කොන්දේසි උල්ලංඝනය කළ යාත්‍රා 4ක් සමඟ සැක 32ක් අල්ලයි | දිනමිණ

කොන්දේසි උල්ලංඝනය කළ යාත්‍රා 4ක් සමඟ සැක 32ක් අල්ලයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය තුළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හැඹිලි දැල් දැමූ පිටත එන්ජින් සවිකරණ යාත්‍රා හතරක් සමඟ සැකකරුවන් 32 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හා ධීවර නිලධාරීහු එක්ව සිදු කළ මෙහෙයුමක දී පෙරේදා (05) සමත් වූහ.

බලපත්‍ර කොන්දේසි කඩකරමින් හැඹිලි දැල් යොදා මසුන් මරණ බවට මුර සංචාරයේ නිරත නාවිකයන් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ බව ත්‍රිකුණාමලය ධීවර කාර්යාලයට දන්වා ප්‍රාදේශීය ධීවර පරීක්ෂක වයි. කේ. එම්. තිලක් බණ්ඩාර සෙනරත්, ධීවර නිලධාරි කේ. ඉෂාර යන මහත්වරු එක්ව මේ වැටලීම සිදු කළ බව සහකාර ධීවර අධ්‍යක්ෂ ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීය.

කින්නියා පිවිසුමෙන් වරායට ඇතුළුවී මෙසේ එළන ලද හැඹිලි දැල් හතක් යාත්‍රා හතරක්, එන්ජින් හතරක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ නීති විරෝධී ක්‍රියාව මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ නාවික හමුදාව බවත්, අනතුරුව ඔවුන් සමඟ එක්ව මේ මෙහෙයුම දියත් කර සැකකාර ධීවරයන් 32 දෙනා අත්අඩංගුවට ගත් බවත් සහකාර අධ්‍යක්ෂවරයා කීය. සැකකරුවන් හැඹිලි දැල් සමඟ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න