මුට්ට කරගහන කවියා | දිනමිණ

මුට්ට කරගහන කවියා

අභිසාරිකාවක්, මදිරා පෙරන්නෙක් සහ පොල් කඩන්නෙක්. ඒ කට්ටියව කියවලා ඉවර කරලම අපි ආයෙමත් මුලට එමු.

"දවසක් හලාවත හෝටලයකදි මිනිහෙක් එක්ක බුදියගන්ඩ ඇඳට පත්තරයක් එළද්දි ඒ පත්තරේ " අභිසාරිකා සහෝදරියට" කියලා නිසදැසක් තියෙනවා මම දැක්කා. එතකොට මගේ වයස අවුරුදු විසිහයයි. මාත් එක්ක නිදාගන්න සූදානම් වෙච්ච මිනිහට වයස අවුරුදු පනස්හයයි. අපේ ජීවිතවල ඛේදවාචකය ඒකයි. බුදියගන්න එක පැත්තකට දාලා මම අර කවිය කියෙව්වා. අපිට මේ සමාජයෙ සහෝදරී කියලා කතාකරන අය හරි අඩුයි. සමාජය හදාගත්තු උප්පැන්න සහතික අපිට තියෙනවා. ඒකෙ අපේ නම වෙනුවට තියෙන්නෙ වේසි, බඩුව, කෑල්ල වගේ නම්"

මම නොවිඳනා දුක්විඳලා එයාගෙ නොම්බරය හොයාගත්තා. හලාවත මුහුදු තීරයෙදි එයාව හම්බවෙලා මම කිව්වා මං ගණිකාවක් කියලා. එයා පුදුම වුණේ නෑ. මුහුද දිහා බලාගෙන හිනාවුණා මට මතකයි. එදා මං හිතුවා මේ ඉන්නෙ ඇත්තට ම කවියෙක් තමයි කියලා. පුළුවන් නම් මේ ජීවිතෙන් අත්මිදෙන්න කියලා එයා මගෙන් ඉල්ලීමක් කළා. මං හිතන්නෙ කුලී වැඩකරලා ගත්තු සල්ලිවලින් වෙන්න ඇති එයා කවි පොත් තුනක් ගෙනත් තිබුණා. මහා කළකිරීමකින් එයා හිටියෙ.මම ඒ අත් දෙක අඬ අඬා අතට අරන් බැලුවා. හරියට දියපට්ට තිබුණා. එයාගෙ කවිය තියෙන්නෙ එයාගෙ හදවතේ නෙවෙයි අත්වල. කවදහරි දවසක ඒ අත් දිහා හොඳට බලන්න. දියපට්ට, ඉරිතැලීම්, ගෙවීම්, පතුරුයෑම්වලින් ඒ අත් සන්නද්ධයි. මම ගණිකාවක් වුණාට කවියට පෙම්වත්. මගේ පපුවෙ කවිය ඇලෙව්වෙ එයා. "

"වමට ඇති වංගුවෙන් රෑ කුමාරි හැරී යයි

තබා ගිය හංසතටු මල් සුවඳ වමාරයි

මරදාන පාලමට පහළින් 

ඇටසැකිලි දැනුදු ඈනුම් හරියි..."

"මං කසිප්පු විකුණන මිනිහෙක්. ඉගෙන ගත්තට රස්සාවක් නෑ. එකෙකුටවත් කොන්ද නොනමා මේ ක්‍රමයත් එක්ක ම ජීවත් විය යුතු නිසා ම හිතට එකඟ නොවී මං හොර අරක්කු විකුණනවා. මගේ හිත කීරිගස්සනවා නම්, මාව හොල්ලනවා නම් ඒක කවියක් කියලා මං අඳුරගන්නවා. හැබැයි ඒ කවියෙ මට නොතේරෙන බරපතළ දේවල් තිබිලා බෑ. බෙනාගෙ කවි මාව සසල කරලා තියෙනවා. උගේ කවි කියවන්න මගේ අරක්කු සල්ලිවලින් මුදලක් වෙන්කරලා තියෙනවා. වාඩිපළේ අහසට නඟින දුමට වඩා බැරල් එක යට ඇවිලෙන දර කෑලිවලට අපි ආදරෙයි. බෙනාගෙ කවි අපි අවුලන දර වගෙයි. ඒක කරදරයක් නෙවෙයි. "

"මාත් එක්ක උස කෙක්ක අරන් වතුයායේ කුලියට පොල් මුර කඩද්දි මම කිව්වා උඹ මෙතන ඉන්න ඕනෙ මිනිහෙක් නෙවෙයි කියලා. එව්වට හැමදාම ඌ හිනාවුණා විතරයි. උගේ කවිය වගේ ම උගේ ජීවිතයත් ඌ මධ්‍යස්ථව දරා ගත්තා. ඊයෙ සම්මාන අරන් අද වතුවල පොල් කඩනකොට සමහර වතු අයිතිකාරයො බෙනා ගැන පුදුම වුණා. ඌ අපි ගැන කවි ලිව්වා. ඒ ලියපු දේ කවිය විදිහට අපි අඳුරගත්තා. ඌ අපිත් එක්ක ඉඳගෙන අපේ දුක බෙදාගත්තා. අදටත් බෙනා තරම් බඩගින්නෙ ඉන්න මිනිහෙක් මම තව ම දැකලා නෑ.

උගේ ගේත් එක්ක ම ඉඩම සින්න වුණා. ගෑනි ඒවා දරාගන්න බැරුව ඌව දාලා ගියා. ජීවිතේ හැමදේම අපි දැනුවත්ව ම අපි ඉස්සරහා නැති වුණා. ලංකාවෙ අදටත්, මේ දැනුත් මහ පාරෙ ඉඳන් කවි ලියන එකෙක් ඉන්වා නම් ඒ ඌ විතරමයි. ඒ නිසා උගේ කවිය කවදාවත් බොරුවක් වෙන්න බෑ. බොරුවක් නොවන කවියක් නිසා උගේ කවියට ලංකාව ම ආදරෙයි. උගේ කවි මහපොළොවෙ පැළ වුණේ ඒකයි. ඉතින් ඒක ම තමයි ඌ උපයගත් ජීවිතය හා කවිය."

එහෙම විවිධ විදිහට කතාකරලා තිබුණෙ එක ම එක මිනිහෙක් ගැන. ඒ විතරක් නෙවෙයි. කලින් විස්තර හෙළිකළ මිනිස්සු ඒ විස්තර ලියා තියෙන්නෙ ඒ ඒ අයගෙ නම් ගම් විතරක් නෙවෙයි ඡායාරූපත් ඇතිව. මේ තිදෙනා හැරෙන්නට බෙනාගෙම සහෝදරියගේ සහ බුලත් විට විකුණන මවකගේ ආත්මීය ප්‍රකාශත් "මයෙ අම්මෙ යමු යංඩ" කවි පොතට පෙරවදන් විදිහට එකතුවෙලා.

ඉතින් මෙන්න මෙතනයි. කලින් කිව්ව මුල. අමුතුම අත්දැකීම් ගොන්නක් විෂය කරගත්ත කවි පොතක්. ඒ පොතට කවි ලිව්ව අමුතු ම මනුස්සයෙක්.

අපට නිතර ඇස නොගැටෙන සමාජයේ අඳුරු අහුමුලු දිහාවට විදුලි පන්දම් එළියක් අල්ලන බෙනා නමින් ප්‍රසිද්ධ ඒ මනුස්සයා හිටියෙත් කොළඹින් පිට. කොහොම වුණත් වෙනස් ම මඟක යන බවක් පෙනෙන ඔහු පදිංචි කුලියාපිටියට කරපෙව්වාමයි. බෙනාගේ එහෙම නැතිනම් නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගෙ කුළුඳුල් කවි පොත එළිදැක්වෙන උත්සවේ කුලියාපිටිය මීගහකොටුව ශිල්ප ශාලිකාවේ දී පැවැත්වෙමින් තිබුණේ. ඒ ශාලාවේ දොරකඩ දුටුවේත් මින් පෙර කිසිදා දැක නොතිබූ අන්දමේ කටවුට්ටුවක්.

"වහා ගිනි ඇවිලෙනසුලු ය."

"සාහිත්‍යකලා වැඩසටහනක් බැවින්

සියලුම ආකාරයේ දේශපාලනඥයන්ගේ

පැමිණීම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමි"

"ඔබට පැමිණිය යුතු ම නම් ආරක්ෂක

භටයන් හා ශරීර ආරක්ෂක භටයන්ගෙන්

තොරව පැමිණි සාමාන්‍ය රසිකයකු සේ

සාමාන්‍ය ජනතාව අතර මුසුවීමට ඉඩ 

සලසා ඇත"

"කිසිම අයකු සඳහා ආසන වෙන්කොට

නොමැති අතර උස්පහත් භේදයකින්

තොරව පැවැත්වෙන වැඩසටහනක් බැවින්

ප්‍රභූන් හෝ ඊට ඉහළ තරාතිරමක

පුද්ගලයන් පවා අසුන්ගත යුත්තේ

සාමාන්‍ය ජනතාව අතරේ ය."

දිගින් දිගට අමුත්තන්ට අමුතු ම අමුතු අන්දමින් අත්දකින්නට වූ බෙනාව පත්තරවලට ලියූ කවිවලින් මිස හැඩහුරුකමින් මුහුණුවරින් හුඟදෙනෙක් හඳුනාගත්තේද එදාම ය. "ස්මරණය" නමින් බෙනාම "මයෙ අම්මේ යමු යංඩ" කවිපොතට එක්කළ ලියවිල්ලේදි ද එය ලියුවේ අමුතු අත්දැකීම් ගොන්නක් ඇතිව ජීවත්වන්නකු බවට සිතන්නට පෙළඹවිණි."කිවිය සැබෑ ලෙසට ම කවීන්ට නොව සාමාන්‍ය මිනිස්සුන්ට ය. එසේ ම කවිය පිළිබඳ කතා කළ යුත්තේ සහ පෙරවදන් සැපයිය යුත්තේ සාමාන්‍ය මිනිසුන් ය. මෙතෙක් පැවැති සම්ප්‍රදායන් මා මෙම පොතෙන් බිඳ දමන්නේ අභීතව ය.

තාත්තා පහේ පන්තියේ බුද්ධාගම පොත අරන් එන්නම් කියා කොළඹ ගිය ගමන පුංචි අම්මා කෙනකු ඉතිරිකොට අම්මාත් මාත් තනි කළේ ය. ඔවුන්ගේ කූඩුවට ගල් නොගසා අපේ අම්මා එතැන් පටන් තනිව ම මාව රක්ෂා කළා ය. අම්මා කුලී වැඩ කළා ය. ධනවත් ගෙවල්වල වළං සේදුවා ය. පොළ රවුමේ ගියා ය. වරෙක කසිප්පු ද වික්කා ය. කුඩා දරුවකුව මා කුස්සියේ තුන්වේලට ම සම්බෝල හදන්නට පොල් ගාන විට බීමත්ව වෙරි වූ මිනිස්සු අම්මාගේ තනයෙන් ඇද්දෝ ය. බොහෝ මිනිසුන් රාත්‍රියට අපේ ගෙපැලේ ලෑලි දොරට තඩිබාන විට අම්මාගේ චීත්තෙ වතුසුද්ද මල් පෙතිවල පිවිතුරු බව රැකගැනීමට වගබලා ගත්තා ය. ලැජ්ජාවට වඩා ආදරය උකු බැව් මම ඔබට පවසමි. අකුරු නොදන්න අම්මා මේ සෑම සියලු දෙය ම කළේ මට ඉගැන්වීමට හා මගේ කුසගින්දර නිවීමට බව ඔබට අහිංසකව පවසමි. ඇය ඒ සඳහා නින්දා,ගැරහුම් ලබමින් අතිමහත් වෙහෙසක් ගත්තී ය.අවුරුදු විස්සක විසිපහක සිට පුවත්පත්වලට කුරුටුගෑවත් මගේ යැයි කියා පොතක් මම කිසි දවසක පළ නොකළෙමි. එනමුදු නොනවත්වාම ජීවිතය ගැන කටුගෑවෙමි. අවනීතියට, අසාධාරණයට, අයුක්තියට, දරිද්‍රතාවට එරෙහිව ලීවෙමි. තැලුණු, පෑගුණු, මිරිකුණු සහ ඒ මතින් මිය ඇදුණු මිනිසුන් ගැන කටුගෑවෙමි. එහි අත්දැකීම් හා ආභාසය පෙරටුකොටගෙන එහි පන්නරය ලබමින් මේ කඳුළු පොල්කටුව ඔබට පිරිනමමි. මේ හිස් දෑතින් ඔබට දෙන්නට ඇත්තේ මේ පොත, මගේ හදවත, මගේ ජීවිතය පමණි."

"සීතලින් පිරීගිය තනිය ඇවිදින් හිසට

අම්මාව හිත්ගොමුවෙ අත ගගා හොයනවා

අම්මගේ සොහොන් කොත අසල වැස්සදා ගෙඹි පැටව් 

කෑ ගසා ළය පැලී මැරෙනවා...."

නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් රචනා කළ "මයෙ අම්මේ යමු යංඩ" කෘතිය ප්‍රකාශනය දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශකයන්ගෙනි. ඔවුන්ගේ ඇමතුම 0775554365 වෙයි.

Text - නුවන් මහේෂ් ජයවික්‍රම

Pix - ප්‍රසන්න ලක්මාල්

 

නව අදහස දක්වන්න