දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීමක් | දිනමිණ

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීමක්

අසංක බණ්ඩාර
වසර ගණනාවක් නඩු පැවරීමක් තොරව රැදවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් සියලු දෙනා නිදහස් කිරීම කෙරෙහි සලකා බලන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නීතිපතිවරයාගෙන් සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන නායකත්වයට නිවේදනයක් මගින් ඉල්ලා සිටී.
 
අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ මෙලෙසයි.
 
මේ වන විට විවිධ චෝදනා යටතේ නඩු පවරා හෝ නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් දේශපාලනික හේතු මත රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවකි.  
 
මෙම පුද්ගලයින් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත සහ වෙනත් ප්‍රතිපාදන යටතේ රදවා සිටී.  වසර හය - හත දක්වා කාලයක් විමර්ශන සිදු කරන නමුත් නඩු පැවරීමක් පවා සිදු කර නොමැති පිරිස් ද මේ පිරිස අතර සිටී.
 
ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 18 කට වැඩි කාලයක් රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 5 කි. 
 
තමත් පුද්ගලයෙකුට එරෙහිව වසර 17 ක් මහාධිකරණයේ විභාග වේ.   
 
නඩු පැවරීමට පෙර වසර 15 ක් සිරගතව සිටින පුද්ගලයෙකු ද දේශපාලන සිරකරුවන් අතර සිටී.   
 
2006 වසරේ අත්අඩංගුවට පත් වූ තවත් පුද්ගයෙකු 2015 වසර දක්වා නඩු පැවරීමකින් තොරව රදවා ගෙන සිටී.
 
සාධාරණ නඩු විභාගයක් සදහා වන අයිතිය මේ පිරිස් වෙතින් උදුරාගෙන ඇති අතර මොවුන්ට එරෙහි යුක්තිය පසිදලීමේ ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත.  සාධාරණ නඩු විභාගයකින් තොරව අත්තනෝමතිකව රදවා ගැනීම සහ අධිකරණ ක්‍රියාවලියේ තාක්ෂණික දුබලතා අවසන් කිරීමට දේශපාලන නායකත්වයේ අවධානය යොමුවීම අනිවාර්ය වේ.
 
දේශපාලන කරුණු මත දිගු කාලීනව රදවා ගෙන සිටින බොහෝ පිරිස් තමන්ගේ ජීවිත කාලයේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් සිරගතව ගෙවා දමා ඇත.  
 
තවත් පිරිසක් අධිකරණ ක්‍රියාදාමයකට යොමු කිරීම හෝ නිදහස් කිරීම වෙනුවට දිගින් දිගටම රදවා තබා ගැනීම සිදුවේ.  
 
එපමණක් ද නොව චෝදනා ඉදිරිපත් කොට නඩු විභාග සදහා මුහුණ දී සිටි බහුතරයක් පිරිස් චෝදනා ඔප්පු නොවී අධිකරණය මගින් නිදහස් කිරීමේ තත්වයන් පසුගිය සමයේ දී වාර්තා විය.
 
දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් රදවා ගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම හෝ ඔවුන් පුනරුත්ථාපනය හෝ වෙනත් විශෝධන ක්‍රියාවලියක් මගින් සමාජගත කිරීම කෙරෙහි රජයේ අවධානය වහා යොමු විය යුතුය.
 
චෝදනා ඉදිරිපත් කිරීමකින් පවා තොරව විශාල කාලයක් ‘දේශපාලන සිරකරුවන් රදවා තබා ගැනීම තුළින් මේ පිරිසගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීම වැලැක්විය නොහැකිය.  
 
ජාතීන් අතර සංහිදියාව ඇති කර ගැනීමටත්, නැවත වරක් සමාජගත ජීවිතයක් සදහා ඔවුනට ඇති අවස්ථාව අහිමි නොකිරීමත් අවශ්‍ය ය. 
 
මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ රජයේ දේශපාලන නායකත්වයේ අවධානය වහා යොමු විය යුතුව ඇතැයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ දැඩිව විශ්වාස කරයි.
 

නව අදහස දක්වන්න