සෝමවංශ අමරසිංහ සමුගනියි | දිනමිණ

සෝමවංශ අමරසිංහ සමුගනියි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ අද අභාවප්‍රාප්ත විය.

මිය යන විට 73 වැනි වියේ පසුවූ ඔහු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට පක්ෂයේ සිව්වැනි නායකයා විය. 

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන රෝහණ විජේවීරගෙන් පසුව එම පක්ෂයේ දීර්ඝ කලක් නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ සෝමවංශ අමරසිංහය.‍

විජේවීරගෙන් අනතුරුව සමන් පියසිරි ප්‍රනාන්දු හා ලලිත් විජයරත්න ජවිපෙ නායකත්වය ගනිමින් වරින් වර කටයුතු කරනු ලැබුව ද පක්ෂයේ සිව්වැනි නායකයා ලෙස දශක කිහිපයක් තිස්සේ  ඔහුගේ  භූමිකාව ඉතිහාසගත වෙයි.

මෑතකදී ජවිපෙන් ඉවත්ව නව පක්ෂයක් එනම් ජනතා සේවක පක්ෂය ගොඩනගා ගනිමින් නව දේශපාලන ගමනක් යාමට ඔහු කටයුතු කළේය.

ඒ ජනතා විමුක්ති පෙරමුණ සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් බැහැරව ගමනක් යන බවට චෝදනා නඟමිනි.

කෙසේ හෝ 2014 පෙබරවාරි දක්වා ජවිපෙ නායකත්වය දැරූ ඔහු එම මස දෙවැනිදා පැවැති ජවිපෙ 7 වැනි සම්මේලනයේදී නායකත්වයෙන් ඉවත්වූ අතර නව නායකත්වයට අනුර කුමාර දිසානායක පත් කෙරිණ.

ඒ අනුව සෝමවංශ අමරසිංහ ජවිපෙ මධ්‍යම කාරක සභික ධූරයටත්, ජවිපෙ අන්තර් ජාතික කටයුතු ලේකම් ලෙසද පත් කෙරිණ.

කෙසේ වුවද 2015 ජූනි මසදී ඔහු ජවිපෙන් ඉවත්ව ජනතා සේවක පක්ෂය නමින් නව පක්ෂය පිහිටුවා ගනිමින් මේ දක්වා එහි නායකයා ලෙස කටයුතු කළේය.

කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සෝමවංශ අමරසිංහ ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 1969දීය.

අනතුරුව 1984දී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු දක්වා ඉහළට පැමිණීමට ඔහුට හැකිවිණ.

එකල ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත්වූ සභිකයින් 14 දෙනාගෙන් ඉතිරි වු එකම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද සෝමවංශ අමරසිංහය.

ඊට හේතුව 87 -89 කැරලිවලදී සෙසු සාමාජිකයින් මියයාමය.

ඉන් අනතුරුව වසර කිහිපයක් විදේශ ගතව සිටි සෝමවංශ අමරසිංහ පක්ෂයේ සිව්වැනි නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නැවත සවිබල ගැන්වීමට මහත් කැපවීමකින් කටයුතු කරන ලදී.

 


නව අදහස දක්වන්න

Or log in with...