අලුත් අවු­රුද්දට ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු | දිනමිණ

අලුත් අවු­රුද්දට ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු

අලුත් අවුරුද්දත් අත ළඟම නිසා, නිවෙසට එන අමුත්තන්ට අලුත් විදිහකට සංග්‍රහ කරන්න මේ වනවිටත් ඔබ හිතා ඇතිවාට සැකයක් නැත. ඒත්, ඒ සඳහා සකස් කරන කෑම වර්ග ගැන තවමත් ඔබ හිතා නැත්නම්, ඔබට අවශ්‍ය වේ යැයි හිතෙන කෑම වර්ග කිහිපයක් ඉදිරිපත් කිරීමට අපි සිතුවෙමු.

 

 

සී ෆුඩ් යෙලෝ රයිස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බාස්මතී හෝ සම්බා හාල් කිලෝ 01යි

සුප් කැට 01යි

සුදුලූණු සහ අමුඉඟුරු මේස හැඳි 01යි

රම්පෙ

කරපිංචා

කුරුඳු පොත්තක්

කරඳමුංගු කරල් දෙකක්

කරාබු නැටි දෙකක්

ලොකු ලූණු ගෙඩි 02යි

කජු ග්‍රෑම් 100යි

වියළි මිදි ග්‍රෑම් 100යි

ඉස්සො ග්‍රෑම් 100යි

මාළු ග්‍රෑම් 100යි

කහකුඩු ස්වල්පයක්

තෙල්

සැරසීම සඳහා

ඉස්සො

කුඩා පපඩම් කැබලි

පාස්ලි කොළ

 

සාදන ක්‍රමය

 

ඉස්සො සහ මාළු සෝදා පිරිසුඳු කර ගන්න. කුඩාවට කපා ගත් මාළු හා ඉස්සො, වියළි මිදි හා කජු වෙන වෙන ම බැදගෙන පසෙකින් තබා ගන්න. භාජනයක් ළිප තබා, එයට තෙල් දමා රත් වූ පසු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කරඳමුංගු, කරාබුනැටි එක්කර බැදෙන්න හරින්න. ඉන් පසු එයට ඉඟුරු සුදුලූණු හා ලියාගත් ලොකු ලූණු ද එක්කර ගන්න. මේ තෙම්පරාදුවට සෝදාගත් සහල් එක්කර මද වේලාවක් බැඳෙන්න හරින්න.

පසුව කහ කුඩු ස්වල්පයක් හා අවශ්‍ය ප්‍රමාණයට වතුර එයට එක්කරන්න. සුප් කැටය ද එක්කර, බත උයා ගන්න. බැදගත් මාළු, ඉස්සො, කජු, මිදි එක්කර කලවම් කර ගන්න. පසුව දීසියකට දමා, පාස්ලි කොළ, ඉස්සො, පපඩම් බතට උඩින් දමා, සරසා පිළිගන්වන්න.

 

 

ආස්මී

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සුදු කැකුළු හාල් කිලෝ 01යි

අවශ්‍ය පමණ ලුණු

දවුල් කුරුඳු

පොල් ගෙඩියක මිටි කිරි

බැදීමට අවශ්‍ය පිරිසිඳු පොල් තෙල්

පැණි සාදා ගැනීමට

සීනි

කලරින්

ලුණු

 

සාදන ක්‍රමය

හාල් පොඟාවාගෙන පිටි කොටා ගන්න. එම පිටි පවුඩර් ලෙස සිටින පරිදි කිහිප වතාවක් හොඳින් හළා ගන්න. පසුව දවුල් කුරුදු හොඳින් පොඩිකර, නානු කෝප්පයක් පමණ සාදා ගන්න. එම නානු රෙදි කෑල්ලකට දමා මිරිකා, කෑලි නොසිටින සේ යුෂ පමණක් වෙන් කර ගන්න. පොල් කිරි ද, පොල් කුඩු නොසිටින සේ රෙදි කඩකින් පෙරා ගන්න. පවුඩර් සේ හලාගත්ත පිටිවලට පොල් කිරි දමා, හොඳින් අනා ගන්න. එයට ලුණු ද එක්කරන්න. පසුව නානු දමා කලවම් කර ගන්න. ඇඟිලි පහ පිටි මිශ්‍රණයට දමා, ඉහළට ගන්නා විට නොකැඩී පිටි ටික දිගට ම වැකකෙරෙනවා නම් එය අවශ්‍ය. පදමය. පසුව පොල් කට්ටකින් හැදූ ආස්මි අච්චුවක් ගෙන, එයට පිටි මිශ්‍රණය දමා රවුමට සිටින සේ පිටි මිශ්‍රණය නටන තෙලට වක්කරන්න. හැන්දයි තෙල් කූරයි ආධාරයෙන් දැන් එය දෙකට නමා ගන්න. බැදගත් ආස්මි ළිපෙන් බාගෙන, මද වෙලාවක් තෙල් ඉවත්ව යන තුරු තබන්න. දින තුන හතරකට පසු නැවත බදින්න.

දැන් සීනි, කලරින් සහ ලුණු එක් කරගෙන, පැණි සාදා, එය ආස්මි උඩට හැන්දෙන් වක්කරන්න.

 

 

 

ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්

 

 

 

 අවශ්‍ය ද්‍රව්‍ය

 

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200යි

කිරි ලීටරයක්

සීනි මේස හැඳි 02යි

 

 

සාදන ක්‍රමය

ස්ට්‍රෝබෙරි හොඳින් පිරිසුඳු කර, කැබැලි කපා ගන්න. පසුව, ස්ට්‍රෝබෙරි කැබැලි සහ කිරි බ්ලෙන්ඩරයක දමා හොඳින් මිශ්‍ර කර, රස අනුව සීනි ද එකතු කරන්න. ශීතකරණයේ තබා, සිසිල් වූ පසු අයිස්ක්‍රීම් ස්වල්පයක් එක්කර පිළිගන්වන්න.

 

 

 

ලව් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං ග්‍රෑම් 200යි

මාගරින් ග්‍රෑම් 200යි

කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 200යි

කුඩාවට කපා ගත් පුහුල්දෝසි ග්‍රෑම් 150යි

කුඩාවට කපාගත් දොඩම් ලෙලි දෝසි ග්‍රෑම් 100යි

සීනි ග්‍රෑම් 300යි

වැනිලා තේ හැඳි 01යි

සුවඳ කුඩු තේ හැඳි 01 යි

රෝස් එසන්ස් තේ හැඳි 1/2යි

බ්‍රැන්ඩි මේස හැඳි 02යි

මී පැණි මේස හැඳි 03යි

බිත්තර 10යි

සාදන ක්‍රමය

බිත්තර කහ මද, සුදු මදයෙන් වෙන්කර ගන්න. දැන්, සුදු මදය හොඳින් පෙණ දමන තුරු ගසා ගන්න. පසුව එයට සීනි එක්කර, සීනි දියවෙන තුරු ම නැවත ගසා ගන්න. එයට බිත්තර කහමද ද එකතු කර, නැවතත් ගසා ගන්න. පසුව එයට මාගරින්, රුලං, කජු, පුහුල් දෝසි, දොඩම් ලෙලි දෝසි, රෝස් එසන්ස්, මීපැණි, බ්‍රැන්ඩි, සුවඳ කුඩු, වැනිලා සියල්ල එක් කරගෙන, තෙල් කඩදාසියක් ඇතිරූ තැටියක දමා, පැය 1 1/2ක් පමණ බේක් කර ගන්න.

 

ස්ට්‍රෝබෙරි ස්පොන්ජ් පුඩිම

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රෝබෙරි ගෙඩි 06යි

ජෙලටින් තේ හැඳි 03යි

දොඩම් ගෙඩි බාගයක යුෂ

කෝඩියල් වර්ගයකින් මේස හැඳි 02යි

පිටි කිරි මේස හැඳි 02යි

උණු වතුර කෝප්ප 3/4යි

සීනි ග්‍රෑම් 150යි

බිත්තර සුදු මද 03යි

 

සාදන ක්‍රමය

 

ජෙලටින්වලට උණු වතුර එක්කර, දියකර ගන්න. බිත්තර සුදු මද ගසා, එයට සීනි ස්වල්පයක් ද එක්කර, නැවත ගසා ගන්න. පසුව, පිටි කිරිවලට වතුර මේස හැන්දක් එක්කර දිය කර ගන්න.

දියකර ගත් ජෙලටින් උණුවෙන්ම ගසාගෙන, එය උකු වන විට සීනි එක්කර නැවත ගසන්න. දැන් එය සුදු පැහැයට හැරෙන විට ස්ට්‍රෝබෙරි, දොඩම් යුෂ, කෝඩියල් හා කිරි එක්කර කලවම් කරන්න. ඉන් පසු ශිතකරණයේ තබන්න. මෙය වර්ණ දෙකකින් අවශ්‍ය නම්, ජෙලටින් මිශ්‍රණය කොටස් දෙකකට බෙදා, එක කොටසකට ස්ට්‍රෝබෙරි හා අනෙක් කොටසට දොඩම් යුෂ එක්කර වෙන වෙන ම ශීතකරණයේ තබන්න.

 

 

 

නව අදහස දක්වන්න