ගෝඨාගේ අතුරු තහනම මැයි 25 දක්වා දීර්ඝ කෙරේ | දිනමිණ

ගෝඨාගේ අතුරු තහනම මැයි 25 දක්වා දීර්ඝ කෙරේ

නෙල්කා මැදගෙදර

වීරකැටිය, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරක ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීම වළකමින් නිකුත් කැර ඇති අතුරු තහනම් නියෝගය මැයි මස 25 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) තීරණය කෙළේය.

එහෙත් මෙම අතුරු තහනම් නියෝගය මෙම සිද්ධිය සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට බාධාවක් නොමැති බවට මෙකී අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට සම්බන්ධ නියෝගය ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය සඳහන් කෙළේය. අදාළ ‍අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පක්ෂ විපක්ෂ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට තීරණය කෙළේය.

‍එම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රිට් පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම මැයි මස 25 දින ඇරඹීමට නියම කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ‍ලදී.

වීරකැටිය, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර තිබිණි.

එම සහතිකය බලරහිත කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කෙළේය.

එම රිට් පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීම වළකමින් ඉකුත් 2017 නොවැම්බර් මස තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය. එම ඉල්ලීම පිළිබඳ කරුණු දැක්වීමට නීතිපතිවරයාට අවස්ථාව නොදී ඒකපාර්ශ්වික කරුණු දැක්වීමකින් ‍පසුව පමණක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පසුව විරෝධය පළ කෙළේය. තමාටද කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව එම අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කළ අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම කරුණු සලකා බලා විභාගයක් පැවැත්වීමට තීරණය කෙළේය.

මෙම පෙත්සම සම්බන්ධ නීතිපතිවරයාගේ විරෝධතා අප්‍රේල් මස 23 හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කළ අතර ප්‍රතිවිරෝධතා මැයි මස 14 හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම විය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සහ රජයේ නීතිඥ උදාර කරුණාරත්න නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න