කැප්පෙටිපොළ විල්සන් බලකොටුව | දිනමිණ

කැප්පෙටිපොළ විල්සන් බලකොටුව

 1815 උඩරට ගිවිසුම මඟින් ඉංග්‍රීසීන්ට රට පාවාදීමෙන් පසු ඉංග්‍රීසින් වෙතින් ස්වදේශිකයන්හට සිදුවූ තාඩන, පීඩන හිරිහැර ඉවසිය නොහැකි වූ තැන හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව නැඟී සිටි ඌව වෙල්ලස්ස වීරෝධාර ජනතාව මර්දනය කිරීම සඳහා එදා ඉංග්‍රීසින් විසින් 1818 දී ඌවේ ප්‍රධාන බලකොටු කීපයක් ගොඩනඟා තිබුණි.

1818දී ඉංග්‍රීසින් විසින් වැලිමඩ සානුවේ බලකොටු දෙකක් ස්ථාපිත කර ඇති අතර ඉන් එකක් වර්තමාන කැප්පෙටිපොළ ප්‍රදේශයේ පිහිටුවා ඇත. එහි සෙන්පති වශයෙන් කටයුතු කළ මේජර් සර් ඩග්ලස් විල්සන් නමින් එම බලකොටුව හඳුන්වා ඇත.

ඉංග්‍රීසින්ගේ අශ්වාරෝහක හමුදාව සඳහා පිහිටුවා ඇති මේ විල්සන් බලකොටුවට සියවස් දෙකක් ගතවී ඇතත් තවමත් ඉතා තේජස් සම්පන්නව ක්‍රමයෙන් අභාවයට යමින් දුර්වල වූ යෝධයකු විලසින් දිස්වේ.

විල්සන් බලකොටුව දැනට දක්නට ඇතත් එම වකවානුවේ ඌව පරණගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටුවන ලද මැක්ඩොනල් බලකොටුව අද දක්නට නොමැති අතර එහි නෂ්ටාවශේෂ පමණක් දක්නට ඇත.

කැප්පෙටිපොළ විල්සන් බලකොටුව අද ඌව පළාත් සභාවට අයත් අත්යන්ත්‍ර පේශකර්ම මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන යනු ලැබේ. නමුත් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගෙන එය ඉදිරි අනාගතයේදි දරුවන්ට දැකබලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවකි. එසේ නොකරන්නේ නම් වැඩි කල් නොගොස් මේ බලකොටුව ද නටබුන් වීමට ඉඩ ඇත.

දිගින් අඩි 90ක් ද පළලින් අඩි 40ක් ද, උසින් අඩි 15ක් ද පමණ වූ මේ බලකොටුව තනි කලුගලින් නිමවා ඇති අතර එහි බිත්ති අඩි 2ක් පමණ පළලින් යුතුව ඉදිකර ඇත. මේ සුවිශාල බල‍කොටුවේ පිවිසුම් දොරටුව තරමක් කුඩාවට එහි උතුරු දෙසින් ආරුක්කු හැඩයට ඉදිකර ඇත්තේ එහි ආරක්ෂාව පිළිබඳ සලකා බලමින්ය.

උඩරට කැරැල්ල මැඬපැවැත්වීම ඉංග්‍රීසින්ට කළ නොහැකිවීම නිසා සුදු අධිරාජ්‍යයට මෙය මහත් හිසරදයක් වී ඇත. බ්‍රිතාන්‍ය රැජිනගේ උපදෙස් මත එවකට ලංකා ආණ්ඩුකාර ධුරය දැරූ රොබට් බ්‍රවුන්රිග් විසින් දක්ෂ සෙන්පතියකු වූ මේජර් සර් ඩග්ලස් විල්සන් යටතේ විශාල අශ්වාරෝහක හමුදාවක් උඩරටට එවීමට තීරණය කර ඇත. අශ්වාරෝහක හමුදාව සඳහා මේ බලකොටුව ස්ථාපිත කර සෙන්පති විල්සන් සඳහා මේ බලකොටුවට කි. මී. 1 ½ක් පමණ නුදුරින් බංගලාවක් ඉදිකර ඇත. එම පෞරාණික බංගලාවට අද ගවරම්මාන ශ්‍රී ජයතිස්ස පිරිවෙන් විද්‍යායතනය හා විහාරස්ථාන ගොඩනැඟිල්ල ලෙසින් භාවිතයට ගෙන උඩරට අමරපුර මහා නිකායේ නායක ශාස්ත්‍රපති නුවරඑළිය චන්ද්‍ර‍ජෝති හිමියන් වැඩවසන විහාරස්ථානයයි. එහි පෞරාණිකභාවයට කිසිදු ලෙසකින් හානියක් නොකර එය ඉතා හොඳින් පවත්වාගෙන යාමට නායක හිමියන් පියවර ගෙන තිබීම ඉතා ප්‍රසංශනීය ය.

මේ බලකොටුව ආශ්‍රිතව විල්සන් (Willsons) නමින් තැපැල් කාර්යාලයක් ද, ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන ගොස් ඇති අතර එහි ප්‍රථම සිංහල තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කර ඇත්තේ හිටපු ආග්‍රාණ්ඩුකාරවරයකු වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ පියාණන් ය.

1818 කැරැල්ල සමඟ මේ බලකොටුව පිහිටා තිබූ විල්සන් තැන්න මුළුමනින්ම විනාශයට ලක්වී ප්‍රදේශයම පාළුවට ලක්වූ නිසා මේ ප්‍රදේශය පාළුගම නමින් ප්‍රකටවී පසුව 1950 දී පමණ පහළුගම කැප්පෙටිපොළ නමින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ ප්‍ර‍දේශයට කැප්පෙටිපොළ යන නාමය තබා ඇත්තේ ද ඓතිහාසික කරුණු පදනම් කරගෙන ය. එදා ඉංග්‍රීසින්ගේ දිසාවේ කෙනෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කැප්පෙටිපොළ මොනරවිල විරුවාණන් ඉංග්‍රීසින්ගේ නියෝගයක් අනුව උඩරට කැරැල්ල මැඬලීමට විශාල ඉංග්‍රීසි හමුදාවක් සමඟ පැමිණ විල්සන් බලකොටුව සමීපයේ කඳවුරු බැඳ නතරවී ඇත.

උඩරට කැරැලිකරුවන් අතින් මේජර් ඩග්ලස් විල්සන් අළුපොත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වීමෙන් පසු කැරැල්ල මැඬපැවැත්වීම සඳහා කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංග්‍රීසි හමුදාව ඌවට එවා ඇත.

කැප්පෙටිපොළ මොනරවිල දිසාවගේ සහායකයකු වශයෙන් කටයුතු කළ බෝඹුරේගෙදර සුදනා දුරයා නමැති අයකුගේ මැදිහත්වීමෙන් ඌවේ කැරලි නායකයින් හා කැප්පෙටිපොළ දිසාව අතර ඇතිවූ රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් සිංහල හමුදාව සමඟ එක්වීමට තීරණය කර ඇත.

මෙම ඓතිහාසික වැදගත් රහස් සාකච්ඡා පවත්වා ඇත්තේ වර්තමානයේ කැප්පෙටිපොළ මහා විද්‍යාල භූමියේ වර්තමාන වීර කැප්පෙටිපොළ විරුවාණන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇති ස්ථානයේදීය.

වීර කැප්පෙටිපොළ විරුවාණන් සමඟ මෙම රහස් සාකච්ඡාවට ඌවේ කැරලි නායකයින් වූ බූටාවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල හා දඹපාන්නේ දිසාව සහභාගි වී ඇත.

මේ රහස් සාකච්ඡාවෙන් පසු වීර කැප්පෙටිපොළ ඉංග්‍රීසි හමුදාව හා ඔවුන්ගේ අවි ආයුධ අතහැර සිංහල හමුදාවත් සමඟ එක්වී සටන පරාජයවීමත් සමඟ ඉංග්‍රීසින්ගේ සිරභාරයට පත්වූ කැප්පෙටිපොළ විරුවාණන් ඉංග්‍රීසින් විසින් මහනුවර මඟුල් මඬුවේදී හිස ගසා දමා දිවිතොර කර ඇත.

සටහන සහ ඡායාරූප
එස්. එම්. ෆාරුක් වැලිමඩ විශේෂ

නව අදහස දක්වන්න