ජගත් දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම ලංකා ජාතිය ගොඩනැගීමට රුකුලක් - විදේශ ඇමති බීබීසීයට කියයි. | දිනමිණ

ජගත් දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම ලංකා ජාතිය ගොඩනැගීමට රුකුලක් - විදේශ ඇමති බීබීසීයට කියයි.

අසංක බණ්ඩාර

දෙමළ ජාතිකයන්ගේ ජගත් දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැගීමට රුකුලක් වන බව බව විදේශ ඇමති මංගල සමරවීර ප්‍රකාශ කරයි.

විදේශ ඇමතිවරයා එසේ කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

විදේශීය දෙමළ ජන කොටස් තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කථා බහ කිරීම වැදගත් බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් නිර්දේශ කොට ඇති බවයි විදේශ ඇමතිවරයා පැවසුවේ.

ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අවධානය යොමු කරන වකවානුවක දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරමින් එම ජනතාව ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත් බව ද විදේශ ඇමති මංගල සමරවීර පවසීය.

දෙමළ ජනතාවට සිදුවූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් වෙසෙන රටවලදී දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක් ඇති කිරීමට සමත් වූ පිරිසක් නිසා ඔවුන්ගේ සහයෝගය යළි ලබා ගැනීමට හැකිවීම අතිශය වැදගත් කමක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

බහුතර දෙමළ ඩයස්පෝරාව නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වැඩ කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව් පැවසූ ඇමතිවරයා එපමණක් නොව අනාගතයේදී තම දේශපාලන උවමනාවන් දිනා ගැනීමට ප්‍රචණ්ඩත්වය පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පොදු ප්‍රතිඥාවක් පවා දීමට කැමැත්ත පල කොට ඇති බවත් සඳහන් කළේය.

එසේම එම පිරිසගේ ඥානය, දක්ෂතා, සහ නිපුනතා ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්තාව උදාවන බවත් විදේශ ඇමති මංගල සමරවීර සඳහන් කළේය.


නව අදහස දක්වන්න