත්ත | දිනමිණ

ගීත කලාවේ ඇත්ත පැත්ත

සංස්කෘතික පරිණාමයේදී ජන සංස්කෘතියේ සිට පශ්චාත් සංස්කෘතියක් කරා පැමිණි වත්මන් මානවයා තත්පාසන්න වූ යථාර්ථයක ජීවත් වූයේ මවාගත් සත්‍යයක් පෙරදැරි කොට ගෙනය. මෙම පශ්චාත් සංස්කෘතිය තුළ “කලාව” ද එම ස්ථානයේ සිටිනු ඇත. කලාව තුළ ඇති අංගයන් අතුරින් ගීත නි‍ර්මාණ ප්‍රධාන වේ. වත්මනයේ සෑම අංශයක් ම පරිවර්ථනය වීම මත මෙම ගීත නිර්මාණ කලාව ද සම්පූර්ණයෙන්ම අශිෂ්ඨත්වයක් කරා ගමන් කරන්නේද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.

සමකාලීන ලාංකේය ගීත නි‍ර්මාණ වි‍ශේෂකොට ගත් විට ද ඒ තුළ ඇත්තේ ගීත නිර්මාණ නිෂ්පාදනයන් වේ. එනම් යමක් නිර්මාණය කරනුයේ රසවින්දනයට මුත් නිෂ්පාදනය කරනුයේ වාණිජ බලාපොරොත්තු පෙරදැරිකර ගෙනය. ඒ තුළ ගීත කලාව බුද්ධිමය, සදාචාරාත්මක අතින් පහළට ඇද වැටී ඇත. එය සමාජය ආවරණය කරන්නක් බවටද මනුෂ්‍ය රසවින්දනයන්, මනුෂ්‍යය සෞන්දර්භයන් සමජාතීවරණය කර ඇත. එමෙන්ම ඒ තුළින් මිනිසා මෙහෙයවන තත්ත්වයක් ඇති වීද යන්න සැක සහිත වේ.

විශේෂයෙන්ම මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ජනප්‍රිය සංස්කෘතියේ සම්ප්‍රාප්තියයි. ඒ අනුව 19 වැනි සියවසේ මැද භාගයත් සමඟම හා අනතුරුව වර්ධනය වූ ආර්ථික, තාක්ෂණික වර්ධනයත් සමඟම පෙරලියට පත් වූවකි. එමෙන්ම මේ තුළදී ගීතය ද අද වන විට විපර්යාසයකට ලක් වී ඇත. මන්ද යත් එය ඍජුවම සම්බන්ධ වී ඇත්තේ වෙළෙඳපොළ සමඟ බැවිනි. මේ ඔස්සේ කලාකරුවාද නිෂ්පාදකවරයෙකුගේ තත්ත්වයට පත් වී ඇත.මෙම පවතින පසුබිම තව තවත් වර්ධනය කරන්නෙකු ලෙස පාඨකයෙකු ලෙස මාධ්‍ය කර්මාන්තයෙනුත් විද්‍යුත් මාධ්‍ය විශාල ලෙස සම්බන්ධ වී ක්‍රියාකරනු ඇත. එනම් ඔවුන් යමෙකු එළියට දමනු ලබන ඕනෑම ගීත වීඩියෝවක් මිලදී ගැනීමට සැරසී ඇත්තේ ‘මුදල්’ යන්න මහා පොදු සාධකය කරගෙනය. මෙයට අනෙක් පසින් ඉවහල් වී ඇත්තේ රිගින්ටෝන් කලාවයි.

එදා ගීතය සහ අද ගීතය අතර හුදෙක් වචනාර්ථ තුළ විශාල වූ පෙරලියකට ලක් වී ඇත. අරුත් සුන් වූ වචන යොදා රූප රචනය අධි සංවේදී තත්ත්වයකට ගෙනවිත් ඇත. රසවිඳින්නා මේ තුළ ගීතයේ අරුථ විමසීමට නොයන්නේ ගීත වීඩියෝව එක රූප රාමුවක් නැරඹී සිතට කා වදින තත්ත්වයේ නැතිනම් නිරුවත මූලික වී ඇති නිසාවෙනි. එදා ගීතයෙන් සියුම්ව ලියවුණු ලිංගිකත්වය අද එළිපිටම රඟදැක්වීම සාමාන්‍යකරණය වී හමාරය. මනුෂ්‍යයාගේ ප්‍රකෘතිය තුළ තැන්පත් වී ඇති දේ, එනම් ලිංගිකත්වය, ගිජුකම, තරඟකාරිත්වය අද නිර්මාණ හරහා විකෘති තත්ත්වයට පත් කර ඇත.

වැඩි වෙහෙසක් නොවී නිර්මාණය කරනු ලබන නිර්මාණය අන්තර්ජාලයට මුදාහරින්නේ LIDES, VIEWS වැඩි කරගැනීමට වේ. පවතින තත්ත්ව වෙනස් කිරීමෙහිලා හැකියාව ඇත්තේ ද ජනමාධ්‍යයටම වේ. මන්ද ජනප්‍රිය වීමේ මුදල් ගරා ගැනීමේ ආලේප වලින් තොරව, කලාවේ සුන්දරත්වය අව්‍යාජත්වය වෙනුවෙන්, රසික සිත්සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමේ කාර්යයේදී සුදුසු දේ තෝරා බේරා ග්‍රාහකයාට ලබාදීමට වගකීම මෙම නිර්මාණ ඉදිරිපත් කරන මාධ්‍යයට පැවරී ඇත. අර්ථවත් නොවන එකම දේ තව තවත් නිෂ්පාදනය නොකිරීමටත් ඒ තුළින් කලාව යන දේ රැක ගැනීමටත් මේ තුළ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ජනමාධ්‍යයටද විශාල වගකීමක් පැවරෙනු ඇත.

ඩී. එල්. මධුෂනි
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය

 

නව අදහස දක්වන්න