පාගමන අරඹන තැන වෙනස් වන ලකුණු | දිනමිණ

පාගමන අරඹන තැන වෙනස් වන ලකුණු

ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීම නියමිත පාද යාත්‍රාව මහනුවර නගර සීමාවේ අවසානය වෙන පේරාදෙණිය පාලමෙන් එපිටදී ආරම්භ කළ යුතු යැයි පේරාදෙණිය පොලීසිය නිවේදනයක් මගින් පවසා තිබේ.

පේරාදෙණිය නගර සීමාවේදී පාගමන නොපවත්වන ලෙස ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිරීමත් සමග ගැටඹේ විහාරස්ථානය ආසන්නයෙන් පාගමන ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

මේ අතර පාගමන අවසානයේදී රැළිය පැවැත්වීමට නියමිතව තිබූ හයිඩ් පිටියේ අලුත්වැඩියා කටයුතු  ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවැසුවේ හයිඩ් පිටියේ රැළිය පැවැත්වීමට නොහැකි වුවහොත් වෙනත් ස්ථානයකදී හෝ රැළිය පවත්වන බවයි.

මේ අතර අධිකරණ  නියෝග නොතකා ක්‍රියා කරන සියලුදෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ විවිධ දේශපාලන පක්ෂ විසින් පා ගමන් සහ සාමාජික ප්‍රවර්ධන කටයුතු සූදානම් කර ඇති අතර එකී ක්‍රියාකාරකම් වළක්වාලමින් මහනුවර සහ මාවනැල්ල අධිකරණ විසින් නියෝග නිකුත් කර ඇති බවයි.

දේශපාලන පාර්ශවයන් විසින් ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි කියන පා ගමන් සහ වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් කලහකාරී තත්වයන් ඇතිවිය හැකි බව පොලිස්පතිවරයා පෙන්වාදෙයි.

මෙම දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ අය විසින් කලහකාරී ක්‍රියා ඇති කිරීමට ඉඩ ඇති බැවින් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

නව අදහස දක්වන්න