20/20ට පාකිස්තානය පමාවෙන ලකුණු | දිනමිණ

20/20ට පාකිස්තානය පමාවෙන ලකුණු

ඉන්දියාවේ දී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිටත්වීම ආරක්ෂක හේතු මත පමා වී ඇත.

හිමාචාල් ප්‍රදේශ් හි ‘ධර්මසාලා’ අගනගරයේ කඳුකර නිකේතනයක් ආශ්‍රිතව පිහිටා ඇති ක්‍රීඩාංගණය නැරඹීමට ගිය පකිස්තාන බලධාරීන් විසින් පකිස්තාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර එහිදී පැවැත්වීමට නියමිත තරඟය සඳහා වෙනත් ක්‍රීඩාංගනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘ධර්මසාලා’ හි දී පැවැත්වීමට නියමිත තරඟය සඳහා පකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ද නැතිද යන්න පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කරනු ඇත.

මීට ප්‍රථම අදාළ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවට එරෙහිව සිදුවන ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට පකිස්තානය සම්බන්ධ බවට චෝදනා කරන ප්‍රදේශයේ ජනතාව කෝපයෙන් සිටින බැවින් පකිස්තාන ක්‍රීඩකයන් සඳහා ආරක්ෂාව සැපයීම ඔහුට කළ නොහැකි බවයි.

ඉන්දියානු බලධාරීන් ක්‍රීඩාංගණය වෙනස් කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වන අතර බොහෝ දුරට එය කල්කටාවේ ක්‍රීඩාංගණයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

 

නව අදහස දක්වන්න