අතුරුදන්වූවන්ට යුක්තිය ඉටුවී නෑ - JVP | දිනමිණ

අතුරුදන්වූවන්ට යුක්තිය ඉටුවී නෑ - JVP

අසංක බණ්ඩාර

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් එජාපයත් ශ්‍රී.ල.නි.පයත් පත්කළ කොමිෂන්වලට සාක්ෂි ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ  ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසන්නේ එහෙත් මේ වනතෙක් යුක්තිය ඉටුවී නැති බවයි.

පැලවත්ත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක - 

‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබඳව රට තුළ විවිධ මතවාදයන් ඇතිවෙමින් තිබෙනවා.

එක් පැත්තකින් ත්‍රිවිධ හමුදාව අපහසුතාවයට පත්කරනවා කියනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකිරීමේ පනතක් කියනවා.

සුළු කල්ලියක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කළා කියලා චෝදනා කරනවා.

අතුරුදහන් කිරීම පිළිබඳ ප්‍රශ්නය 1971 දක්වා දිව යනවා. 1971දී රාජ්‍ය මැදිහත්වීම් මත අතුරුදහන් කිරීම් සිදුවුණා.

86-80 කාලයේදී 90 සිට 2009 යුද්ධය පැවති කාලය තුළදීත් 2009 සිට 2015 දක්වා දේශපාලන අතුරුදහන් කිරීම් වශයෙන් ප්‍රධාන අවස්ථා ගණනාවකදීත් අතුරුදහන් කිරීම් පිළිබඳව වාර්තා වුණා.

රාජපක්‍ෂ පාලනයේ දෙවැනි යුගයේදී 2012දී මෙම කරුණ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන වෙලාවේදී අපි කොන්දේසි සහිතව පනතට සහාය දෙනවා කියලා කිව්වා‘ යැයි ද ඔහු කීය.

මේ අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පනතේ සඳහන් රටට අහිතකර කරුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

බත්තරමුල්ලේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රටේ අභියාචනාධිකරණයට පවා යටත් නොමැති අතුරුදන් වූවන්ගේ කාර්යාලය සර්ව බලධාරී ආයතනයක් බව ද ඔහු සදහන් කලේය.


නව අදහස දක්වන්න

Or log in with...